සිහින කුමාරු දෙලොවක් අතර

රන්තෝඩු නාට්‍යයෙ ටෝනිගෙ රඟපෑම්වලට වශීවෙච්ච මම ඊට පස්සෙ ටෝනි රඟපාපු, එකම චිත්‍රපටයක්වත් අත අරින්නෙ නැතුව බලපු විත්තිය හොඳටම මතකයි. ගම් පෙරළියෙ පුංචි රඟපෑමට පස්සෙ, ටෝනි රඟපාපු ගැටවරයෝ, සැනසුම කොතැනද, සිහින හතක්, දෙලොවක් අතර, පරසතු මල්, පුංචි බබා, නාරිලතා, හන්තානේ කතාව, වල්මත් වූවෝ, හුලවාලි, සැඩොල් කඳුළු, දුහුලු මලක්, ආදරේ හිතෙනව දැක්කම වගේ හැට හැත්තෑව කාලෙ චිත්‍රපටවල හිටපු ටෝනිගෙ රඟපෑමට වගේම මෑත කාලෙ ටෝනිගෙ රඟපෑම්වලටත් මම තාමත් ආදරෙයි.

සමහර චිත්‍රපටයක ටෝනිගෙ දෙබස් මට කට පාඩම්. ගැටවරයෝ චිත්‍රපටයේ කැමරාකාර වාර්තාකාරයට අල්ලසක් දෙන්න, කාල් ගුණසේන උත්සාහ කරන ජවනිකාව, දෙලොවක් අතරෙ හුඟාක් ජවනිකාවල දෙබස්, නිශ්ශංකගෙ අම්මා තාත්ත (අයිරාංගනී සේරසිංහ, ජේ. බී. එල්. ගුණසේකර) මට අදත් මතක් කරන්න පුළුවන්. පහුගිය සුමානෙ ටෝනි ගැන ලියපු තීරුවෙ අද ලියන ඉතුරු කොටස ලියන්න හිත හිතා ඉන්නකොට දෙලොවක් අතරෙ ටෝනිගෙ රඟපෑම් මගේ හිතේ මැවි මැවී පෙනුණා. ඒකෙත් හැටි බලමුකෝ, පහුගිය ඉරිදා දවල් නිකමට වගේ රූපවාහිනිය ඔන් කරාම, මෙන්න බොලේ මගේ සිහින කුමාරයා රඟපාපු, මම කැමතිම ටෝනි ඉන්න දෙලොවක් අතර ෆිල්ම් එක. ක්‍රිකට් මැච් එක වැස්සට අහුවෙනව නම් හොඳයි කියල හිත හිතා 1966 දි මුලින්ම බලපු දෙලොවක් අතරෙ මිහිර වින්දෙ ටෝනි ගැන මේ තීරුව ලියල ඉවර කරනව කියල හිතාගෙන.

දෙලොවක් අතර වගේම සිහින හතක් චිත්‍රපටයේ ටෝනිටත් මම හරි කැමතියි. එහි ටෝනි සන්ධ්‍යා ශ්‍රීමාගේ රඟපෑම් වගේ ම ඒ චිත්‍රපටයේ තිබිච්ච ‘ලස්සනම’ ගීත ටික. පුෂ්ප මකරන්දය මාගේ, රන්තරු පුන්සඳ, සුපුන් සඳක් නැගීලා, වගේ සින්දු අපේ මනමේ සිංහබාහු නාට්‍ය බස් එකට නැතුවම බැරි සින්දුවෙලා තිබුණෙ. සිංහබාහු බස් එකේ දුර ඈත ගමන් යන කොට මනෝගෙ ෆේවරිට්ම සින්දුව පුෂ්ප මකරන්ද යි. ඒ සින්දුවත් එක්ක මනෝගෙ විහිලු කතාව. පුෂ්ප මකරන්දය මාගේ – භෘංග මදිරා රස ඕඝේ - බොන්න තව මන්ද ප්‍රමාදේ – වෑහේ රසේ කියල අග හරියෙදි බොන්න තව මන්ද ප්‍රමාදේ කෑල්ල ප්‍රතිවාදනය වෙනවා. බොන්න තව, බොන්න තව මන්ද මන්ද කියල බස් එකම හිනා ගස්සමින් මනෝ කියන්නෙ රෙකෝඩ් එක එකතැනම ප්ලේ වුණා කියලයි.

ඒ සින්දුවත් එක්කම බොන්න තව ප්‍රමාදවීමක් වු‍ණේ නැති හැටිත් තාමත් මතකයි. එතකොට දෙලොවක් අතර බලල, සරසවිය පත්තරේට පාඨක විචාර තීරුවට මම කෙටි අදහසක් ලිව්වා 1967 ජනවාරි 1 දා මම දෙලොවක් අතර ගැන ලියපු පිටුවෙම පරසතු මල් ගැන ලියල තිබුණෙ සුනිල් ආරියරත්න. “අපි නම් ඉගෙන ගෙන තියන්නෙ මවුපියන්ට කීකරු වෙන්න කියල” අයිරාංගනී ටෝනිට කියන කොට ටෝනි දීපු උත්තරෙත් මගේ කෙටි අදහසට ඇතුළත් කරලයි තිබුනෙ. ටෝනි අම්මගෙන් මෙහෙම අහනවා. “අම්ම මට කවදාවත් කියල තියෙනවද බොරු කියන්න කියලා...” දෙලොවක් අතරෙ නිශ්ශංක වගේම පරසතු මල්වල සිරිසේනත් රඟපාපු ටෝනිගෙ රඟපෑම් ගැන කුමන කතා ද?

මුලින්ම රන්තෝඩු නාට්‍යයේ රඟපෑම් එක්ක ටෝනි මගේ සිහින කුමාරයා වුණා. ඊට පස්සෙ චිත්‍රපට රඟපෑම්වල. ඊටත් පස්සෙ තමයි, කතාවෙ ලස්සනම, සුන්දරම, කොටස. මගේ සිහින කුමාරයට මේකප් කරන්න මට වාසනාවක් ලැබෙයි කියල මට හීනෙකින්වත් හිතිල තිබුණෙ නෑ. එහෙම හීනයක් තිබුණෙත් නෑ. ඒත් ඒක හැබෑ වෙච්ච හීනයක් වගේ වුණා.

1985, මනෝ පුත්‍ර සමාගම හැදුවෙ, ප්‍රසන්න විතානගේ පරිවර්තනය කරපු නාට්‍ය පිටපතකින්. ඇලෙක්සැන්ඩර් ඩැම්පිලෝව් ගේ ද එල්ඩර් සන් කෘතියෙ පරිවර්තනයක්. පුත්‍ර සමාගමේ මේකප් කරන්න මනෝ මට කතා කරල තිබුණෙ. මනමෙ, සිංහබාහු වගේම, රතු හැට්ටකාරි, තාරාවෝ ඉගිලෙති, පුත්‍ර සමාගම නාට්‍ය චාරිකා මතක සටහන් නම් මතක් කරල ඉවර කරන්න බැරි තරම්.

1986 දි ප්‍රසන්න තමන්ගෙම නාට්‍යයක් නිෂ්පාදනය කරනව. හැබැයි මේකත් ප්‍රසන්නම පරිවර්තනය කරපු පිටපතක්. නාට්‍යයෙ මුල් කෘතිය, අයිරිෂ් ජාතික නොබෙල් ත්‍යාග දිනූ බර්නාඩ් ෂෝගෙ ආර්ම්ස් ඇන්ඩ් ද මෑන් සිංහල නාට්‍යය “අවි”. අවිවල මේකප් කරන්න කියලත් ප්‍රසන්න මට කතා කරනවා. කවුද ප්‍රධාන නළු නිළියො? නීල් අලස්, චන්ද්‍රා කළුආරච්චි, නවනන්දන, ප්‍රසාද් සූරියආරච්චි, අජිත් ජිනදාස, දමයන්ති ෆොන්සේකා, අනෝමා කුමුදිනී. තවත් එක චරිතයක් තියෙනවා අවි නාට්‍යයේ මේජර් පෝල් පෙට්කෝෆ්. කවුද ඒ චරිතය කරන්නෙ? මගේ සිහින කුමාරයා - ටෝනි රණසිංහ. ඒ වගේ සතුටක්. ඊටත් වඩා ලොකුම සතුට ලැබුණෙ 1986 රාජ්‍ය නාට්‍ය උත්සවේ ප්‍රතිඵලයෙන් පස්සෙ.

අවි නාට්‍යයට ටෝනි එකතුවීමත්, ටෝනි සහ සමාගමයත් අපූරු සුන්දර, චමත්කාරජනක අත්දැකීමක් වුණා මට. ටෝනි ඉතාම සරල, විනෝදයට පි‍්‍රය, යාළු මිත්‍රයන්ට ලණු දෙන්නත් හපන්, නිතර පොතපත කියවීමට කැමති, කණ්ඩායම් හැඟීමෙන් යුතු, නේපථ්‍යාගාරයේ දී අංග රචනා ශිල්පියාට වගේ ම අනෙක් පරිවාර ශිල්පීන්ටත් සහයෝගය දක්වන අපූරු පුද්ගලයෙක් බව මට ටෝනි සමඟ අවි රඟදැක්වුණු, කොළඹින් පිට ගිය ගමන් වලදී පසක්වුණා.

පාසල් යන කාලෙ කොලු ගැටයෙක් විදියට ටෝනිගෙ රඟපෑමට පෙම්බැන්ද මට, නාට්‍යයක ප්‍රධාන චරිතයක් සඳහා ඔහුව වෙස්ගන්වන්න ලැබීම නම් මගේ ජීවිතේ අතිශය දුර්ලභ වාසනාවන්ත අවස්ථාවක් විදියටයි මම අදත් සිහිපත් කරන්නෙ. ටෝනිගෙ චරිතයට ව්‍යාජ නාසයක් නිර්මාණය කරන්න වුණා, මැදිවියේ මේජර් වරයාගේ මුහුණට අවශ්‍යව අංග රචනය ගැන ටෝනිත් ප්‍රසන්නත් සෑහීමකට පත්වෙලා හිටියෙ. 86, රාජ්‍ය නාට්‍ය උත්සවේ ප්‍රතිඵල නිවේදනය කරනකොට, හොඳම සහාය නළුවාට හිමි රාජ්‍ය සම්මානය අවි නාට්‍යයේ ටෝනිට. හොඳම සහාය නිළියට හිමි රාජ්‍ය සම්මානය අවි නාට්‍යයේ අනෝමාට. ප්‍රසන්නට පරිවර්තන අධ්‍යක්ෂණයට විශේෂ සම්මානයක්. ඊළඟට තමයි, මගේ ජීවිතේ සුන්දර ම මෙහොත.

ජීවිතේ පළමු වතාවට රාජ්‍ය නාට්‍ය උළෙලක දී සම්මානයක් හිමිවීම. අවි නාට්‍යයේත්, කපිල කුමාරගේ රයිනෝසිරස් නාට්‍යයේත් අංග රචනය වෙනුවෙන් හොඳම අංග රචනා ශිල්පියාට හිමි සම සම්මානය මට? අනෙක් සම්මානලාභියා වසන්ත විට්ටච්චි. මේ නම් කිනම් අසිරිමත් මොහොතක් ද? නව රඟහල වේදිකාව මත, ටෝනි රණසිංහ නම් වූ මගේ සිහින කුමාරයාට ඔහුගේ වේදිකා රංගනයට ලැබුණු දෙවැනි සම්මානය සඳහා කිනම් ලෙසකින් හෝ සම්මාදම්වීමට මට ලැබුණු දුර්ලභ අවස්ථාව! සතුට ගලාගිය රාත්‍රියකට පසු යළි යළිත් අවි සමඟ දුර බැහැර ගමන් ගිය ටෝනි සමඟ ගෙවුණු අතීත ය. ඉන්පසුව ස්වාධීන රූපවාහිනියේ සිනමා රිද්ම වැඩසටහන ඉදිරිපත් කරමින් ටෝනි හා කළ කතාබහ. ටෝනි රණසිංහ නම් වූ ප්‍රතිභාන්විත නළුවා, සුන්දර මිනිසා සමඟ ඉඳහිට දැනුදු, දුරකතනයෙන් හෝ කතාබහ කිරීමෙන් ලැබෙන සතුට අප්‍රමාණයි. සුන්දරයි.