කන්තෝරුවේ මස් කටුව

“ෂක්කෝ.....මේක නියම්ම බල්ලු හිනාවක් නේ...” කියලා කිව්වේ තැබෑරුමෙන් එලියට විසි වෙච්චි දෙන්නාගෙන් එක් කෙනෙක්. ටොමිසන් ගැස්සුණා.

“ඇත්තටම මේ ක්ලාක් මහත්තයා ද? නෑ...නෑ....වෙන්න බෑ..එහෙනං මාව අඳුර ගන්නවා නේ....”

ටොමිසන් ගේ හිනාව අතුරුදහන් වුණේ, ආණ්ඩුවේ කන්තෝරුවක ලිපිකාරයෙක් පුටුවෙන් අතුරුදහන් වෙනවා වාගේ ය. ඒ එක්කම අනික් මිනිහා ඔලොක්කු හිනාවක් දැම්මේ සත පහේ සයිස් එකට ය.

“...මොකක් ද මිෂ්ටර්ර් රයිගම තමුෂේ මට්ට නේද කිව්වේ ඒ බල්ලු කතාව...? මගෙ හින්නාව බල්ලු හින්නාවක් එහෙනං...”

“....න් නෑ...මිෂ්ටර්....ගම්පොළ....අම්ම මුතුං කාලෙකවත් මේ වග්ගේ බලු හිනාවක් මං නං දැකල නෑ. අර බලාපංකෝ...”

මිෂ්ටර් ගම්පොළ ටොමිසන්ව දැක්කේ එවිට ය. ඔහු දැක්කේ ටොමිසන්ගේ හිනාවෙන් බාගයකි.

“.....ඈ...බල්ලෝ....උඹ කාට ද හිනා වෙන්නේ .......?”

ටොමිසන් ටිකක් ගැස්සුණේ ය. මේක ටවුමක් බව ඌට මතක් වුණේ එවිට ය. ගමේ දී නං අකරතැබ්බයක් වුණාම නගුට කකුල් දෙක අස්සේ ගහගෙන ගේට්ටුව ළඟට යන කං දුවල, දෙපාරක් බු ගාලා, ක්ලාක් මහත්තයා ඉඳ ගෙන ඉන්න පුටුව අස්සට රිංගන එක ටොමිසන් ගේ පුරුද්ද ය. දැං ඉතිං කොහේ දුවන්න ද? ටොමිසන් ගේ නගුටත් ටිකකට කෙළින් හිටියේ ය.

“....මෂාං....මේකගෙ නැට්ට කෙළිං....”

“.....නෑ.....මෂාං.....” කියලා කෑ ගැහුවේ මිස්ටර් රයිගම ය. “ තමුෂෙ ගෙ ඇස් දෙක ඇද වෙලා ද කොහෙද? මූත් අප්පි වගේ ම එකෙක්....සමහර විට අපිව දන්නවත් ඇති...මෂාං....ගෙද්දරට නිවුෂ් එක යන්ඩ කලිං අප්පි ෂේප් වෙමු...මෂාං....”

“මිස්ටර් රයිගම....උම්බ දන්නවද? මිස්ටර් ගම්පොළගෙ ගෙදරට යන පාර....? “කියා ඇසුවේ මිස්ටර් ගම්පොළ ය. ටොම්සන්ට මේක එක සැරේ ම තේරුණේ නැත..මිස්ටර් රයිගම ඇස් උඩ තියා ගෙන බැලුවේ මිස්ටර් ගම්පොළ දිහා ය.

“ඇයි....යකඩෝ.මොකක්ද ඇහුවේ...මිස්ටර් ගම්පොළගෙ ගෙදරට යන පාර...? ඇයි හත්තිලව්වේ, තමුෂේ නේද ගම්පොළ..ඉත්තිං තමුෂේ දන්නේ නැද්ද තමුෂෙගෙ ගෙදරට යන පාර...”

“ඒක නේ..ඇහුවේ.මට්ට දැං මතක නෑනේ.අනේ කියනවකො මිස්ටර් ගම්පොළ ගෙ ගෙදරට යන පාර.....”

”හර්රි.....හර්රි.....මං පෙන්නන්නං පාර....මීට පස්ෂේ ගෙදරට යන්ඩ පාර හොයා ගන්ඩ පුළුවං වෙන ගාන මතක්ක තියා ගන්නවා.....තමුෂෙගෙ ගෙදරට යන පාර පෙන්නුවට පස්සේ, මං ගෙදරට යන පාර පෙන්නන්න තමුෂෙට එන්ඩ වෙයි...හර්රි යං....”

මිස්ටර් රයිගමයි, මිස්ටර් ගම්පොළයි ඇඟේ හැප්පි හැප්පි යන හැටි දිහා බලාගෙන හිටපු ටොම්සන් බලු හිනාවක් දා ගෙන ඒ අත මේ අත බැලුවේ කන්ඩ දෙයක් හොයා ගන්ඩ ය. ටොමිසන්ට හරියට සිහි කල්පනාවක් තිබුණේ නැති තරම් ය. බඩගින්න එහෙං බඩට පයිං ගහනවා වාගේ ය. ඔන්න ආයෙත් ටොමිසන්ට උතුර – දකුණ මතක නැත. ඌ ඒ පැත්ත මේ පැත්ත බැලුවේ, පොලිස් රාලහාමි කෙනෙක් එනවා ද කියලා බලන පේමන්ට් වෙළෙන්දෙක් වාගේ ය.

ගමේදි නං හැම එහෙකට ම බු බැ ගෑවාට මෙහේට නං ඒ ක්‍රමේ හරි යන්නේ නැති විත්තිය ටොම්සන්ට තේරුණේ ය. මේ හද්ද ටවුමේ බල්ලා කවු ද? කොල්ලා කවුද? කියා හොයන්නට බැරි ය. ඒක හින්දා පුළුවං හැටියකට රාජ්‍ය භාෂාවෙන් ම කතා කරලා ජාම බේරා ගන්න එක නුවණට හුරු විත්තිය ටොම්සන්ට තේරුණේ ය. සමහර මිනිස්සු බලු භාෂාවෙන් කතා කරන එකේ,, ටොමිසන් රාජ්‍ය භාෂාවෙන් කතා කළා ම වැරැද්ද මොකක් ද?

“....බැ බු මේ කවුද මේ අඬ අඬා එන්නේ. ළමයෙකුත් නෙවෙයි...ඉහ නිකට පැහිච්චි මනුස්සයෙක් නේ. හරියට ක්ලාක් මහත්තයා ගේ බාප්පොච්චි කෙනෙක් වගේ....” ටොමිසන් බලා හිටියේ අබ්ලික් වෙලා ය.

“.......මොකද මේ අඬන්නේ බු බැ..ගැහුව ද කවුරුවත්.......?”

වයසක මනුස්සයා ටොමිසන් දිහා බැලුවේ හරියට අඳුරන කෙනෙක් කාලෙකිං දැක්ක විදිහට ය. මිනිහා අඬන හැටි දැකලා ටොමිසන්ටත් ඇඬෙන්නට වාගේ ය.

”ගැහුවා නං ඉවසන්න පුළුහං....”

“එහෙනං මොකද වුණේ? බැන්න ද කවුරුවත් ?”

“...එහෙමත් නෙවෙයි....සන්.....”

“....නිකම්ම සන් කියල නෙවෙයි ටොමිසන් කියලා කියන්ඩ.....”

“.......ඒක තමයි ටොමිසන්...ගැහුව නං මොකද? ගෙදර ගිහිල්ලා තෙල් ටිකක් ගා ගන්නව..... බැන්න නං මොකක්ද? මට නෙවෙයි වගේ මං අහක බලා ගෙන යනවා.....එහෙමද මේක? මං හප හපා හිටිය මෂ් කටුව...ඒක මංකොල්ල කා ගත්තනේ...”

“ඉතිං තවත් මෂ් කට්ටක් හොයා ගන්ඩකො..නාහෙං අඬන්නේ...””

“මේක නියම මෂ් කට්ට....මං අවුරුදු ගානක් තිස්සේ සූප්පු කෙරුවා..මිස්ටර් රයිගමයි... මිස්ටර් ගම්පොළයි...මගේ මෂ් කටුව උදුර ගත්තා.... අනේ ඇත්තට උං දෙන්නා මේ පැත්තෙං ගියේ නැද්ද ටොමිසන්.....”

“මොකද නැත්තේ...මේ පැත්තෙං ගියේ...අර හීංදෑරි එකයි...මහත එකයි නේ ද?

“ඕක මං මේ කන්තෝරු රස්සාවට ගිය දවසේ මට දීපු එක...මෙච්චර කල් මං හප හපා උර උරා සූප්පු කර කර හිටියේ....”

“ඒක මං දන්නේ නෑ. අර මහත එකා ඒක කටේ ගහ ගෙන හිටියා..මං දැක්කා..බාග වෙලාවට දැං ඒකේ කෑලිත් නැතුව ඇති.....”

“....අපොයි...අපොයි....අනුංගෙ එකක් එහෙම උදුර ගෙන හපල කන එක හරි නෑනේ....”

කියල මිනිහ යන්න ගියේ අඬා ගෙන ය.

තවත් කොටසක් ලබන සතියේ

[email protected]