අපරාධවල සුලමුල හෙළිකරන අධිකරණ වෛද්‍ය විද්‍යාව

අපරාධවල සුලමුල හෙළිකරන අධිකරණ වෛද්‍ය විද්‍යාව

කොළඹ අධිකරණ වෛද්‍ය ඒකකයේ

විශේෂඥ අධිකරණ වෛද්‍ය

එස්.ඩී. චන්න පෙරේරා

අධිකරණ වෛද්‍ය විද්‍යාව යනු කුමක්ද? සාමාන්‍ය මහජනතාවට අධිකරණ වෛද්‍ය සේවය වැදගත් වන්නේ කෙසේ ද? අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සිදුකළ යුතු අවස්ථා මොනවාද යන කරුණු පිළිබඳව බොහෝ දෙනෙකුට තිබෙන්නේ අපැහැදිලි අදහසක් බව මේ පිළිබඳව විමසනු ලබන කරුණු වලින් හෙළි වී ඇත. අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් මෙසේ ඉදිරිපත් කරන්නේ එහෙයිනි.

ඉංගී‍්‍රසි බසින් Judical Medicine ලෙස හැඳින්වෙන්නේ අධිකරණ වෛද්‍ය විද්‍යාවය. ශ්‍රී ලංකාව තුළ මෙම අධිකරණ වෛද්‍ය සේවාව ලබාදීමේ වගකීම තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ සිටින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාටය. දිවයිනේ බොහෝ රෝහල් වල අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාල ස්ථාපනය කර ඇත. අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාල නොමැති කුඩා රෝහල් ඇති ප්‍රදේශවල අධිකරණ වෛද්‍ය නිලධාරී වරයාගේ කාර්යභාරය කිරීමට සිදුවන්නේ දිසා වෛද්‍ය නිලධාරීවරයාටය.

වෛද්‍ය ක්ෂේත්‍රය තුළ අධිකරණ වෛද්‍ය විද්‍යාව ලෙස වෙනමම විෂයක් පිළිබඳව සඳහන් වන්නේ නැත. වෛද්‍ය ක්ෂේත්‍රය තුළ පවතින වෝහාරික වෛද්‍ය විද්‍යාව (Forensic Medicine) සාමාන්‍ය සමාජයේද බොහෝ දෙනෙකු හඳුන්වන්නේ අධිකරණ වෛද්‍ය විද්‍යාව ලෙසය. මෙම වෝහාරික වෛද්‍ය විද්‍යාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්වේ. ඒ,

1.සායනික වෝහාරික වෛද්‍ය විද්‍යාව (Clinical Forensie Medicine)

2.පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම (Froensic Pathology) ලෙසය.

බටහිර රටවල පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකරන වෛද්‍යවරුන් සායනික පරීක්ෂණ සිදු නොකලද ශ්‍රී ලංකාව තුළ වෝහාරික වෛද්‍යවරු හෙවත් අධිකරණ වෛද්‍යවරු මේ දෙආකාරයේම පරීක්ෂණ සඳහා තම දායකත්වය ලබා දෙති.

පහත සඳහන් කරුණු සහ සිදුවීම් වලට අදාලව අධිකරණය මගින් හෝ පොලිසිය මඟින් කිසියම් පුද්ගලයෙකු සායනික පරීක්ෂණයකට යොමුකර වෛද්‍ය වාර්තාවක් ලබාදෙන ලෙස අධිකරණ වෛද්‍ය වරයාගෙන් ඉල්ලා සිටිවිට අධිකරණ වෛද්‍යවරයා එම සායනික වාර්තාව ලබා දෙනු ඇත.

එසේ සායනික පරීක්ෂණයකට ලක්වෙන පුද්ගලය වන්නේ, පහර දීමකට ලක් වූ පුද්ගලයින්, පහරදුන් සැකකරුවන්, ලිංගික අපයෝජනයකට ලක් වූ වින්දිතයින්, ලිංගික අපයෝජන සිදුකළ සැකකරුවන්, ළමා අපයෝජන වලට ලක් වූ දරුවන්,සහ ඒවා සිදුකළ සැකකරුවන්, ගෘහස්ථ හිංසන වලට ලක් වූ කාන්තාවන් සහ ඒ පිළිබඳ සැකකරුවන්, ගබ්සාවලට ලක් වූ කාන්තාවන්, බීමත් පුද්ගලයින් (රියදුරන් සහ වෙනත් ඕනෑම පුද්ගනයෙක්) මත්ද්‍රව්‍ය භාවිත කළ පුද්ගලයින්, බන්ධනාගාර ගතකර සිටින එහෙත් බන්ධනාගාර ගතව සිටීමට තරම් හොඳ සෞඛ්‍ය තත්ත්වයක, නොමැති පුද්ගලයින් යන අය අධිකරණයේ හෝ පොලිසියේ ඉල්ලීමක් මත අධිකරණ කටයුතු සඳහා වාර්තාවක් ලබාදීමට අධිකරණ වෛද්‍යවරයා විසින් සායනික පරීක්ෂාවකට ලක් කරනු ඇත.

පශ්චාත් සීමාවාසික පුහුණුව අවසන් කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය නිලධාරීන් හැටියට පත්වීම ලැබු ඕනෑම වෛද්‍යවරයකුට අධිකරණ වෛද්‍ය පරික්ෂණයක් සිදුකිරීමේ හැකියාව ඇත. ඊට අමතරව විශේෂ විශ්ව විද්‍යාල පනත (Unirercity act) යටතේ විශ්ව විද්‍යාල වල වෝහාරික වෛද්‍ය අංශයේ වෛද්‍යවරුන්ට ද අධිකරණ වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීමේ හැකියාව ඇත. අධිකරණ වෛද්‍යවරු අතර ජ්‍යෙෂ්ටතම පුද්ගලයා වන්නේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයාය. ඔහු දේශීයව සහ විදේශීව වෝහාරික වෛද්‍ය විද්‍යාව පිළිබඳව වසර 5ක පුහුණුවක් ලද වෛද්‍යවරයෙකි. ඕනෑම පොලිස් ස්ථානයක ස්ථානධිපතිවරයාට අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබාදෙන ලෙස අධිකරණ වෛද්‍ය පෝර්මයක් මගින් අධිකරණ වෛද්‍යවරයකු ගෙන් ඉල්ලීමක් කළ හැකිය.

සායනික වෛද්‍ය පරීක්ෂණ වලට අමතරව පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීම අධිකරණ වෛද්‍යවරයකුගේ ප්‍රමුඛ කාර්යයකි. අති බහුතරයක් මිනිසුන් මිය යන්නේ ස්වභාවික හේතුන් නිසාය. රෝහලකදී කිසියම් පුද්ගලයකු ස්වභාවික හේතුන් මත මිය ගියහොත් එම රෝගියා හට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාට මරණ ප්‍රකාශය නම් ලියැවිල්ල මගින් එම මරණය නිදහස් කළ හැකිය. කලක පටන් රෝගී ව සිටි පුද්ගලයකු නිවසේදී මිය ගියේනම් ග්‍රාමසේවා නිලධාරියාට එම මරණය නිදහස් කළ හැකිය. එහිදී ග්‍රාමසේවා නිළධාරිවරයා බොහෝ විට ප්‍රතිකාර ගත් වෛද්‍යවරයාගේ වාර්තාවක් ඉල්ලා සිටිනු ඇත.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 30 වෙනි පරිච්ඡේදයේ පුර්ණ වශයෙන්ම සඳහන් වන්නේ පශ්චාත් මරණ පරීක්ෂණ පිළිබඳවය. මරණයක් සිදුවිය හැකි ආකාර 4ක් පිළිබඳව එහි සඳහන් වේ. ස්වභාවික හේතු, හදිසි අනතුරු, සියදිවි හානි කර ගැනීම්, සහ මනුෂ්‍ය ඝාතන එම ආකාර හතරයි. මේ හැර මරණය සිදු වූ ආකාරය නිවැරදිව හඳුනාගත නොහැකි වූ විට “මරණය සිදු වූ ආකාරය නිශ්චිතව සොයාගත නොහැක.” යනුවෙන් සඳහන් කෙරේ.

පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකරනු ලබන්නේ වෛද්‍යවරු වන අතර මරණ පරීක්ෂණ සිදු කරනු ලබන්නේ (Inquest) හදිසි මරණ පරීක්ෂකවරයකු හෝ මහේස්ත්‍රාත්වරයකු විසිනි. ඔවුහු වෛද්‍යවරු නොවෙති.

හදිසි මරණ පරීක්ෂක වරයකුට පැවැත්විය හැකි මරණ පරීක්ෂණ වන්නේ ඕනෑම ස්වභාවික මරණයකට අදාලව ඕනෑම සිය දිවි නසා ගැනීමකට අදාලව, යන්ත්‍රෝපකරණයකින් සිදු වූ මරණයක් පිළිබඳව, සර්පයින්, කිඹුලන් වැනි සතුන් සපා කෑමෙන් සිදුවු මරණයක් පිළිබඳව මරණ පරීක්ෂණ මෙන්ම ඇතැම් හදිසි අනතුරු පිළිබඳව මරණයන්ය.

මහේස්ත්‍රාත් වරයකු විසින් සිදුකළ යුතු මරණ පරීක්ෂණ යටතට ගැනේනේ, මනුෂ්‍ය ඝාතන වලට අදාල මරණ පරීක්ෂණ, මෘත ශරීර ගොඩ ගැනීම වලට අදාල මරණ පරීක්ෂණ, මරණය සිදු වූ ආකාරය කුමක් වුවත් බන්ධනාගාරයක් ඇතුලතදී හෝ පොලිස් අත්අඩංගුවේ සිටින විට සිදු වූ මරණ පිළිබඳව මෙන්ම මානසික රෝහලකදී හෝ ලාදුරු රෝහලකදී සිදු වූ මරණයක් පිළිබඳ මරණ පරීක්ෂණ ද මහේස්ත්‍රාත්වරයකු විසින් සිදුකළ යුතුයි.

ඉහත අයුරින් මරණ පරීක්ෂණය සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය අධිකරණ වෛද්‍යවරයකු වෙත යොමු කළ යුතුය. අපරාධයක් සිදුකර එයින් සැඟවී සිටීමට උත්සාහ දරණ පුද්ගලයින් නීතිය හමුවට ගෙන ඒමට මෙන්ම වැරදි කරුවන් යැයි සැක කළ අහිංසක පුද්ගලයින්ගේ නිර්දෝෂීභාවය තහවුරු කිරීමට අධිකරණ වෛද්‍ය පරීක්ෂණ උපයෝගී වූ ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමට ඕනෑතරම් උදාහරණ අධිකරණ වෛද්‍ය ක්ෂේත්‍රයේ ඇත. සාමාන්‍ය මහජනතාවගේ නෙතට එතරම් හසු නොවුවද අධිකරණ වෛද්‍ය වරයකුගෙන් වන සේවය කෙතරම් ද යන්න ඒ පිළිබඳව විමසා බැලීමේදී මනාව පැහැදිලිවේ.