වයසට යන විට ආහාර ගත යුතු ආකාරය

වයසට යන විට ආහාර ගත යුතු ආකාරය

වියපත් වනවිට බොහෝ ලෙඩ රෝග අත දිගු කළ සැනින් අප කරා එන බව ඔබට අමුතුවෙන් කිවයුතු නැත. මේ ලෙඩ රෝග හෙම්බිරිස්සාව, කැස්ස, උණ පමණක් නොවේ. හෘද රෝග, ආඝාතය, අධි රුධිර පීඩනය, දියවැඩියාව, වකුගඩු අකරණය, පිළිකා, ආර්තරටිස් ආදී කාලික රෝග රාශියකුත් මේ අතර පවතියි. මේ හුඟක් රෝගාබාධ තමන්ට ඇතිවන්නේ ජානමය හේතු මත යැයි විශ්වාස කරනා පිරිසක් ද අප අතර ඇත. මේවා අපේ පරම්පරාවෙන් එන ලෙඩනෙ ඒවා නවත්වන්න බැහැ... ඔබ කියන්නේ එහෙයිනි. එසේම මේ කතාන්දරවල වරදක් ද නැත. වයසට යන විට, වෙනත් වයස් වලදී නොතිබුණ තරමට, විවිධ කාලික රෝග මතුවීමට වැඩි ඉඩක් තිබේ.

එසේ වුවද ජානමය වශයෙන් මතුවීමට ඉඩ ඇති මෙම රෝග ඇතිවීම වැළැක්වීමට හෝ ඒවායෙහි දරුණුකම මෙල්ල කිරීමට හෝ හැකියාව අප සතු බව වෛද්‍ය පර්යේෂකයෝ පවසති.

“සෞඛ්‍යමත් ආහාරවේලක් ගැනීමෙන් සහ කායිකව සක්‍රිය ජීවිතයක් ගත කිරීම තුළින් ජානමය ආරම්භයක් සහිත රෝග පවා යම්තාක් දුරකට මෙල්ල කිරීමට පුළුවන්.” යන්න වියපත් අයගේ පෝෂණය හා ආහාරවේල ගැන සොයා බැලූ විද්වතුන්ගේ අදහසය.

කාන්තාවන්ගේ සෞඛ්‍යය ගැන කතා කළහොත් ආර්තවහරණය (ඔසප් නතර වීම) වීමත් සමඟ නැතිනම් ඒ වනවිට බොහෝ රෝග තත්ත්වයන් ඇය සමීප කරගෙන හමාරය. දැන් ඇය ස්ථුලය. නැතිනම් තරබාරුය. එය ලෙඩ රෝග රැසක් ගෙන එන ඒජන්තවරයාය. නමුත් ඇයට පුළුවන් වූවානම් නිසි පෝෂණය ලැබීමට, සිය සිරුරේ බර පාලනය කර ගැනීමට, සක්‍රිය (ඇඟ වෙහෙසන) ලෙස ජීවත් වීමට ඇය සමත් වුවහොත් ඇගේ සෞඛ්‍යයට වින කරන කාලික රෝග ඇති වීමට පැවති ඉඩකඩ අවම කර ගැනීමට පුළුවන.

වයස්ගත වනවිට නිසි පෝෂණය ලැබීමට හරස්වන ප්‍රධානම කාරණය නම් පෝෂ්‍යදායී හෙවත් සුව මිතුරු ආහාර සකසා ගැනීමට හා පිළියෙල කිරීමට ඇති නොහැකියාවයි. සුව මිතුරු ආහාර මිලදී ගැනීමට ඔවුනට මුදල් නොමැති විය හැකිය. එසේ නැතිනම් ආහාර මිලදී ගැනීමට වෙළෙඳපොළට යාමට කායිකව දුර්වල විය හැකිය. ඔවුන් තනිව වෙසෙන්නේ නම් ඒවා පෝෂණය සුරැකෙන සේ පිළියෙල කර ගැනීමට තරම් හැකියාවක් නොතිබෙනවා විය හැකිය.

මනෝ සමාජයීය බපලපෑම් ද වියපත් අයගේ පෝෂණයට හරස් වෙයි. සමහරවිට මුළු ජීවිත කාලය පුරාම නිවසේ එකට ජීවත් වූ දරුවන් ඇතුළු සැමට ආහාර පිසූ මව දැන් සිය සැමියාත් සමඟ ගෙදර තනි වී ඇත. වෙනදා තරම් වෙහෙස වී රසවත් ආහාර පිසීමට ඇය දැන් අසමත්ය. පාළුවේ වෙසෙන දෙදෙනා යම්තම් කුස පුරවාගත හැකි යමක් ගිල දැමීමට පුරුදු වෙයි. පිරිසක් සමඟ ආහාර ගන්නා විට තරම් ආහාර ප්‍රමාණයක් ගැනීම තනිව ආහාර ගන්නා විට සිදු නොවන බව අධ්‍යයන පෙන්වා දී ඇත. සමහරවිට එය සියයට 40 ක් වත් වඩා අඩුවිය හැකි බව අධ්‍යයන අඟවයි.

වයස්ගත අය වැඩිපුර පෙළිය හැකි විෂාදය නිසාද වියපත් අය ආහාර ගන්නා ප්‍රමාණය අඩු කරයි. බෝහෝවිට විෂාද රෝගීන් සෞඛ්‍යයට සතුරු ආහාර ගනිමින් රෝග තත්ත්වයට පාර කපති.

වයස්ගත වීමත් සමඟ බොහෝවිට තමන් ගන්නා ආහාර තුළින් ප්‍රමාණවත් ප්‍රෝටීන් , විටමින් සහ ඛනිජ පෝෂක සහ තන්තු (කෙඳි) ලැබීම අඩු වෙයි. සමහරවිට වියපත් වනවිට අවශ්‍ය කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අඩු වීම සුදුසු වුවත්, මේදය (තෙල්) අඩු වීම වරදක් නැතත් පෙර සඳහන් කළ පෝෂක හිඟවීම රෝග තත්ත්වයන්ට අතවනයි. විශේෂයෙන්ම කාන්තාවන් වයස්ගත වනවන විට වැඩිපුර කැල්සියම් යකඩ, විටමින් ඩී හා බී 6 විටමිනය නොලැබී ගියහොත් ආර්තරයිටිස්, ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග තත්ත්වයන්ට ලක්වීමේ අවදානම ඉහළ යයි.

වියපත් වීමත් සමඟ මතුවන ගැටලු රාශියක් හේතුකොට ඔවුන් තුළ ඇති ආහාර රුචිය ද පහළ වැටෙයි. ඒ සඳහා මුල්වන හේතු අතර ආහාරයෙහි රසය හා සුවඳ නොදැනීම, දත් අහිමිව තිබීම, ආහාර ජීර්ණයේ දුර්වලතා මෙන්ම විවිධ රෝග සඳහා ගන්නා ඖෂධ අතුරු ආබාධ ආදිය වෙයි. විජලනය ද වියපත් වූ විට ඇතිවෙයි. විශේෂයෙන්ම වයසට යාම නිසා වකුගඩුවල ක්‍රියාකාරීත්වය අඩු වී මුත්‍ර සාන්ද්‍ර හරියාකාරව නොසිදුවීම පිපාස සංවේදය දැනීම අඩු වීම වැනි හේතුන් එයට බලපායි. වියපත් වූ විට ඇතිවන ආර්තරයිටිස් වැනි තත්ත්වයන් නිසාද ආහාර පිසීමට කම්මැලි වෙයි. මේ සියල්ලේම ප්‍රතිඵලය මන්දපෝෂණය හා නීරක්තිය වැනි තත්ත්වයන් ඇති වීමත් කායික සහ මානසික සෞඛ්‍ය දුර්වල වීමත්ය.

වයස්ගත වීමත් සමඟ බොහෝ කාන්තාවන් ස්ථුලතාවය නැතිනම් තරබාරුවට ලක් වෙති. අධික රුධිර පීඩනය , හෘද රෝග , දියවැඩියාව, ආඝාතය, පිළිකා, කායික බෙලහීනතා ඇති කිරිමට එය මුල් වෙයි. ආහාර වැඩිපුර ගැනීම මෙන්ම නුසුදුසු ආහාර තෝරා ගැනීම නිසාද මෙම තත්ත්වය ඇතිවිය හැකියි.

මේ අතර තවත් සමහර කාන්තාවන්ට නිසි පෝෂණය නොලැබීම නිසා දුර්වල වී මන්දපෝෂණයන්ට ලක් වෙති. එවැනි කෙට්ටු බර අඩු කාන්තාවන්ට නිතර ආසාදන ඇතිවීමට හා අකල් මරණයට පත් වීමට එය හේතුවිය හැකිය.

වියපත් වීමේදී නිසි ආහාර හා පෝෂණය නොලැබීම නිසා ඇතිවන මෙම අභියෝග ජය ගැනීමට නම් සමතුලිත මිශ්‍ර ආහාර වේලක් ගැනීමට අමතක නොකළ යුතුය. නිවුඩ්ඩ සහිත ධාන්‍ය, මාළු, පියලි ඇට, එළවළු හා පලතුරු, එවැනි ආහාර වේලක අඩංගු විය යුතුය. තෙල් (මේදය) හා ලුණු භාවිතය මෙන්ම සීනි හා පැණි රස ආහාර ගැනීම ද යම් පාලනයකට යටත් විය යුතුය. දිරවීමට අපහසු ආහාර ගැනීම ද කළ යුත්තේ කලාතුරකිනි. ආහාර හොඳින් විකා කෑමට නොහැකි නම් ඒවා කැබළි ලෙස කුඩා කර හෝ සුප් හා කැඳ වශයෙන් දියරමය ලෙස හෝ ගැනීම කළ හැකිය.

සජලව එනම් ප්‍රමාණවත් තරම් ජලය සිරුරේ අඩංගු බවද සහතික විය යුතුය. උතුරුවා නිවාගත් පිරිසිදු ජලය පානය කරන්න. දවසකට වතුර වීදුරු 8 ක් පානය කළ හැකි නම් ඒ ඉතා සුදුසුය. එළවළු හා පලතුරු තුළද ජලය අඩංගු බව මතක තබාගන්න. කැල්සියම්, බී විටමිනය, සී විටමිනය, යකඩ ආදිය ඔබගේ සෞඛ්‍යමත් ජීවිතයට අවශ්‍යයය. ඔබ ගන්නා ආහාරයෙන් මේ පෝෂක ලැබීමේ අඩුවක් ඇත්නම්, වෛද්‍ය උපදෙස් ලබා සුදුසු අතිරේක පෝෂක ලබා ගැනීමට පියවර ගන්න.