ගැස්ට්‍රයිටිස් තත්ත්වය නිසා දියවැඩියාවට බලපෑම් ඇතිවිය හැකිද?

ගැස්ට්‍රයිටිස් තත්ත්වය නිසා දියවැඩියාවට බලපෑම් ඇතිවිය හැකිද?

පෑලියගොඩ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගුවන් පාලම අසල රන්පත වෙදමැදුරේ

ආයුර්වේද වෛද්‍ය

රන්පත රුවන් රත්නායක

සුවපත් දිවියක් පවත්වාගෙන යන්නට නම් යහපත් සෞඛ්‍යයක් තිබිය යුතුමය. වර්තමානයේ බොහෝදෙනෙකු පෙළෙන මානසික පීඩාවන්ට හේතු වනුයේ ඔවුන්ට වැලඳී ඇති කායික රෝග තත්ත්වයන් වේ. ඒවා අතරින් ගැස්ට්‍රයිටීස් සහ දියවැඩියාව වැනි ආහාර ජීර්ණ පද්ධතිය දුර්වල කරන රෝග ප්‍රධාන වේ.

ගැස්ට්‍රයිටීස් රෝගය එතරම්ම ප්‍රධානත්වයක් ගන්නවාද?

ඔව්, ගැස්ට්‍රයිටීස් රෝගය කලක් පැවතීමෙන් ආහාර ජීර්ණ පද්ධතිය තුළදී ආහාර නිසිලෙස ජීර්ණය නොවීමෙන් ජීර්ණයෙහි අවසාන ඵලයන් ශරීර පෝෂණය සඳහා නොලැබී යයි. එලෙස නිසිලෙස පෝෂණය නොලැබීම සියළුම ශරීර ඉන්ද්‍රියයන්ගේ දුර්වලතාවයන්ට බලපායි.

ගැස්ට්‍රයිටීස් පමණක් නොව ජීර්ණ පද්ධතිය ආශි‍්‍රතව පවත්නා ග්‍රහණි හෝ වෙනත් ආහාර ජීර්ණය දුර්වල කරමින් පෝෂණ ක්‍රියාවලියට බාධා පමුණුවන සියලුම තත්ත්වයන්හිදී නිසි ප්‍රතිකාර නොගැනීම විවිධ රෝග ගණනාවක මූලාරම්භය වේ.

දියවැඩියාවෙන් සිරුරට ඇතිවන බලපෑම කුමක්ද?

දියවැඩියා තත්ත්වයට පෙර සිටම ඇතිවන සියලු ප්‍රමේහ රෝගයන්හිදී අග්න්‍යාශයේ ක්‍රියාවලිය දුර්වල වේ. එම නිසා අග්න්‍යාශයික යුෂ (එන්සයිම සහ හෝර්මෝන) විකෘති වීමක් හෝ නිසි ප්‍රමාණවලින් නිකුත් නොවීම හේතුවෙන් ආහාර ජීර්ණය ද විකෘති (දුර්වල) වේ. එහි අතුරු ඵලයක් ලෙස විවිධ රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.

ගැස්ට්‍රයිටීස් තත්ත්වය දියවැඩියා රෝගය කෙරෙහි බලපෑමක් ඇති කරනවාද?

ඔව්, වර්තමානයේ හමුවන දියවැඩියා හෝ අනෙකුත් ප්‍රමේහ රෝගීන් අතුරින් වැඩි දෙනෙකුගේ ජීර්ණ පද්ධතියේ දුර්වලතා මුල සිටම පවතී. කලක් තිස්සේ ගැස්ට්‍රයිටීස් හෝ වෙනත් ආහාර ජීර්ණය අඩාල වන හේතු පැවතීමෙන් ආමාශයික යුෂය විකෘති වීමක් සිදු වේ. (අම්ල, භෂ්ම, එන්සයිම ආදියේ ප්‍රමාණාත්මක හෝ ගුණාත්මක සංයුතිය වෙනස්වීම) මෙම හේතුව අග්න්‍යාශය දුර්වල කිරීමට ඍජුවම හෝ වක්‍රව බලපෑම් ඇති කරයි. අග්න්‍යාශය දුර්වල වීම සියලුම ප්‍රමේහ රෝගයන්හි මූලාරම්භයයි. එනම් දියවැඩියා (මධුමේහ) තත්ත්වය ද ඉන් අනතුරුව හට ගැනීමේ වැඩි ප්‍රවණතාවක් ඇත.

දියවැඩියා රෝගය ඇති වීමට බලපාන තවත් හේතූන් මොනවාද?

අධික සුවපහසු ජීවන රටාවක් පවත්වාගෙන යමින් වැඩපලවල නොයෙදී සිටීම, නිතර නිදා ගැනීම, ගුරු මධුර ආහාර බහුලව පරිභෝජනය කිරීම, ජානමය හේතු ආදී බොහෝ කරුණු හේතු වේ.

නමුත් වර්තමානයේ බොහෝ සේ වැඩපලවල නිරතවන අයට පවා දියවැඩියාව හැදෙනවා නේද?

ඔව්, එය අවධානයට ලක්විය යුතු කාරණයක්. අතීතයේදී අධික සුඛ විහරණ විඳීම සහ ගුරු මධුර ආහාර අධික භජනය ආදී හේතුන් නිසා අග්න්‍යාශය දුර්වල වීමෙන් දියවැඩියා තත්ත්වය ඇති වුණත් දැන් ඊට වෙනස් වූ කාරණා හේතුවෙන් ද අග්න්‍යාශය දුර්වල වීම සිදු වේ.

ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නේ වර්තමාන ජීවන රටාව සහ ආහාර රටාවයි. ජීවන රටාව ආහාර රටාව කෙරෙහි ද බලපෑම් ඇති කරයි.

ජීවන රටාව සලකා බලමු...

වඩා කාර්යබහුල තත්ත්වයන් ඇති විට එහිදී ඇතිවන මානසික පීඩන තත්ත්වයන් ඍජුවම ජීරක යුෂ, හෝමෝන ආදියේ ක්‍රියාකාරීත්වයට බලපායි. එමඟින් අග්න්‍යාශය ද දුර්වල කරයි. එයට අනුවම ආහාර රටාවෙහිදී ද කෙටි ආහාර නිතර පරිභෝජනය කිරීම, රසායනික ද්‍රව්‍ය බහුල වූ ආහාර පාන භාවිතය ආදී බොහෝ හේතූන් ඇත.

මේවාට අමතරව පොදුවේ ගත් කල වර්තමානයේදී පරිභෝජනයට ගන්නට ලැබෙන ආහාරවල ගුණාත්මකභාවය බලපායි. බොහෝ ආහාරයන් අධික රසායනික ද්‍රව්‍ය සංයුතියකින් යුක්ත වීමත් කලක් තිස්සේ එසේ අහිතකර වූ රසායනික සංඝටකයන් ශරීරය තුළ එක් රැස්වීමත් ඒවායේ බලපෑමෙන් සංවේදී කාර්ය බහුල ඉන්ද්‍රියයක් වන අග්න්‍යාශය දුර්වල වීමත් සිදු වේ. කුමන ආකාරයෙන් වුවද අග්න්‍යාශය දුර්වල වේ නම් එවැනි ඕනෑම අයෙකුට දියවැඩියා තත්ත්වයන් හට ගැනීමේ අවදානම වැඩි වේ.

දියවැඩියා රෝග ලක්ෂණ මොනවාද?

* මුත්‍රාවලින් ඇපල් ගඳ නිකුත් වීම

* මුත්‍රා බහුල වීම

* නිතර බඩගින්න

* අස්වාභාවික කෙට්ටු වීම හෝ මහත් වීම

* කල්යත්ම කුසගිනි අඩුවීම

* නිතර දහදිය දැමීම

* අක්ෂි රෝග

* ලිංගික ඉන්ද්‍රියන් හි සිනිඳු සම මතුපිට පැලීම් සහ කැසීම

* අධික පිපාසය

* මළ වියලීම

* අප්‍රාණික ගතිය

* හෘදය දුර්වල වීම

* පිට පතුල් ඉදිමීම

* හම වියළීම

* ඇඟ ගෙඩි ගැසීම