බොළඳ අයට පමණයි

“බොළඳ කියන වචනෙ තේරුම මොකක්ද? මගේ දියණිය මගෙන් ඇසුවා ය.

“බොළඳ කියන්නෙ ළපටි, ළාමක, බිළිඳු, නොමේරූ වගේ තේරුම් තියන වචනයක්. මම ශබ්දකෝෂානුගත පිළිතුරක් ලබා දුනිමි.

“එතකොට බොළඳ ටෙලිනාට්‍ය, බොළඳ නවකතා, බොළඳ අදහස් වගේ වචනවල තේරුම නොමේරූ ටෙලිනාට්‍ය, නොමේරූ නවකතා, නොමේරූ අදහස් කියන එකද?” ඇය ඇසුවා ය.

“ඔව්, ඒ වගේ අදහසක් තමයි” මම කීමි.

“එතකොට වැඩිහිටි අයත් බොළඳ ටෙලිනාට්‍ය බලන්නෙ ඇයි? එහෙනම් ලොකු අය කාගෙවත් බොළඳ අදහස් නැති ද?” දියණිය වෑයම් කරන්නේ මා අමාරුවේ දමන්නට ය.

දියණියගේ ප්‍රශ්න කිරීම් හමුවේ මට බොහෝ කලකට පෙර ප්‍රවීණ නවකතාකරුවකු හා පුවත්පත් කලාවේදියෙකු වන “කරුණාසේන ජයලත්” ලියූ ලිපියක් සිහිපත් විය.

ඒ නවසිය හැත්තෑව දශකයේ අග භාගයයි. එවකට මම පාසල් සිසුවෙක් වීමි. ගෙදරින් වියදමට දෙන සුළු මුදලින් ගණනක් ඉතිරි කරගෙන “නවයුගය” හා “සරසවිය” පුවත්පත් මිලදී ගැනීමට පුරුදු වී සිටියෙමි. (සරසවිය පුවත්පත මිලදී ගත්තේ චිත්‍රපටි පිස්සුව වැලඳී තිබුණු හෙයිනි) කරුණාසේන ජයලත් එදවස “සිනමාවයි මමයි” යන හිසින් මුල් කාලීන සිනමාව හා සිනමාව සමඟ පැවති ඔහුගේ සබඳතා හෙළි කරමින් රසබර ලිපි පෙළක් සරසවියට ලියූවේ ය. මා මේ ගෙන හැර පාන්නේ එම ලිපි පෙළින් එක් ලිපියක වූ තොරතුරුයි. (බොහෝ කලකට පෙර කියවූ ලිපියක් හෙයින් යම් තොරතුරක් මගේ මතකයෙන් ගිලිහී තිබෙන්නට ඉඩ තිබේ.)

කතාවේ සඳහන් කාල වකවානුව මට මතක හැටියට නවසිය පනහේ දශකයේ අග භාගයයි. එවකට කරුණාසේන ජයලත් ටෛම්ස් ආයතනයේ සේවය කරමින් සිටියේ ය. එම ආයතනය මගින් පළකළ “ලංකාදීප” පුවත්පතේ සිනමා අතිරේකය සම්පාදනය කළේ කරුණාසේන ජයලත් ය. පුවත්පත වෙනුවෙන් සිනමා විචාර ලියූවේ ද ඔහු ය.

ඒ හින්දි සිනමාව ලංකාවේ බෙහෙවින් ජනප්‍රියව පැවති යුගයයි. රසිකයෝ හින්දි නළු නිළියන්ට බෙහෙවින් ආදරය කළහ. එකල හින්දි සිනමාවේ ජනප්‍රියතම නළුවා වූයේ “දිලිප් කුමාර්” ය. දිලිප් බොහෝ කාලයක් පුරා සිය ජනප්‍රියත්වය රඳවා ගත් නළුවෙකි. දිලිප් හිස පීරන විට ඔහුගේ නළලට දඟකාර කෙස් රොදක් වැටෙයි. ඉන්දියාවේ පමණක් නොව ලංකාවේ ද බොහෝ තරුණයෝ දිලිප් හිස පීරන ආකාරයට හිස පීරන්නට හුරුව සිටියහ. ජයලත් සඳහන් කර තිබූ ආකාරයට තරුණ ඔහු ද ඉන් මිදුණේ නොවේ.

දිලිප් කුමාර් කෙටි සංචාරයක් සඳහා ලංකාවට පැමිණියේ ය. දිලිප් කුමාර් හමුවන්නට, හමු වී කතාබහ කරන්නට කරුණසේන ජයලත් තුළ ද ආශාවක් තිබිණි. එහෙත් ඒ සඳහා අවස්ථාවක් ඔහුට නොවිණි. දිලිප් කුමාර් හමුවන්නට නොහැකි වීම ජයලත් තුළ ඇති කළේ කම්පාවකි. කෙසේ හෝ ජයලත්ගේ ආශාව ටෛම්ස් ආයතනයේ ලොක්කාට ද දැනගන්නට ලැබිණි. ලොක්කා එවකට පුවත්පත් ලෝකයේ යෝධයෙකු වූ ඩී. බී.ධනපාල මහතා ය. (ඩී. බී. නිහාල්සිංහයන්ගේ පියා)

“ජයලත්ට කොහොම හරි දිලිප් කුමාර් මුණගස්වන්න ඕනෑ. නැත්නම් මිනිහා ටෛම්ස් මන්දිරයේ හයවන තට්ටුවෙන් පහළට පනී” ධනපාල මහතා හිතවතුන්ට කියා තිබිණි. එවකට ලංකාවේ උස ම මන්දිරය වූයේ සයමහල් ටෛම්ස් මන්දිරයයි.

අන්තිමේ දී කරුණාසේන ජයලත්ට දිලිප් කුමාර් හමුවීමේ අවස්ථාව ලැබිණි. ඒ අවස්ථාව සූදානම් කොට තිබුණේ ඩී. බී. ධනපාල මහතා ය. මේ හමුවීම බොල්ගොඩ දූවේ දී සිදු වූ බව ජයලත් සඳහන් කර තිබුණු බව මගේ මතකයයි.

තරුණ කරුණාසේන ජයලත් සමඟ කතා කරන විට දිලිප් කුමාර්ට සිගරැට්ටුවක් දල්වන්නට අවශ්‍ය විය. එහෙත් ඔහු අත ගිනිපෙට්ටියක් නොතිබිණි. කරුණාසේන ජයලත් වහා තම සාක්කුවේ තිබුණු ගිනිපෙට්ටිය දිලිප්ට දුන්නේ එහි ඇත්තේ එක ම ගිනි කූරක් බව කියමිනි. “එක ගිනිකූරක් ලෝකයට ම ගිනි තබන්නට සෑහෙනවා” කියමින් දිලිප් දුම්වැටිය දැල්වූයේ ය.

ආපසු එන්නට පෙර ජයලත් හිස් ගිනිපෙට්ටිය ආපසු ඉල්ලා ගත්තේ ය. ඒ දිලිප් කුමාර් පාවිච්චි කළ ගිනිපෙට්ටිය සිහිවටනයක් සේ තබා ගන්නට ය. අවුරුදු ගණනකට පසුව “සිනමාවයි මමයි” ලියමින් එවකට මැදිවියේ සිටි කරුණාසේන ජයලත් පළ කළේ මෙවන් අදහසකි.

“ඒ ගිනිපෙට්ටිය ලට්ටලොට්ට දමා ඇති ට්‍රන්ක පෙට්ටියක තවමත් තිබෙන්නට පුළුවන. එදා මම බොළඳ ලෙස හැසිරුණා යයි අද මට සිතේ. අපි ජීවිතයේ කිනම් හෝ අවධියක බොළඳ ලෙස නොහැසිරෙන්නමෝ ද?” (මතකයෙන් ලියන හෙයින් ජයලත්ගේ වචන මගෙන් වෙනස් විය හැක.)

සැබවින් ම බොළඳ බව පිළිබඳ නිර්වචනය වයසින් වයසට වෙනස් වෙයි. ජීවිතයේ එක් අවධියක බොහෝ අභිරුචියෙන් කළ දෑ මෙනෙහි කරමින් ඒවා බොළඳ යයි සිතමින් අපි පසුකාලීනව පසුතැවෙමු. නැතහොත් තවෙකෙකුගේ ක්‍රියාකාරකම් දෙස බලමින් ඔහුගේ හැසිරීම් බොළඳ යයි කියමින් අපි ඔහුට සිනාසෙමු.

මේ අනුව බොළඳකම වයසින් වයසට වෙනස් වන්නකි. පුද්ගල තරාතිරමෙන් තරාතිරමට වෙනස් වන්නකි. බොළඳ යන වදනට අර්ථයක් ඇතත් “බොළඳකම” නිර්වචනය කිරීම අතිශයින් අසීරු ය.