බිඳුණු පෙමක දුක තුනී කරගන්නට කාලයට ඉඩ දෙන්න

බිඳුණු පෙමක දුක තුනී කරගන්නට කාලයට ඉඩ දෙන්න

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මනෝ වෛද්‍ය විශේෂඥ

සජීවන අමරසිංහ

ආදරය යනු සුන්දර වරදකි. කිසිදා සමාවක් ඔබට හිමි නොවේ. ඇතැම් අය ආදරේ ස්වභාවය හොඳින්ම දැනෙන්නට ඉඩ හැර සිතට ඇති කරන දුක දරාගන්නට නොහැකි බව ඇතැම් ගීත වල පවා ලියැවුණේ ඒ නිසාවෙන්ම විය යුතුයි. ආදරයක, පේ‍්‍රමයක ඇරඹුම කෙතරම් සොදුරු වුවත් එහි බිඳ වැටීම කෙතරම් සිතට පීඩා ඇති කරනවාද? ඒ නිසා ඇතැම්විට ඔබ මානසික වශයෙන් පීඩාවට පවා පත්විය හැකියි.

හිතට දුකක් ඇති වීම ස්වභාවිකයි

සාමාන්‍යයෙන් පේ‍්‍රම සබඳතා ඇති වනවා මෙන්ම ඒවා බිඳ වැටීම ද ඉතාමත් සුලබ තත්ත්වයක්. එවැනි අවස්ථාවකදී සිතට අධිකව දුකක් ඇති වීම ඉතාමත් ස්වභාවික තත්ත්වයක්. එසේ වුවත් එම දුක කාලයත් සමඟ තුනී වී ගියත් සමාජයේ ජීවත්වන එවැනි සබඳතා බිඳ වැටුණු විවිධ අය ඒවාට දක්වන ප්‍රතිචාර එකිනෙකට වෙනස් වේ. එම ප්‍රතිචාර කරුණු කාරණා රැසක් මත පදනම් වේ. එම කරුණු අතර පෞරුෂත්වය, ගැටලුවලට මුහුණ දීමේ හැකියාව, ආදිය උදාහරණ වශයෙන් පෙන්වා දිය හැකියි. ඒ අනුව මෙවැනි ගැටලුවකදී පිරිසක් ඒ පිළිබඳ දුක්වීම, කණගාටුවීම, ළතැවීම ආදී වශයෙන් ඊට ප්‍රතිචාර දැක්වුවද තවත් සමහර පිරිසක් ඒ පිළිබඳ ඒ තරම් තැකීමක් සැලකිල්ලක් නොදක්වා ද සිටිය හැකියි. මෙවැනි ගැටලුවක් බරපතළ ලෙස යම් අයකුගේ ජීවිතයට බලපෑවහොත් ඇතැම් විට මානසික රෝග අවස්ථා දක්වා ද අදාළ තත්ත්වය වර්ධනය විය හැකියි.

විවිධ අය දක්වන ප්‍රතිචාර විවිිධාකාරයි

කෙසේ වෙතත් ඇතැම් අය මෙවැනි ගැටලුවලදී ඒවාට දක්වන ප්‍රතිචාර ඉතාමත් අසාර්ථක ඒවා බවට පත් කරගනු ලැබේ. උදාහරණයක් ලෙස පේ‍්‍රම සබඳතාවක් බිඳ වැටුණු පසු මත්පැන්, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම.

එසේ ඔවුන් මෙවැනි ක්‍රම හරහා තමාගේ ප්‍රශ්නවලට විසදුම් සොයා ගැනීමට උත්සාහ දැරීම පදනම් විරහිත ක්‍රියාවකි. තවත් සමහර පිරිස් සියදිවි හානිකර ගැනීමට පවා උත්සාහ ගැනීම මෙවැනි තත්ත්වයකදී දැකගත හැකි වේ.

දුක තුනී කරන්න කාලයට ඉඩක්

සාමාන්‍යයෙන් පෙම් සබඳතාවක් බිඳ වැටුණු පසුව අදාළ ගැටලුවට මුහුණ දුන් අයට තිබෙන දුක් සහිත ස්වභාවය කාලයත් සමඟ තුනී වී යනු ලැබේ. නමුත් මුල් දිනවල එය දරා ගැනීම ඉතා අපහසු වීම සාමාන්‍ය ස්වභාවයයි. ඒ නිසා කාලයට ඉඩ දීම හරහා යම් අයකුට මෙවැනි සිදුවීම් මතකයක් පමණක්ම බවටට පත් කර ගත හැකියි.

ගැටලුව තමාගේ නොවන තුරු පිළිතුර දාර්ශනිකයිද?

බොහෝ පෙම්වතුන්ට විරහව දරා ගැනීමට මුල්කාලීනව අපහසු නිසා ඊට ප්‍රතිචාර ලෙස විවිධ අනුවණ ක්‍රියා සිදු කළ ද පිටත සිට බලන අයකුට එහි පවත්නා සැබෑ ස්වරූපය අවබෝධ කර ගැනීමට පහසුවෙන් හැකියාව ලැබේ. “එයා නැත්නම් මට වැඩක් නෑ, මට ජීවිතේ එපා වෙලා” වැනි සිතුවිලි ඇති වීම සාමාන්‍ය ස්වභාවය වුවත් එය යථාර්ථය නොවන බව ඔවුන් තේරුම් ගත යුතුයි.

හොඳම දේ තවත් අයෙක් සමඟ කථා කිරීමයි

සිතට ඇතිවන දුක වෙනත් අයකුට පැවසීම මෙවැනි විටෙක වඩාත් සුදුසුම ක්‍රියාමාර්ගයයි. ඕනෑම ගැටලුවකට මුහුණ දුන් පසු සිතේ තිබෙන පීඩනය තවත් අයකුට පැවසීම මඟින් ඊට තරමක් දුරට හෝ සහනයක් ලබා ගත හැකියි. ඒ වගේම ඇතැම් අය සිතේ දුක තද කරගෙන දුක් නොවී සිටීමට උත්සාහ කළ ද එමඟින් ඔවුන්ගේ සිතෙහි ඇතිවන පීඩනය තව තවත් උග්‍ර අතට පත්විය හැකියි. ඒ නිසා සිතට දුකක් ඇතිවුණු මුල් අවස්ථාවේදී ඒ පිළිබඳ දුක්වීම, කණගාටු වීම හෝ වෙනත් අයෙක් සමඟ තමාගේ දුක පැවසීමට හැකියි. එසේ තමාගේ ගැටලුව පිළිබඳ සමීපතම තමාට හිතවත් මිතුරෙක් හෝ වැඩිහිටියෙක්ට පැවසිීමට හැකියි. එසේ පැවසීම මඟින් ඔබ මුහුණ දී තිබෙන ගැටලුව තමන් නොදකින වෙනස්ම ආකාරයට දැකගත හැකියි. එමඟින් අදාළ ගැටලුවට වෙනස්ම විදිහේ පිළිතුරු පවා ලබා ගත හැකි වේ. නමුත් මේ තත්ත්වය තරමක් බරපතළ වනවිට පවුලේ අයෙක් සමඟ පැවසීමෙන් විසදා ගත නොහැකි නම් මනෝ වෛද්‍ය උපදේශනය හෝ මනෝ වෛද්‍ය ප්‍රතිකාර යොමුවිය යුතුයි.

තවත් කොටසක් ලබන සතියට ...