කුලේ බලේ

වයස සම්පූර්ණ වූ විට කසාදයක් කරගත යුතු ය. කොයිතරම් නෑ...බෑ කියුවත් තරුණ හිත් හිත යටින් ඊට කැමති ය. තමුන්ට කැපෙන අය හොයාගන්නට තරුණ තරුණියෝ පසුබට වන කල දෙමව්පියෝ තිරයට අවතීර්ණ වෙති. මෙවන් දැන්වීම්වලින් පුවත්පත් පිටු පිරෙන්නේ එවිට ය.

“උඩරට බොදු ගොවි වයස විසිපහ, උපාධියක් හිමි. පැහැපත් දියණියට ගුණවත් පුතකු සොයයි කුලය සැලකේ.”

මේ දැන්වීමෙන් කියන්නේ පහතරට අය නොසැලකෙන බව ය. අපි උඩරට යැයි කියන්නේ ඒක ය. “ ගොවි හැර අන් කුල නොසැලකෙන බව ය.

අදටත් බොහෝ දැන උගත්, පශ්චාත් උපාධි ඇති මගේ මිතුරු මිතුරියන් පවා විවාහයේ දී කුලය සලකා බලති. ඊට හොඳක් හෝ නරකක් කිව නොහැක. ඒ ඔවුන්ගේ කැමැත්ත ය.

“කුලේ????මම එහෙම දෙයක් අහලා නෑනේ...” ඔහොමත් කියන අය ඉන්නට පුළුවන් ය. එහෙම කියන්නේ ඔය කියන ප්‍රශ්නය ඔයාකාරයෙන්ම මගෙන් ඇසූ අය ඉන්නා නිසා ය. ‘කුලය’ වනාහී උතුරු ඉන්දියාවෙන් අපිට ලැබුණු තෑගි අතර තවත් එක් තෑග්ගකි. නානාප්‍රකාර වූ කුලවලට අයත් නානාවිධ වූ මිනිස්සු අප අතර වෙති. කුල ක්‍රමය සිංහල සමාජයේ මෙන්ම දමිළ සමාජයේ ද ස්ථාපිත ය.

කුල ක්‍රමයේ මූලාරම්භය පිළිබඳ පැහැදිලි ලිඛිත සාක්ෂි හමුනොවෙතත්, ඉතිහාස කතන්දර කුල ක්‍රමය ඈත අතීතයේදීත් පැවති බවට මනා සාක්ෂි විදහාපායි. දුටුගැමුණු රජුගේ පුත් කුමරු වන සාලිය කුමරු පහත් කුලයක චණ්ඩාල ලියක වූ අශෝකමාලාවනට ඇලුම් කොට ඈ විවාපත් කරගත් බවත් ඒ වෙනුවෙන් රජකම අත්හල බවත් මහාවංශයේ සදහන් ය. ක්‍රි.පූ 160 දී පවා ලංකාවේ කුල ක්‍රමය ඉතා දැඩිලෙසට ක්‍රියාත්මක වූ බවට මේ පුවත සාක්ෂි කොටගත හැකි ය.

බ්‍රිතාන්‍ය පාලනයට නතුවීමට ප්‍රථම ශ්‍රී ලංකාවේ ප්‍රධාන කුල ලෙස පැවත ඇත්තේ පිළි‍ෙවළින් රජ, බමුණු, වෙ‍ෙළඳ සහ ගොවි කුල බවට පූජාවලිය සහ සද්ධර්මරත්නාවලිය සාක්ෂි දරයි.

පහත් යැයි සලකනු ලැබූ රොඩී කුලයට අයත් පවුලක් (1860)

රොබට් නොක්ස් විසින් රචිත “An Historical Relation of the Island Ceylon” නම් පොතේ සදහන් ආකාරයට සිංහල කුල ක්‍රමය තැනී ඇත්තේ හෙළයේ රජතුමන් විසින් බාර දුන් රාජකාරී අනුව ය. උඩරට සහ පහතරට කුල ක්‍රමය එකිනෙකට වෙනස් වන අතර දෙරටටම පොදුවූ කුල ද නැතුවා නොවේ. රාජකාරී පදනම් කරගත් කුල ක්‍රමය වඩාත් ම අදාළ වන්නේ උඩරටට ය.

දකුණු පළාත ප්‍රධාන කුල හතරක වැසියනට නිවෙස්නක් වී ඇත. ‘කරාව’ වැසියන්ගේ රාජකාරිය මාළු ඇල්ලීම වන අතර අදටත් බහුතර කරාව ජනතාව මාළු ඇල්ලීම තම ජීවිකා වෘත්තිය කොටගෙන දකුණේ මුහුදු බඩ පළාත්වල ජීවත් වෙති. මොවුන් විශාල වශයෙන් කණකර ආබරණ පළදින අතර කටසැර වැඩි යයි සමාජ මතයක් පවතී. මහාචාර්ය පරණවිතානයන්ට අනුව ක්‍රි.පූ 100වන ශතවර්ශයට අයත් යැයි කිව හැකි අනුරාධපුර අභයගිරි විහාරයෙන් හමුවූ ලියවිල්ලකට අනුව “කරාව නාවික යනු ලංකාවේ පළමු සුවිශේෂී සඳහනක් සහිත වෘත්තිය ලෙස සැලකේ.

‘දුරාව’ කුලයේ අය ප්‍රසිද්ධ රා මදින්නන් හැටියටය. කුරුදු තැලීම ජීවිකාව කරගත් අය ‘සලාගම’ කුලයේ ලෙස සැලකේ. මේ සියල්ලන්ටම උසස් අය ‘ගොවිගම’ යැයි සැලකෙන අතර ඒ අය ගොවිතැන ජීවන වෘත්තිය කොටගෙන සිටියෝ වෙති. අද වන විට මේ අය දකුණු පළාතේම ජීවත් නොවන අතර රටේ විවිධ පළාත්වල විවිධාකාර වූ තනතුරු දරති. බොහෝ විට තමන්ගේ පුරාතන රැකියාවලින් මිදී සුවිශේෂ වූ කුලයකට හිමිකම් නොකියන ඉංජිනේරු හෝ දොස්තර රැකියා කරති. ඔවුන්ට තවදුරටත් කුලය අදාල නොවෙත්. සමාජ ක්‍රමය බලෙන් කුලය ඔවුන්ගේ හිස මත පටවයි.

උඩරට ප්‍රදේශයේ සම්ප්‍රදායික හකුරු තනන්නන් වන ‘වහුම්පුර’ කුලයට අයත් වූවෝ ජීවත්වෙති. නුවර දිස්ත්‍රික්කයේ ජීවත් වන බත්ගම් (පදු )කුලයට අයත් අය කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ කම්කරු රැකියා කළවුන් ය.

උඩරටට සේ ම පහතරටට ද පොදු වූ ලෙස සම්මත කුල ද ඇත. ‘රදා’ කුලය මේ අතර ප්‍රමුඛ ය. ගමේ ප්‍රසිද්ධ රෙදි නැන්දා අයත් වන්නේ රදා කුලයටය. ගැහැනු දරුවෙක් වැඩිවිය පත්වූ කලට ඇය කුඩා කල කණ පැළැදි කරාබු යුවල රෙදි නැන්දාට ලබා දෙන්නේ සන්තෝසමක් හැටියට ය. විවාහයකින් පසු යුවතියකගේ පිරිසුදුකම සොයන්නට බාර වන්නේ ද රෙදි නැන්දාට ය. ඇය පුරාතන සමාජයේ වැදගත් කර්තව්‍යයක් ඉටුකළේ ඒ අයුරින් ය.

රෙදි නැන්දා සම්බන්ධයෙන් සුවිශේෂ මතකයක් මට නැතත් රෙදි නැන්දාගේ දුව සම්බන්ධයෙන් වූ මතකයක් ඇත. ඇගේ දුවත් මමත් ගියේ එකම පාසලට ය. මගේ ආත්තම්මාගේ හිත මේ නිසා සෑහෙන්නට රිදී තිබිණ. “ඒ ළමයා ඉස්කෝලෙ දී දුවට කතා කරන්නේ නම කියලාදැයි”. ඇඹුල් කරගත් මුහුණින් යුතුව අත්තම්මා විමසනු මට තාමත් මතක ය. රෙදි නැන්දාගේ දුව මට නම කියා ඇමතීම අත්තම්මා සැලකුවේ මදිකමක් හැටියට ය.

ඒ දවස්වල බොහොම ගෙවල්වල මුළුතැන්ගෙයි මිටි අසුන් පනවා තිබිණ. ඒ පහත් යයි සම්මත කුලවල අය ආ විට ඉදගන්නටය. උසස් කුලයක අයෙක් මූණට මුණ ගැසුණු විට හිස් වැස්ම ගලවා බෙල්ල පසකට ඇලකොට කතා කිරීමත් පාරෙන් ඉවතට වී ඉඩ දීමත් එකල සම්මත පුරුදුය.

පන්සල්වල බෙරවයන්නට සහභාගී වූ අය ‘බෙරව’ කුලයට අයත් විය.

‘නවන්දන්න’ කුලයේ අය අත්කම් ශිල්පයේ කෙල පැමිණි අය වූහ. රත්රන් කර්මාන්තයේ යෙදී සිටින්නේ ද නවන්දන්න කුලයේ අය වෙති. ඉතා පැහැපත් සමක් හිමි නවන්දන්න කුලයේ ගැහැනු රූපත් යයි සැලකේ.

ඉස්සර දවස්වල ගෙදරකට ගියවිට තේ කෝප්පයක් පිළිගැන්වුණේ ද කුලය මෙන්ම උඩරට , පහතරට බේදයද සලකාය. උඩරට මිතුරු නිවසකට ගිය කල අඩුව කැඩුණු කෝප්පයකින් තේ පිළිගැන් වුණ හැටි අපේ තාත්තාගේ කතන්දර පොතේ ප්‍රසිද්ධ කතාවකි.

කුලයට අනුව බස් වහර වෙනස් වෙයි. දැන් නම් මේ වෙනස දකින්නටම නැති තරම් ය. වාසගම ද කුලය හදුනා ගැනීමේ තවත් එක් සාධකයකි. පහත් යයි සම්මත කුලවල මිනිස්සු පුවත්පත් දැන්වීම් දමා නම් වෙනස් කරන්නේ ඒ නිසා ය. අදවනවිට කුල ක්‍රමයෙන් තමන්ට හිමිවූ රැකියාව කරන්නේ බොහොම අතලොස්සකි. ඔවුන් වෙනත් විවිධවූ රැකියාවලට යොමුවී සිටිති. මටනම් කොහොමටත් ගොවියාගේත්, රත්තරන් බඩු කාර්මිකයාගේත් රැකියාවේ උස් පහත් කමක් පේන්නේ නැත. අප රැකියාවක් කරනුයේ එදා වේල සරිකර ගැනීමට ය.

අප එකිනෙකාට උස් පහත් වන්නේ කුල ගොත් හෝ වත්පොහොසත්කම්වලින් නොවේ; ගුණවත්කම්වලිනි. බුද්ධාගමේ කියන්නේ එහෙමය. මා දන්නා තරමින් අනෙක් බොහෝ ආගම් වල කියන්නේ ද එහෙමය. අපි මේ මොනවා ලියුවාත්, කියුවාත්, කියෙව්වාත් සමාජය වෙනස් වන්නේ නැත. ලෝකේ කැරකෙන්නේ ඊටම ආවේනික රටාවකට ය. අපට උවමනා වුව ද ඒ රටාව වෙනස් වන්නේ නැත. සමාජ ක්‍රමයද එපරිදිම ය.