ලෙඩක් සුවවෙන්න නම් නිවැරදි ප්‍රතිකාර වෙත යොමුවන්න

ලෙඩක් සුවවෙන්න නම් නිවැරදි ප්‍රතිකාර වෙත යොමුවන්න

විවිධ රෝග පිළිබඳ ගැටලුවලට පිළිතුරු

වෛද්‍ය ධම්මික පෙරේරා

ඕනෑම ලෙඩකට වඩාත්ම සුදුසු වඩාත්ම ගැලපෙන ප්‍රතිකාරය ලැබුණොත් පමණයි ලෙඩේ සනීප වෙන්නේ. වෛද්‍යවරයා ලෙඩේ නිවැරදිව තේරුම් ගත්තත් බෙහෙත් දීමේදී වරදක් සිදුවුණොත් සුවයක් ලැබෙන්නේ නෑ.

නිවැරදි ප්‍රතිකාර නිවැරදි වෙලාවට නොලැබුණොත් එයින් රෝගය සනීප වෙන්න ප්‍රමාද වෙනවා. විතරක් නෙවෙයි සනීප කිරීම වඩාත් අමාරු වෙනවා. හොඳ වෛද්‍යවරයෙක් ළඟට ගියත් ඔහු නිවැරදිව රෝග විනිශ්චය කළත් ප්‍රතිකාර කිරීමේදී නිවැරදි ප්‍රතිකාරය සිදු නොවුණොත් සුව වීමක් වෙන්නේ නෑ.

ලෙඩවලට ප්‍රතිකාර කරන්නේ කොහොමද?

ලෙඩවලට ප්‍රතිකාර කරන්න ආකාර කීපයක් තියෙනවා.

*රෝගය සුවවෙන්නට ප්‍රතිකාර කරන්නට පුළුවන්

උදා - තුවාල

*රෝගය වළක්වන්නට හෝ රෝග ලක්ෂණ ඉස්මතු වීම වළක්වන්නට ප්‍රතිකාර කරන්නට පුලුවන්

උදා - පැපොල

*රෝගය තාවකාලිකව යටපත් කරන්නට ප්‍රතිකාර කරන්න පුලුවන්.

උදා - ඇදුම

මේ විදියට ඕනෑම ආකාරයකට ප්‍රතිකාර කරන්නට පාවිච්චි කරන ප්‍රතිකාර ක්‍රම ගැන තරමක් කතා කරන්නයි අපි දැන් උත්සාහ කරන්නේ.

1.බෙහෙත් වර්ග මගින් කරන ප්‍රතිකාර (Drugs)

ඉතාම බහුලවම පාවිච්චි කරන ක්‍රමය මෙයයි. බෙහෙත් පාවිච්චිය මගින් ප්‍රතිකාර කිරීම ගැන ගොඩක් කරුණු කියන්න තියෙන නිසා අපි ඊළඟ පරිච්ඡේදයක ඒ ගැන කියන්නම්.

2.භෞත චිකිත්සාව (physiotherapy)

බෙහෙත් පාවිච්චි නොකර ව්‍යායාම ක්‍රම හා කායික අභ්‍යාස ආදියත් අධෝරක්ත කිරණ භාවිතයෙන් හා ශබ්ද තරංග භාවිතයෙන් කරන ප්‍රතිකාර ක්‍රම ආදියත් මේ ක්‍රමයට අයත් වෙනවා.

මෙය ඉතාම වටිනා විෂයක් වුණත් ජනතාව අතර තවමත් එතරම් ජනපි‍්‍රය වී නැහැ. ඒකට හේතුව මිනිසුන් තවමත් බෙහෙත් ගැන විතරක් විශ්වාසය තියාගෙන ඉන්න නිසයි. නමුත් බෙහෙත් වලින් සුව කරන්නට නොහැකි මට්ටමේ සිටින රෝගීන් පවා භෞත චිකිත්සකයන් විසින් ඉතා සාර්ථක ලෙස සුව කරන අවස්ථා එමටයි.

3.විකරණ ප්‍රතිකාර (rediotherapy)

විශේෂයෙන් තෝරාගත් ලෙඩ රෝග සඳහා විවිධ විකිරණ වර්ග උපයෝගී කරගනිමින් කරන ප්‍රතිකාර කරනු ලබනවා. බොහෝවිට පාවිච්චි කරන්නේ පිළිකා රෝගීන්ගේ පිළිකා සෛල වර්ධනය අඩාල කිරීම සඳහායි. විකිරණ ප්‍රතිකාර වල යම් යම් අතුරු ආබාධ පවතින නිසා අත්‍යාවශ්‍යම අවස්ථාවල තමයි මේ ක්‍රමය තෝරාගන්නෙ.

4.ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර (Surgical Treatments)

ශල්‍යකර්ම ප්‍රතිකාර කිරීමත් ඉතාම බහුලම ආකාරයේ ප්‍රතිකාර ක්‍රමවලින් එකක්, සමහරු ශල්‍යකර්මවලට ලක්වීමට බියක් දැක්වුවත් ශල්‍ය වෛද්‍ය විද්‍යාව දැන් ඉතාම දියුණුම තත්ත්වයක පවතින නිසා එහි අවදානම ඉතාම අඩුයි.

5.මානසික ප්‍රතිකාර ක්‍රම

මේ යටතේ විවිධ ක්‍රම ගණනාවක් තියෙනවා.

*හැසිරීම් වෙනස් කිරීම

*රැකියාවලට හුරු කිරීම හා යෙදවීම

*සිතිවිලි වෙනස් කිරීම තුළින් ක්‍රියාකාරීත්වය වෙනස් කිරීම

*කණ්ඩායම් ප්‍රතිකාර

*මෝහන ප්‍රතිකාර (hypnotherapy) ආදිය සදහන් කරන්නට පුළුවන්.

6.කතා කිරීමට හුරුකිරීමේ ප්‍රතිකාර (Speech Therapy) කතා කිරීමේ දුර්වලතා ඇති අයට එය පුහුණු කිරීමේ ප්‍රතිකාර ක්‍රමයක්.

8.විවිධ උපකරණ භාවිතා කරමින් කරනු ලබන ප්‍රතිකාර

උදා - *දරු ප්‍රසූතියේදී පාවිච්චි කෙරෙන අඬු ප්‍රසුතිය (Forceps Deliveries)

*උපැස් පාවිච්චි කිරීම

*ශ්‍රව්‍යාධාර පාවිච්චි කිරිම

* Pace makerපාවිච්චි කිරීම

මෙහි අපි දැක්වුයේ ක්‍රම කිහිපයක් පමණයි. මීට අමතරව තවත් ක්‍රම රාශියක් තියෙනවා.

ප්‍රතිකාර කිරීම්වලදී මේ එක් ක්‍රමයක් පමණක් යොදා ගන්නවා වෙනුවට ක්‍රම කීපයක සංකලනයක් ලෙස ප්‍රතිකාර කෙරෙන අවස්ථාත් තියෙනවා. මෙහි ඇති වාසි නම් රෝගියාට පුර්ණ සුවයක් ලබාදීමට බොහෝ විට හැකියාව ලැබීමයි.

නමුත් තවමත් බොහෝ දෙනා විශ්වාස කරන්නේ බෙහෙත් මගින් පමණක් කරනු ලබන ප්‍රතිකාර ගැන නිසා මෙහි සඳහන් කළ අනෙක් ප්‍රතිකාරවල පිහිට ලබාගන්නේ අඩුවෙන්. ඒ නිසාම එවැනි ප්‍රතිකාර අතරමග නවතා දමන අවස්ථාත් තියෙනවා.

ඒකට හේතුව මේ ක්‍රමවලින් ලැබෙන ප්‍රතිඵල ගැන හරි අවබෝධයක් ලැබී නැතිකමයි.

කෙසේ වුවත් තමන්ට යම් ප්‍රතිකාරයක් කරනවිට අඩුතරමේ තමාගේ වෛද්‍යවරයාගෙන්වත් මේවා ගැන හරි හැටි විමසා බලා අවබෝධයක් ලබාගන්නට පුලුවන්නම් ඉතාම වටිනා ප්‍රතිඵල ලබාගන්නට ඉඩකඩ සලසා ගන්න පුළුවන්.