නූලෙන් බේරුණු නිර්මාණකරුවෙක්

මං ආසයි හිනාවෙන්න
ජීවිතය ම ඔබත් එක්ක
නොවරදවා ම ඔබ එන විට
සිනා මලක් අරං එන්න

මං ආසයි යාළු වෙන්න
ජීවිතයම නුඹත් එක්ක
නොවරදවා ම ඔබ එන විට
ළෙන්ගතුකම අරන් එන්න

මං ආසයි නුඹත් එක්ක
සෙනේහයේ සුව විඳින්න
අද ඇවිදින් නුඹ යන විට
තුටු කඳුළක් තබා යන්න

තීක්ෂණ අනුරාධ නමැති යොවුන් ගායකයා විසින් ගයනු ලබන ඉහත ගීය මේ දිනවල තරුණ තරුණියන් අතර ප්‍රකට නිර්මාණයක් බව දැනගන්නට ලැබිණ. අති විශිෂ්ට රචනාවක් නොවූව ද දලු ලා වැඩෙන සුහුඹුල් පැළෑටියක නෑඹුල් ලක්‍ෂණ එම පද වැලෙහි පවතී.

මෙහි රචකයා එකොළොස් වැනි ශ්‍රේණියේ සිසුවකු වන නවෝද් නිලංග ය. මේ නිර්මාණකරුවාත් නිර්මාණයත් “බේරී ඇත්තේ” නූලෙනි. පාසලේ පාඩම් වේලාවේ දී ගුරුවරයකුගේ අත්අඩංගුවට පත් වූ මේ රචනයත් රචකයාත් නියෝජ්‍ය විදුහල්පතිවරයා වෙත බාර කෙරිණ. නියෝජ්‍ය විදුහල්පතිවරයා විසින් විදුහල්පතිවරයා වෙත රචනය යොමු කරන ලදී. හොඳ වේලාවට, දෙදෙනාම හොඳ රසිකයෝ ය. එනිසා නවෝද්ට දඬුවම් නොලැබිණ. පන්ති බාර ගුරුතුමියගේ මැදිහත්වීමෙන් එය ගීයක් බවට පත් විය.

මේ සිදුවීම සැලවීමෙන් පසු ව මට සිහිපත් වූ කරුණු කිහිපයක් සටහන් කරමි. ඉන් එකක් නම් ප්‍රේම හුටපටවල දී ප්‍රේමය දිනාගැනීම සඳහා කවි ශක්තිය ඇති අයකු ලවා කවියක් ලියවාගෙන අදාළ තැනැත්තාට හෝ තැනැත්තියට ලබා දීමයි. මා ද ඇතුළු මේ අත්දැකීමට මුහුණ දුන් බොහෝ අය වෙත්. නවෝද් මේ ගීය ලියා ඇත්තේ ද තම මිතුරකුගේ අවශ්‍යතාවකට ය. අ. පො. ස. උසස් පෙළ සිසුවකුව සිටි අවධියෙහි මා වාරියපොළ මහජන පුස්තකාලය “බදු ගෙන” සිටි සාමාජිකයෙකි.

මගේ කවි සහ විවිධ ලිපි පුවත්පත්වල පළවූ විට මා ඒවා කියවූයේ මහජන පුස්තකාලයෙනි. එහි කාර්ය මණ්ඩලය ද ඒ බැව් දැන සිටියේ ය. දිනක් සහකාර පුස්තකාලයාධිපතිවරියක් කිසිවකු නොමැති අවස්ථාවක දුක්බර කතාවක් මට කීවා ය. එනම් තම පෙම්වතා තමා හැර ගිය බවත්, නැවත ප්‍රේමය දිනා ගැනීම සඳහා කවි පොතක් මා ලවා ලියවා ගැනීම තම අපේක්‍ෂාව බවත් ය. මම ඇගේ ඉල්ලීම ඕනෑකමින් ඉටු කරමින් “දුක හිතෙන ප්‍රේම කාව්‍යයක්” ලියා දුනිමි. සතියකට පමණ පසු ව ඇය ප්‍රබෝධවත් වතින් යුතු ව රිබන් පටියකින් ඔතන ලද සුන්දර තෑග්ගක් මට දුන්නා ය. එහි වූයේ කරුණාසේන ජයලත්ගේ ගොළු හදවත නවකතාවයි.

”එයා කවි පොත කියවලා මාව හොයාගෙන ආවා. මාව කවදාවත් තනි කරන්නේ නැහැ කීවා. ඔබට පින්! පොතෙහි දමා තිබූ තුණ්ඩු කෑල්ලක එසේ සඳහන් විය.

නවෝද්ගේ ගීයෙන් ඔහුගේ හිතවතාගේ අරමුණ ඉෂ්ට වූවා ද නැද්ද යන්න මම නොදනිමි. තවත් සිදුවීමක් සිහිපත් වේ. චන්දන ගුරුසිංහ යනු පාසල් වියෙහි පටන් වත්මන දක්වා ම මා සමඟ සබඳකම ඇති සොඳුරු මිතුරෙකි. ඔහු මට වඩා අවුරුදු හතකින් පමණ බාල ය. ඔහු සාමාන්‍ය පෙළ සිසුවකු ව සිටිය දී මගෙන් තිළිණ ලෙස ලැබුණු “යොවුන් පහන් වැට” කාව්‍ය සංග්‍රහය ආසාවෙන් කියවා රසවින්දේ ය.

දිනක් පන්ති කාමරයේ දී ඔහු මෙය කියවමින් සිටිනු දුටු පන්ති බාර ගුරුවරයා පොතෙහි මාතෘකාව බලා කුපිත වී ඔහුට දඬුවම් කර ඇත. “යොවුන්” යන වචනය වයසට ඔරොත්තු නොදෙන නරක වචනයක් හැටියට ගුරුවරයාට පෙනී ඇත. මේ සම්බන්ධයෙන් නවෝද්ගේ අත්දැකීමට තරමක් සමාන වූ කතාවක් මට ද ඇත.

එවක මගේ වයස අවුරුදු 17 කි. මා ඉගෙන ගත්තේ උසස් පෙළ ජීව විද්‍යා පන්තියේ ය. රසායන විද්‍යා ගුරුවරයාගේ පාඩම අප්‍රසන්න වී සිටි මම ඔහු උගන්වන අතරතුරදී මහා නවකතාකරු පියෙඩෝර් ඩෙස්ටොයෙව්ස්කිගේ “කරමසෝ සහෝදරයෝ” නවකතාව දෙකකුල මත තබාගෙන කියවමින් සිටියෙමි. හිටි ගමන් පන්තිය පුරා “ස්” හඬක් නැඟිණ. මා පිටුපසින් සිටගෙන සිටියේ විදුහල්පතිවරයා ය. “ඉන්ටවල් එකේදි ඇවිත් මා හම්බුවෙනවා” ඔහු මට නියෝග කර නික්ම ගියේ ය. බියෙන් තැතිගත් මම හොර බළලෙකු මෙන් විදුහල්පති කාමරයට ගියෙමි.

“තමුසෙ ඒ පොත බොරුවට නේද පේන්න තියාගෙන හිටියේ?” ඔහු මගෙන් ඇසී ය. අනතුරුව ඔහු ඒ පොතේ ඇතුළත් කරුණු සහ සිදුවීම මගෙන් විමසුවේ ය. මා පොත කියවමින් සිටින බව ඔහුට ප්‍රත්‍යක්‍ෂ විය. “කියවීමේ පුරුද්ද නැතිකර ගන්ඩ එපා. තමුසෙට හොඳ අනාගතයක් තියෙනවා.”

කරුණාරත්න නම් වූ එම විදුහල්පතිවරයා කාරුණික ව මගේ හිස අත ගා මට දිරිදුන්නේ ය. නවෝද්ගේ විදුහල්පතිවරයා මෙන් ම මගේ විදුහල්පතිවරයා ද සාහිත්‍ය රසිකයන් වීම නිසා නවෝද්ගේ ද මගේ ද හදවත් සුවපත් වූ බව මට හැඟේ. එහෙත් පාසලේ නියමුවා රසවිහීනයකු වී සිටියේ නම් සමහර විට එම නිර්මාණ කැකුළ දණ්ඩනඡේදනයෙන් තැළී පොඩි වී මිලින වන්නට ඉඩ තිබිණ. නවෝද්ට ද යමක් කිව යුතු ය. තම පදවැලෙහි ඇති සරලත්වය සහ අව්‍යාජ බව රැකගනිමින් උසස් නිර්මාණකරුවකු වීමේ මඟ ඔහු විසින් ම සකසා ගත යුතු ය. එක ගීයකින් ම ජනප්‍රිය වී සිටින ඔහු අනාගතයේ දී ඉල්ලුමට අනුව සැපයීමේ අභියෝගයට මුහුණ දෙනු නිසැක ය. ගීත රචනය වනාහී අද වන විට පිරිහුණු කලාවකි.

එහෙත් හැත්තෑව දශකයේ දී සරල ප්‍රෙ‍්ම ගීවල පවා රචනා මාධූර්යයේ සොඳුරු ඉසව් හදවතින් ස්පර්ශ කිරීමේ භාග්‍යය අපට ලැබිණි. “සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සීනේ - නෙත් දෙකින් අරන් යනු මැන සඳ පානේ”, “මුව හසරැළි සාගරයේ මුතු වැලක් වෙලා”, “ආදරේ රන් බිඟුන් නැසූ - බාඳුරා මල ඔබයි ළඳේ”, “දිනෙක රන් සළු පළඳා සඳ නැඟී මේලාවෙන්”, “ඉවුරු තලා ගංගා බැස යනවා - මහද තලා ඔබ ඉවතට යනවා”, “වසන්තයේ මල් පොකුරු නෙළාගෙන ඔබ මා දෝතට ගෙනෙන තුරා”, “ඔබෙ දෙතොල් පෙති ලිහී පිපුණු හසරැල් විලේ”, යනාදී සුමිහිරි ගීතාවලියක අරුත්බර වදන් රැස මගේ මතකයට නැඟේ. එම ගීත සම්ප්‍රදායෙන් පෝෂණය ලැබුවහොත් නවෝද්ට දුර ගමනක් යා හැකි වනු ඇත. නො එසේ නම් ඔහුට සිදුවනු ඇත්තේ “මුහුණේ කුරුළෑ කඩන”, “පෙම් ගාන්චු බඳින” හඩු බසින් පල්වුණු වළට වැටෙන්නට ය. එසේ නොවේවා යි අදරින් පතමි.