ලස්සන හා බැරලය

'ලස්සන තියෙන්නේ බලන අයගේ ඇස්වල’ යන කියමන පට්ට ගහපු දියාරු වෙච්ච කියමනක් ද? එවැනි කියමන් හණමිටි ගොඩට එකතු වී ඉවරද? මෙලෙස විමසීමට මා පොළඹවන එක කාරණාවක් වන්නේ මෑත දිනයක ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවියේ එක්තරා තරුණයකුගේ මුහුණු පොතේ තරුණියක තබන ලද සටහනකට තරුණයා දක්වන ලද ප්‍රතිචාරයක්.

තරුණියක විසින් ලංකාවේ ජනප්‍රිය ගීතයක මුල් පද වන “ නුඹ තෙමෙයි කියා බයයි” ඇගේ මුහුණු පොතේ සටහන කර තිබුණේ සමහර විට එදා වැසි දිනයක් නිසා ඈ සිතට ආ ගීයක මතකයක් විය යුතුයි. නමුත් ඊට ප්‍රතිචාර දක්වමින් ඇගේ මිතුරෙක් කියා තිබුණේ ඒ වගේ සිංදු ‘බැරල්’ වලට අදාල නැති බවයි. වෙනත් වචනයෙන් කියනවා නම් එවැනි ගී කියැවෙන්නේ සුන්දර තරුණියන් වෙනුවෙන් බවයි.

සුන්දර අසුන්දර බව තීරණය කරන මිණුම් දණ්ඩ අපට ලබා දෙන්නේ රූපවාහිනිය, මෝස්තර සඟරා සහ චිත්‍රපට විය යුතුයි. ලස්සනයි කියන්නේ මෙන්න මේ වගේ ගැහැනියකට මෙන්න මේවාගේ පිරිමියෙකුට යැයි අපට ජන මධ්‍ය විසින් අඩුපාඩු නැතිව පෙන්වා දී ඇත්තේ ඒවායින් ම විකුණන වෙළෙඳ භණ්ඩ මිල දී ගෙන ඒවා පාවිච්චි කිරීමෙන් අපට ත් ඒ තරමට ලස්සන විය හැකි යැයි යන කූට මායාවට අසු කර ගැනීමට බව වටහා ගැනීමේ හැකියාව අපට තිබේ ද? එසේ නම් ඉතින් අප ඔවුනට රැවටී නොකා නොබී සිරුර සිහින් කරවා ගෙන, වත්සුණුවලින් සුදුමැලි වත වර්ණ ගන්වාගෙන දර ඉපල් සේ සැලෙනා මෝස්තර නිරූපක, නිරූපිකාවන් හා අපගේ සැබෑ ගැහැනුන් මිනිසුන් සසඳන්නේ ඇයි?

පසුගිය දාක සිමීත ඕවර ක්‍රිකට් තරගාවලියේ ජය ඝෝෂ කණාඩයමේ සාමාජිකාවන්ගේ රූ සපුවේ අඩුපාඩුකම් විවේචනය කරමින් ඔවුන්ට නින්දා කළ මිනිසුන් කොතෙකුත් විය. ඒ යුවතියන් අසුන්දර යැයි කීමට තමන්ට විනිශ්වාසනයක් තනා දෙන්නේ කවුරුන්ද යන බව අප කිසියම් මොහතක කල්පනා නොකළේ මන්ද?

ආලේපන උලා වත සුදු කර ගැනීමෙන් සුදුසු සහකරුවෙක් පමණක් නොව, ඉහල රැකියවක සම්මුඛ පරීක්ෂණයෙන් ද සමත් විය හැකි ආත්මාරක්ෂාව හිමි වන බව පෙන්වන වෙළෙඳ ප්‍රචාරක දැන්වීමවලින් කියන්නේ උගත් නැණවත් සැබෑ ගැහැනුන් වීමෙන් ප්‍රයෝජනයක් නැති බව නම් එයින් දුවා දරුවන් වෙත, තමන්ගේ පෙනුම ගැන ලැබෙන පණිවුඩ අවදානම් ය. තද පහැ සමක් ඇති, සිහින් සිරුරක් නැති තරුණිය අවලස්සන යැයි ප්‍රසිද්ධ මාධ්‍ය ප්‍රකාශ කරන්නේ නම් ඉන් සමාජයට ඇති වන යහපතක් නැත.

ජනමාධ්‍ය විසින් අච්චු ගසා පෙන්වන සුසාදිත සුන්දර රූපවල බලපෑමෙන් තමන්ගේ සිරුර ගැන කණසල්ලට පත් වන නව යොවුන් තරුණියන්, ලා බාල දැරියන් ඇනරෙක්සියා වැනි තත්වයන්ට ගොදුරු වීම දුකකි. යොවුන් වියේ පසුවන්නන්ගෙන් 80% පමණ තමන්ගේ සිරුර, රූ සපුවේ අඩුපාඩු ඇතැයි කණසල්ලෙන් පසුවන බව මානසික සෞඛ්‍ය පිළිබඳ අමෙරිකානු ජාතික ආයතනයේ පර්යේෂණයකින් හෙළි වෙලා තියෙනවා. තමන් අසුන්දරයයි තැවීමෙන් ආත්ම ශක්තිය හීන කරගන්නා දරුවන් අසතුටින් ඔවුන්ගේ තුරුණු විය ගෙවීම ඛේදයකි.

අපට ජන මාධ්‍ය හා සටන්ට යනු නොහැකි ය. ඒ ප්‍රබලයෙකි. අපට කළ හැක්කේ ඇත්ත ඇති සැටියෙන් දැකීම පමණකි. ගොදුරක් නොවෙන්න්ට වග බලා ගැනීමයි. සෞඛ්‍ය සම්පන්න සිරුරක් පවත්වා ගනීමේ වදගත්කම දරුවන්ට කියා දීමයි. ඔවුන්ගේ සුන්දර බව මනින්නට මිණුම් දඬු මෙලොව කොතැනකවත් නැති නිසා ඔවුන්ගේ ‘ලස්සන’ නිම් නැති බව පසක් කර දීමයි.

කොන්ෆියුසිස් නැමැති චීන දාර්ශනිකයා කියා ඇත්තේ සෑම දෙයකම ලස්සනක් ඇති මුත් සෑම කෙනෙකුට ම ඒ දකින්නට නොදන්නා බවයි. සමහර විට කෙනෙක් ‘බැරලයක්’ සේ තවත් කෙනෙකුට පෙනෙන්නේ ඒ නොහැකියාව නිසා වන්නට පුළුවනි.

හිමාලි එන්. ලියනගේ

[email protected]