ලිංගාශි‍්‍රත සායනයකින් ඇසුණු සත්‍ය කතාවක්

ලිංගාශි‍්‍රත සායනයකින් ඇසුණු සත්‍ය කතාවක්

අවු. 19 වෙනකොට ලිංගාශි‍්‍රත රෝග ලක්ෂණ පහළ වෙලා

ජාතික ලිංගාශි‍්‍රත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ

වෛද්‍ය සිසිර ලියනගේ

සමාජය තුළ ජිවත් වෙනවා කියන්නේ එක්තරා ආකාරයකට සෙල්ලමක් වගේ දෙයක්. තරඟයකදී ජය පැරදුම අවිශ්වාස වෙනවා වගේම අපේ ජීවිත කුමන වේලාවේ කුමන ඉරණමකට පත් වේවිද කියලා කාටවත් කියන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒත් දිනුම පැරදුම කෙසේ වුවත් එහි අවසානය දක්වාම ක්‍රීඩා කිරීම ඉතාම වැදගත්. ජීවිතය ද එසේම විය යුතුයි. මිනිස් ජිවිතයේදීද වඩාත් වැදගත් වන්නේ දිනුම පැරදුම නොව අවසානය දක්වාම නොසැලී ජිවත් වීමයි.

මේ කථාවේ තිමිර කියලා කියන්නේ තවමත් ඉතාම තරුණ වයසේ පසුවන පිරිමි ළමයෙක්. ඒත් වැඩිහිටියෙක් වෙන්නත් කලින්ම තිමිරට HIV වගේ ලෙඩක් වැලඳුනේ අනවශ්‍ය වයසක අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පවත්වන්න ගිය නිසයි. කුඩා කාලේ ඉඳලා ඉගෙන ගන්න දක්ෂ වුණු තිමිර දවසේ වැඩි වේලාවක් ගත කළේ පොත පත එක්ක. ඒ තරම් යාළුවෝ එයාට හිටියේ නැහැ. විශේෂයෙන් ගැහැනු ළමයි. කොහොම වුණත් තිමිරගේ පාසලෙන් ශිෂ්‍යත්ව විභාගෙට වැඩිම ලකුණු අරගෙන එයා නගරේ තියෙන ප්‍රසිද්ධ පිරිමි පාසලකට ඇතුළත් වුණේ හිතේ ලොකු හීන ගොඩක් පොදි බැඳගෙන. ඉස්කෝලේ ඇතුලේ හොඳ කැපී පෙනෙන දක්ෂ ශිෂ්‍යයෙක් වුණු තිමිර කාලයක් ගත වෙනකම් තමන්ගේ අධ්‍යාපන කටයුතු හොඳින්ම කරගෙන ගිය නිසා අම්මාවත් තාත්තාවත් එයා ගැන අනවශ්‍ය විදිහට සොයා බලන්න උනන්දු වුණේ නැහැ.

කොහොම වුණත් කාලය ගත වෙලා තිමිර 9 වන වසරට ආවට පස්සේ එයාට ඉස්කෝලේ තවත් අයියා කෙනෙක් එක්ක ඉතා හොඳ යාළුකමක් ඇති වුණා. එයාගේ නම ඩිල්ෂාන්. ඩිල්ෂාන් තිමිර ගැන විශේෂයෙන් උනන්දු වුණේ එයා දක්ෂ කෙනෙක් නිසාම නෙවෙයි. වෙනත් අදහසක් ද සිතේ ඇතිවයි. මේ දෙදෙනා අතර ගොඩ නැඟුණු යාළුකම තව තවත් දුරදිග ගියේ හැමදාම ඉස්කෝලේ ඇරිලා ගෙදර යන අතරතුරදීයි. තිම්රත්, ඩිල්ෂානුත් ගෙදර ගියේ එකම බස් එකේ. මුලින් මුලින් තිමිරට මේ සම්බන්ධයේ තරමක අමුත්තක් දැනුණත් ඔවුන් අතර ඇති වුණු බැඳීම ඩිල්ෂාන් පාසැලෙන් ඉවත් වුණාට පස්සෙත් දිගටම තිබුණා. ඉස්කෝලෙන් අයින් වුණාට පස්සෙත් ඩිල්ෂාන් තිමිරව මුණ ගැහුණ විතරක් නෙවෙයි ඉස්කෝලේ යන කාලෙ ඉඳලම ඔවුන් ලිංගික සම්බන්ධකම් පවා පැවැත්වුවා.

තිමිරට ඉස්සර ඉඳලම ගැහැනු ළමයි ගැන එතරම් උනන්දුවක් නැති වුණත් ඩිල්ෂාන් ඒ වෙන කොටත් ගැහැණු ළමයෙක් එක්ක යාළුවෙලා හිටියේ. තිමිර එක්ක විතරක් නෙවෙයි එයා එක්කත් ඩිල්ෂාන් ලිංගිකව සම්බන්ධකම් පවා පැවැත්වුවා. ඒත් තිමිරට ඩිල්ෂාන්ගේ මේ සම්බන්ධය ඒ තරම් හිතට ඇල්ලුවේ නැහැ. එයා හැම වෙලාවෙම කිව්වේ ගැහැනු ළමයව අත් හරින්න කියලා. කොහොම වුණත් මේ හැමදේම අතරේ යන්තම් වයස අවුරුදු 19 ක් වෙනකොට තිමිරට ඇතිවුණු විවිධ රෝග ලක්ෂණ නිසා එයා වෛද්‍ය පරීක්ෂණයකට ගිය වෙලාවේ HIV ආසාදිත බවට තහවුරු කරගන්නට පුළුවන් වුණා. ඒ වෙලාවේ ලිංගාශි‍්‍රත රෝග සායනයේ වෛද්‍යවරු එයා සම්බන්ධකම් පැවැත්වුවේ කාත් එක්ක ද කියලා තිමිරගෙන් අහලා බැලුවත් එයා මුලදී ඒ ගැන කියන්න බය වුණා. ඒත් ටික දවසකින් එයා ඩිල්ෂාන් ගැන තමන් පාසල් කාලේ ඉඳලා පැවැත්වුව සම්බන්ධකම් ගැන කිව්වා.

මේ තොරතුරු අනුව වෛද්‍යවරු ඩිල්ෂාන්ව ගෙන්වාගෙන පරීක්ෂණ කළත් ඔහු HIV ආසාදිත නොවන බව තහවුරු කළා. ඒ විතරක්ම නෙවෙයි එයාගේ ගැණු ළමයටත් HIV තිබුණේ නැහැ. මේ හේතුව හින්දා නැවත වතාවක් තිම්රගෙන් එයා ආශ්‍රය කරන තවත් අය ඉන්නවද කියලා වෛද්‍යවරු ප්‍රශ්න කළ වෙලාවේ තිම්ර තවත් කෙනෙක් ගැන තොරතුරු කිව්වා.

“ඩොක්ටර්. අපේ නෑදෑවෙන අයියා කෙනෙක් ඉන්නවා. එයාගේ නම කෝසල. එයා ගොඩක් කල් ඉඳලා පිටරට ඉන්නේ. දවසක් ලංකාවට ආව වෙලාවේ එයා අපේ ගෙදර ආවා. එයා ටික දවසක් අපේ ගෙදර නැවතිලා හිටියා.

තිමිර කෝසල එක්කත් ලිංගිකව හැසිරිලා තිබුණා. ඒ වනවිට කෝසල ලංකාවේ හිටපු නිසා ලිංගාශ්‍රිත රෝග සායනයට එයාව ගෙන්වා ගන්න අදාළ වෛද්‍යවරුන්ට අමාරු වුණේ නැහැ. කෝසල කියන්නේ කලින් ඉදලා HIV තිබුණු කෙනෙක්. එයා කිසි දෙයක් ඒ තරම් ගණන් ගත්තේ නැහැ. ලංකාවේ ඉන්න කොට බෙහෙත් ගත්තත් රට ගියාට පස්සේ ඒවා හැමදේම අතහැරලා. පස්සේ ලංකාවට ආවට පස්සේ තමයි එයා තිමිරව ආශ්‍රය කරලා තිබුණේ...

කොහොම වුණත් කෝසලත් HIV ආසාදිතයෙක් වුණාට එයාටත් පේ‍්‍රමවන්තියක් හිටියා. කෝසල ඇය සමඟත් ලිංගික සබඳකම් පවත්වනවා කියලා දැන ගත්ත වෙලාවේ ඇයව පරීක්ෂා කළත් වාසනාවකට එයාට HIV වැලඳිලා තිබුණේ නැහැ. ඒකට හේතුව වුණේ ඔවුන් ලිංගිකව සම්බන්ධකම් පවත්වලා තිබුණේ ආරක්ෂිත ක්‍රමවේදවලට අනුවයි. කොහොම වුණත් වෛද්‍ය කණ්ඩායම්වල මීළඟ අරමුණ වුණේ කෝසල සමඟ විවාහ වීමට හිටි තරුණියට ඒ පිළිබඳ දැනීමක් ලබා දීමටයි. ඇයට කෝසල සමඟ විවාහයෙන් අනතුරුව සබඳතා පැවැත්වීමට තිබෙන අවදානම පැහැදිලි කර දීමෙන් අනතුරුව ඇය ඔහු සමඟ දිගටම ජිවත් වීමට කැමති බව පැවසීම විශ්මය ජනකයි.

මේ නිසා ඇයට පවා වයිරසයෙන් ආරක්ෂා වීමට අදාළ ඖෂධ කෝසලගේ වයිරස් ප්‍රමාණය අවම කිරීමට ද ඖෂධ ලබා දුන් අතර ඉදිරියේදී ඔවුන් විවාහ වීමට ද නියමිතයි.