ඇය පෙනුණේ දුරින් වුවද ඇගේ දෙකොපුල්හි ඇත්තේ රෝසමල් පෙත්තක සිනිඳු බව යයි මට හැඟිණ. අත් පා දිදුළු දෙන රන් ලතා ය. පියොයුරු දඟ ය. සිහිනිඟ, සායට තෙරපුණු දෙවටොර, මගේ දෑසට ඉවසුමක් නැත. ලොව අසිරිමත් ම මැවුම ඇය.
මදින් මද ළං වූ ඇගෙන් මගේ දෑස මත්විය. ඒ සොඳුරු තුරුණු ලලනාව සමග එන්නී මැහැල්ලකි. ඇගේ සුදු කෙස් හිසට ම ඇලී භාවනාවක ය.
“දුවේ, මට මහන්සියි.” මැහැල්ලගෙන් කියැවිණ.
අහෝ! මගේ දෑස ඒ මහලු වතට ඇදිණ.
එය එකම සුදුමැලි රැලි ගොඩකි. ඇස් තිබුණේ වළක ය. කම්මුල් ඇට මතුව පෙනිණ. ගෙලෙහි හම පාන්කඩයක් සේ එල්ලෙයි. පෙරහන් කඩ සේ පියයුරු ද සුදු හැට්ටය යට එල්ලා වැටේ.
යළි මගේ දෑස තුරුණු ළඳගේ මුහුණට යළි මහලු මවගේ මුහුණට මගේ සිතේ විදිලි කෙටිණ.
මේ මැහැල්ල ද වසර තිහ හතළිහකට පෙර මේ තුරුණු රුවින් ම බැබළෙන්නට ඇත. තව වසර තිහ හතළිහකින් මේ තුරුණු රුව ද මේ මැහැල්ලට සමවනු ඇති.
මම දෑස පියා ගතිමි.
එක් රුවක් දැක සිත මත් කළේ මේ ඇස ය.
ඇගේ මව දැක සිත කලකිරීමට හසු කළේ ද මේ ඇස ය.
මගේ සිත බදා ගැනීමට සිටි ඒ රුව!
දැන් මට එය බදා ගත නොහැකි ය.
මන්ද? මොහොතින් මොහොත එය මහලුවන හෙයිනි. ජරාවට පත්වන හෙයිනි. අනිත්‍ය වූ දෙයක් බදාගෙන රඳවාගෙන, උපාදාන කරගෙන සිටිය නොහැකියි.
මම දෑස් හැරියෙමි.
මට දැන් තුරුණු රුව ද මහලු රුව ද පෙනෙන්නේ එකසේ ය.
රෝස පෙති දෙකොපුලේ කම්මුල් ඇට දකිමි. නිල් නුවන්හි අඳුරු කුහර දකිමි. ඇත් දළ ගෙලෙහි එල්ලා වැටෙන සම්කඩ දකිමි.
යළි දෑස පියා ගතිමි.
අනිත්‍යයි! අනිත්‍යයි!! අනිත්‍යයි !!!