බරවා රෝගයෙන් ආරක්ෂා වීමට නම්...

බරවා රෝගයෙන් ආරක්ෂා වීමට නම්...

කොළඹ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව

පරපෝෂී රෝග අතරින් ශතවර්ෂ ගණනාවක් මුළුල්ලේ අප රටේ ප්‍රධානතම සෞඛ්‍ය ගැටලුවක් ලෙස අවධානය යොමු වූ මැලේරියාව රෝගයට පමණක් දෙවෙනි වූ රෝගය ලෙස බරවා රෝගය හඳුන්වා දිය හැකිය.

බරවා රෝගයයි පැවසූ විටම අපට සිහිවන්නේ අලි කකුල් වැනි ප්‍රමාණය දරන රෝගී ගාත්‍රා සහිත වූවන්ය. එහෙත් දැන් බරවා රෝගය අප වෙතට පැමිණෙන්නේ එම සුපුරුදු ආකාරයෙන්ම නොවෙයි. මේ වනවිට දියුණු වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකර්ම සහ ජනතාවගේ සෞඛ්‍ය අධ්‍යාපන අංශයේ දියුණුව නිසා බරපතල බරවා රෝග ලක්ෂණ පෙන්වන රෝගීන් ප්‍රමාණය අඩු වුවද වෛද්‍යවරුන් වෙතට විවිධ ස්වරූපවලින් බරවා රෝගීන් පැමිණෙන බව පැවසිය හැක.

පොදුවේ බරවා පණුවා ලෙස හැඳින්වුවද මිනිස් සිරුර තුළ ගත කරන ස්වභාවය අනුව බරවා පණුවන් විශේෂ කිහිපයක්ම හඳුනාගෙන ඇත. අප විසින් පොදුවේ අධ්‍යයනය කරන බරවා පණුවන් අයත් වන්නේ අපගේ වසා ග්‍රන්ථි වාසය කරන කොටසටය.

1. Wuchereria bancrofti

2. Brugia malayi

3. Brugia timori

ලෙස මෙම බරවා පණුවන් ආකාර කිහිපයකි.

ඇතැම් බරවා පණුවන් සම්බන්ධක පටක ආශි‍්‍රතව ජීවත් වෙති. Loa - loa and Onchocerca volvulus, Mansonella මෙයට නිදසුනකි.

බරවා රෝගයට අතීතයේදී ගොදුරු වූ රෝගීන්ගේ අත් පාද අලින්ගේ ගාත්‍ර මෙන් විශාල වන නිසා elephantiasis ලෙස ද මෙම රෝගය හඳුන්වා ඇත.

බරවා රෝගය ලොව පුරා ඝර්ම කලාපීය සහ උපඝර්ම කලාපීය ආසියානු, අපි‍්‍රකානු සහ දකුණු අපි‍්‍රකානු රටවල පුළුල් ලෙස පැතිර පවතින රෝගයකි. ලොව පුරා රෝගය පුළුල්ව වසංගතයක් ලෙස පැතිර පවතින කලාපවල මිලියන 900 කට ආසන්න ප්‍රමාණයක් ආසාදිත තත්ත්වයේ පසුවෙති. මින් මිලියන 90 කට ආසන්න ප්‍රමාණයකට රෝග ලක්ෂණ ඇත. බරවා රෝගය මූලික වශයෙන්ම ඇතිවන්නේ Wucheraria නිසාවෙන් වන අතර ඉතිරි ප්‍රමාණයට වගකිව යුත්තේ Brugia විශේෂයයි.

බරවා පණුවන් සැලකූ විට නූල් ආකාර සිනිදු දේහයක් දරයි. වඩා විශාල වන්නේ ගැහැණු සත්ත්වයින්ය. ශරීරයේ උදර කුහරයෙත්, ඉකිළි ආශි‍්‍රත වසා ගැටිතිවලත්, වෘෂණ ආශි‍්‍රතවත් වසා නාලවල ගුලි වී සිටිති. මෙම වසා නාල තුළ බරවා පණුවන්ට වසර 10 සිට 15 දක්වා කාලසීමාවක් ජිවත් විය හැකිය.

බිත්තර වලින් පැමිණෙන ක්ෂුදු කීට අවස්ථාව රෝගය ශරීරය පුරා ව්‍යාප්තියට කටයුතු කරයි. රුධිර ප්‍රවාහය ඔස්සේ සංසරණය කරන මෙම ක්ෂුද්‍ර පණුවා ප්‍රධාන වශයෙන් සංචාරය කරන්නේ රාත්‍රී කාලයේදීය. විශේෂයෙන් රාත්‍රී 10 ත් උදේ 2 ත් අතර කාලසීමාවේදී බරවා පණුවන් සක්‍රීය වෙයි. බරවා රෝග වාහක Culex quinquefasciatus මිනිසාගේ ශරීරයෙන් රුධිරය උරා බීම සිදු කරන්නේ ද මෙම කාලසීමාවේදීය. මේ නිසා බරවා රෝගය පවතින පුද්ගලයෙකු මෙම කාලසීමාවේදී බරවා මදුරුවකුගේ දෂ්ඨනයට ලක් වී නිරෝගී පුද්ගලයෙකුට දෂ්ඨ කල විට අදාළ නිරෝගී පුද්ගලයාට රෝගය පහසුවෙන් බෝ වෙයි.

මෙම බරවා පණුවන් දිවා කාලයේදී පෙනහළු සහ වකුගඩු තුළත් හෘදය හෝ රුධිර නාල තුළත් වාසය කරති. රෝගයේ ස්ථිර රෝග ධාරකයා වන්නේ මිනිසාය. අතර මැදි ධාරකයා ගැහැණු Culex  මදුරුවාය. මිනිසාගේ ශරීරය තුළදී ක්ෂුද්‍ර පණුවන් ප්‍රතිවලිත නොවෙයි. මිනිසාගේ ශරීරයේ පවතින ක්ෂුද්‍ර පණුවන් ගැහැණු මදුරුවකු විසින් උරා නොබීවහොත් මේ ක්ෂුද්‍ර පණුවන් ඉබේම මිනිසාගේ ශරීරය තුළදී මිය යාම සිදු වෙයි. රෝග වාහක මදුරුවාට රෝග ව්‍යාප්ත කිරීම සඳහා එක් රුධිර බිංදුවකට අවම වශයෙන් පණුවන් 15 දෙනෙකුවත් සිටිය යුතුය.

මදුරුවාගේ ආමාශගත වූ ක්ෂුද්‍ර කීටයන් පසුව ආසාදිත කිට පණුවකු බවට පත් වෙයි. පසුව මෙම ආසාදිත මට්ටමේ කීට පණුවන් තවත් පුද්ගලයෙකු සපා කන විට ඒ අවට සම මත පතිත වන මදුරුවා විසින් සාදන ලද සිදුර හරහා සමේ සිටින ආසාදිත පණුවන් ඇතුල් වීම සිදු වෙයි. එය බරවා පණුවකු ඇතුල් වූ පසුව හෝ බරවා මදුරුවක් එකවර සපා කෑ පමණින් රෝගය ඇති නොවෙයි. මේ සඳහා අවම වශයෙන් බරවා මදුරුවකු 15000 වරක් වත් අපව දෂ්ඨනය කළ යුතුය.

මෙසේ ශරීරය තුළට ඇතුල් වන බරවා පණුවන් ඉන්පසුව උදරයේ හෝ ඉකිළි ආශි‍්‍රත වසා නාල වලට ගමන් කරයි. වැඩිහිටි බරවා පණුවන් බිහිවන්නේ එහිදීය. මාස 06 ක කාලසීමාවකට පසුව මෙම පණුවන් පරිණත අවධියට පත් වෙයි. මෙවැනි ලිංගික සංසර්ගයට ලක් වූ ගැහැණු පණුවකු දිනකට ක්ෂුද්‍ර පණුවන් 50000 පමණ ප්‍රමාණයක් නිකුත් කරයි. අවසානයේදී පෙනහළු හරහා ගමන් කර පර්යන්ත රුධිර සංසරණයට ඇතුල් වෙයි.

රෝගය පුළුල් වශයෙන් පැතිර පවතින කලාපවල රෝගීන්ට ආසාදනයක් ඇති වුවද රෝග ලක්ෂණ ඇති නොවෙයි. මෙවැනි පුද්ගලයින් රෝග වාහකයින් ලෙස ක්‍රියා කරයි. එහෙත් රෝගයට නුපුරුදු පුද්ගලයෙකු ඉතා සුළු ආසාදනයකින් වුවද වසා නාල ඉදිමුම, වේදනාව, වසා ග්‍රන්ථි ඉදිමුමට ලක් වෙයි.

මිනිසාගේ ශරීරය තුළදී බරවා පණුවන් විසින් නිකුත් කරන විෂ වර්ග ප්‍රෝටීන අසාත්මික විිම නිසා ප්‍රතිදේහ, ප්‍රතිදේහජනක ප්‍රතික්‍රියා ඇති වෙයි. වසානාල වල බිත්තිවල ඝනකම වැඩිවෙයි. වසානාල කැල්සිභවනය වීමද වෙයි. වසානාල වලින් වසා ඉවතට පැමිණීම සිදු වෙයි. මෙම ස්ථාන ද්වීතියිකව බැක්ටීරියා ආසාදනයට ලක්වී රෝග ලක්ෂණ වැඩි කරයි.

බරවා පණුවා නිසා වන ප්‍රධානතම රෝග ලක්ෂණය වන්නේ ශරීරයේ ස්වරූපය හැඩය අවලස්සන වීමයි. ප්‍රතිදේහ ප්‍රතිදේහ ජනක ප්‍රතික්‍රියා නිසා හිසරදය, වමනය, උණ, ඔක්කාරය ඇති වෙයි. ශරීරයේ කැසීම ඇති වෙයි.

වසා නාල අවහිර වීම නිසා වසා ග්‍රන්ථි ඉදිමීම, වෘෂණ කෝෂ ඉදිමුම සහ අත් සහ පාද ඉදිමුම ඇති වෙයි.

රෝගී ස්වභාවය තහවුරු කර ගැනීමට රෝග ලක්ෂණ ප්‍රධාන වශයෙන් උපයෝගී කර ගත හැකිය. රාත්‍රී රුධිර නිදර්ශකවල බරවා පණුවන් හඳුනාගත හැකිය. බරවා පණුවාගේ වන විශේෂ ප්‍රතිදේහ, ප්‍රතිදේහ ජනක ප්‍රතික්‍රියා හඳුනාගත හැකිය. රුධිර පරීක්ෂණ වලින් ඉහත ඉයොසිනොෆිල ප්‍රතිශතයන් දැකිය හැකිය.

රෝගය ඇතිවීම වළක්වා ගැනීමට පවතින ප්‍රධානතම උපාය වන්නේ රෝග වාහක මදුරුවාගේ ව්‍යාප්තිය සීමා වීමයි. මෙයට අමතරව රෝගී පුද්ගලයන්ට DEC  හෙවත් Diethyl Corbamezine ඖෂධය සති දෙකක කාලයක් ලබා දීම සිදු කරයි.

මීට අමතරව වෙනත් මදුරු විශේෂ වලින් බෝවන බරවා රෝග අවස්ථා ද පවතියි. Brugia malay මෙයට නිදසුනකි. මිනිසාගේ ඇස අවට සමට හානි කරන බරවා රෝග අවස්ථාවක් ද පවතියි. මෙය Loa - Loa ය.

අපි‍්‍රකානු කලාපයේ ප්‍රධාන වශයෙන් පවතින රෝගී අවස්ථාවක් වන්නේ Onchocerca Volvulus ය.

ලොව පුරා වැඩිම දෙනාට අන්ධභාවය ඇති කරන රෝග අතර දෙවන ස්ථානය හිමිකර ගන්නේ මෙම බරවා රෝගයයි. සුනඛයින් සහ පූසන් ආශිත්‍රව ද පැතිරි යන බරවා රෝග පවතියි. මෙය Dirofilaria ලෙස හැඳින්වෙයි. එමඟින් මිනිසාට රෝගය බෝවිය හැකිය.