දිගාගෙ සිංහබාහු රැඟුම

මගේ සාහිත්‍ය ලෝකයේ, නාට්‍ය ලෝකයේ පළමු වීරයා, මහාචාර්ය සරච්චන්ද්‍ර සමඟ වචනයක් දෙකක් හෝ කතා කරන්නට, පෙරුම් පුරාගෙන හීන මවාගෙන හිටපු, මට එතුමාගේ මනමේ නාට්‍යයට සම්බන්ධ වෙලා රට වටේ යන්න තරම් වාසනාවක් ලැබීම ජීවිතේ සොඳුරු ම සිද්ධියක් විදියට නිතර සිහිවෙනවා.

මනමෙවලින් පස්සෙ සිංහබාහු, පේමතො, මහාසාර, තව කොපමණක් නාට්‍යවල එතුමාත් එක්ක කටයුතු කළා ද? රංගභූමි පාලකගෙන් පටන් අරගෙන පද්මකුමාර එදිරිවීරගෙ අංග රචනා සහායකයා, මේක්අප් ඇසිස්ටන්ට් විදියට අවුරුදු කීපයක්ම වැඩ කළාට පස්සෙයි, ඩොක්ටර් සරච්චන්ද්‍ර, තමාගෙ නාට්‍ය වෙනුවෙන් පළ කළ රංග පත්‍රිකාවල අංග රචනය සහාය කෑල්ල අයින් කරල මගේ නමත් එදිරිවීරගෙ නම යටින් ම මුද්‍රණය කළේ.

ජාතික ලුණු සංස්ථාව, විද්‍යෝදය විශ්වවිද්‍යාලය, මනමෙ, සිංහබාහු මගේ ජීවිතයේ සුන්දර ම කාල වකවානු එක්ක බැඳිච්ච තැන්, බැඳිච්ච නිර්මාණ. එතකොට සුන්දරම යාළුවො? නාට්‍ය නිසා ජීවිතේට එකතුවෙච්ච යාළුවො - යෙහෙළියො. පේරාදෙණියෙ කට්ටිය. මනෝ, දිගා, මහින්ද සමරසිංහ, පාදෙණිය තව හුඟක් දෙනා. විද්‍යෝදෙ නාට්‍යය කට්ටිය, ලක්ෂ්මන් රාජකරුණා, කේ. එච්. විමලසේන, විජේරත්න පතිරාජ, බන්දුසිරි එගොඩගේ, ආනන්ද වෙදආරච්චි, සිංහබාහුවලට එනකොට දන්තුරේ බණ්ඩාර.

71 අවුරුද්දෙ මැද විතර වෙනකොට මනෝ, ජයලත් මනෝරත්න කොළඹ ඇවිත් ආණ්ඩුවෙ දෙපාර්තමේන්තුවක අනියම් ලිපිකාර ජොබ් එකක් කරන කාලෙ. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙ. පස්සෙ පුනරුත්ථාපන දෙපාර්තමේන්තුවෙ. මනෝත් දිගාත් (නිශ්ශංක දිද්දෙණිය) නැවතිලා හිටියෙ ජම්බුගස්මුල්ලෙ බෝඩිමක. සිංහබාහු දෙවැනි නිෂ්පාදනයේ යුවරජුගෙ චරිතෙ රඟපාපු ජයතිලක දන්තුරේ බණ්ඩාර, අපි කියන්නෙ දන්තු කියල. දන්තුත් හිටියෙ ඒ බෝඩිමේමයි. (දන්තුරේ 1981 අප්‍රේල් මාසෙ දවසක දී හදිසි රිය අනතුරකින් අපෙන් සමුගත්තා) මේ කාලෙ මම පදිංචිවෙලා හිටියෙ නුගේගොඩ හයිලෙවල් පාරෙ කුලී ගෙදරක. අපේ ගෙදර රේඩියෝවක් තිබුණෙ නෑ.

ඒ කාලෙ රෙඩිෆියුෂන් කියල පුද්ගලික සමාගමක ගුවන්විදුලි සේවාවක් තිබුණ. අපිට තිබුණෙ රෙඩිෆියුෂන් යන්ත්‍රයක්. මනෝත් දිගාත් හුඟක් දවස්වලට රෑට අපේ ගෙදර ඇවිත්, ගුවන්විදුලි රඟමඬල, ඉරිදා රෑට ප්‍රචාරය වුණු විශිෂ්ට ශ්‍රේණියෙ අයගෙ සරල ගී, යෞවන සමාජය, අද ලියවෙන කවි, සඳැල්ල අහනවා. අපේ අම්මට මනෝත්, දිගාත් එයාගෙම පුත්තු ‍දෙන්නෙක් වගේ වෙලා තිබුණෙ.

උණ, හෙම්බිරිස්සාව එහෙම හැදුණු දවස්වලට කොත්තමල්ලි තම්බල දුන්නෙ අපේ අම්මා. අපේ අම්මා සිංහබාහු නවරඟහලේ බලලා ඇඬුවා, සිංහබාහු සිංහයට විදල මරන දර්ශනේ දැකලා. මට මතක විදියට අම්මා දිගාගෙ සිංහබාහු රැඟුමට කොච්චර ආදරේ කළත්, නාට්‍ය ජවනිකාවෙ තාත්තව මරණ පුතාගෙ චරිතෙට නම් කැමැත්තක් දැක්වූවෙ නෑ. එහෙම තමයි, මොන අම්ම ද කැමති වෙන්නෙ තමුන්ගෙ ම පුතා අතින් තාත්තව මිය යනව දකින්න? ඒකනේ ඩොක්ටර් සරච්චන්ද්‍ර, සුප්පාදේවි ලවා මෙහෙම කියවන්නෙ.

“නොකරන් මා පුතුනේ මේ සටනා

නුඹ පාද මුල වැඳලා කියන්නෙම්

සරා මෙ ගම රට වනසන මිගරජ

හැරා වනයෙ ආ නුඹ පියතුම වේ

පරාද වෙයි නුඹ සටනින් නිසැකව

දරා ගන්නෙ මා කෙලෙස ද එම දුක...”

මාලනී රණසිංහ සිංහබාහු නාට්‍යයේ මේ ගීත ගායනා කරනකොට, කොහොමහරි ඒ ජවනිකාව නැරඹීමේ පුරුද්දක් මට තිබුණා. වේදිකාව ම අඳුරු වෙද්දී තනි ලාම්පුවක් යට මාලිනී, සුප්පාදේවි ගැයූ මේ ගීතය ජීවිතේ හැමදාම මතකයෙ තියෙනව වගේ දැනෙන්නෙ.

“ඇසට නැතේ දකිනේ පුතු මාගේ

නැත පෙරළා එන්නේ

සමිඳුන් හැර දා

ගිය එම දෝසෙන්

බිලි වූවෝ රුදු මරුටා

දෙදෙනම මා පණ වූ...”

අපේ අම්මට ඇඬුම් යන්නේ මේ ගීතය අවසානයේ.

මනෝත් මමත්, විශ්වවිද්‍යාල දෙකක ඉගෙන ගත්තත්, (මනෝ පේරාදෙණියේ - මම විද්‍යෝදේ) මොකක්දෝ දෛවයේ හාස්කමකට වගේ අපි දෙන්නව මුණ ගස්සනවා ඩොක්ටර් සරච්චන්ද්‍රගෙ නාට්‍යවලින්. මම මේක්අප් ඉවර කරලා, මනෝ සිංහබාහුවල වැසියෙකුගෙ චරිතෙ රඟපාල ඉවරවෙලා ලැබෙන විවේක කාල අතරතුරේ දී, නැත්නම් දුර ඈත පළාතක නාට්‍ය දර්ශනේකට යන ගමනක අතරතුරේ දී අපේ කතාබහ, කවි ගැන, කෙටි කතා ගැන, අලුත් නාට්‍ය ගැන අපේ ගෙදර දොර ගැන.

ඒ කාලෙ රස කතා කියල කෙටිකතාවලට ම වෙන්වෙච්ච පත්තරයක් තිබුණා දවස නිවසින් පළකරපු. බලනකොට මනෝගෙත් මගෙත් දෙන්නගෙ ම කෙටිකතා ඒ පත්තරේ එකම සතියේ. මනෝ කතා ලියුවා, කවි ලියුවා, මාත් ඒ දවස්වල වනිතා විත්තියට ශ්‍රී සඟරාවට කවි, කෙටිකතා, විශේෂාංග ලිපි ලියුවා.

ඊවා රණවීර (අද අප අතර නැති) ශ්‍රියා රත්නකාර වගේ සංස්කාරිකාවො මගේ නිර්මාණ ඔවුන්ගෙ පත්තරවල සඟරාවල පළ කළා. හැබැයි මම නම් ඔවුන් දැකලවත් තිබුණෙ නෑ. ඒ දෙන්නම මගේ මුල් කාලෙ ලියන කියන දේට දීපු අත්වැල මට අමතක කරන්නම බැහැ.

ඒ අතහිත දීම්වල අගය, වටිනාකම මට දැනුණු නිසා ද දන්නෙ නෑ අද දවසෙ මාත් ඔවුන් වගේ ම මට අවස්ථාවක් ලැබෙන හැම මොහොතක ම අලුත්, තරුණ, හැබැයි කුසලතා පෙන්නන, කවියෙකුට කිවිඳියෙකුට නිර්ලෝභීව උදවු කරන්නෙ. ඔවුන්ගෙ නිර්මාණ අගය කරන්න පුරුදුවෙලා ඉන්නෙ. ලියන්න කියන්න කැමති අලුත් කොල්ලෙකුට හරි කෙල්ලෙකුට හරි ඒ වගේ උදවුවක් විශාල උත්තේජනයක් වෙන වග මම දන්නෙ අත්දැකීමෙන් ම.

[email protected]