ජනේලයේ ආකාස මහත්තයා

හැටේ දශකයේ අගභාගයේ එක් සැඳෑවක අපි කටුගස්තොට ශාන්ත අන්තෝනි රඟහ‍ලේ හෙන්රි ජයසේනයන්ගේ ‘ජනේලය’ නාට්‍යය නරඹමින් සිටියෙමු. අර්ධ ශෛලීගත සම්ප්‍රදායේ නාට්‍යයක් වූ එහි සියලු නළු නිළියන්ගේ රංගනයන් අපගේ සිත් දිනා ගන්නට සමත් වූවත්, ආකාස මහත්තයා ලෙස රඟ පෑ උපාලි අත්තනායක ඒ හැම අභිබවා දස්කම් පෑවේ ය. නාට්‍යාවසානයේ පරිසමාචාර (curtain call) දක්වන අවස්ථාවේ ආකාස මහත්තයාට ලැබුණේ අහස ගුගුරන්නාක් බඳු අත්පොළසන් නාදයකි. නිහතමානි සිනහවකින් යුතුව, දෑත් එක්කොට ආචාර කළ උපාලි අත්තනායකයන්ට මා අසල සිටි මිතුරෙක් සිය හැඟීම් දරාගත නොහැකිව උස් හඬින් කෑ ගැසුවේ ය.

“කමෝන් උපාලි”

එදා එසේ කෑ ගැසුවේ අද ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති ධුරය හොබවන සුනිල් සිරිසේනයන් ය.

එකල අප උසස් පෙළ සිසුන් ය. ජනේලයෙන් ලද ආස්වාදය නිසාදෝ, සුනිල් ‘ආකාසේ’ නමින් කෙටි නාට්‍යයක් ලිවීය. ඔහුගෙන් එම පිටපත ඉල්ලා ගත් මම, (සිසිල් ජිනදාස සහ උපාලි රාජපක්ෂ සමඟ) එය පුහුණු කරන්නට වීමි. එහෙත් එය රඟදක්වන්නට නම් ඉඩක් ලැබුණේ නැත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උගන්නා අවධියේ දී සුනිල් “කිරිමදුවැල්” නම් නාට්‍යයක් ලියා නිපදවා රඟපා තමන් තුළ ඉන්නා නාට්‍යකාරයා ප්‍රදර්ශනය කළේ ය. ඔහු එදා හොඳම නළුවා ලෙස සම්මානයට ද පාත්‍ර විය. මිල්ටන් මල්ලවආරච්චි ගයන “අමාරන් කැළුම් දිදී” වැනි ගීත කීපයක් ද රචනා කළ සුනිලුන්ගේ කලා කුසලතා පරිපාලන ක්ෂේත්‍රය තුළ සැඟව ගියත්, ඔහුට දැනුදු ඇත්තේ යාවත්කාලීන වන රසිකත්වයක් බව දනිමු.

අව්ව තියෙද්දී පිදුරුත් වේලාගන්නා සේ, ලද අවසරයෙන් සුනිල් සිරිසේන ගැන ද “තෙලක්’ බෙදුව ද අද මගේ ‘දවසේ වීරයා’ උපාලි අත්තනායකයන් ය.

උද්භිද විද්‍යා ගුරුවරයා වශයෙන් සේවය කරනු පිණිස ධර්මරාජයට ආ තරුණ ගුරුවරයකු වූ ජිනේන්ද්‍ර පතිනායක හොඳ කලා රසිකයෙකි. ඔහුගේ මූලිකත්වයෙන් අපි නාට්‍ය කවයක් පිහිටුවා ගත්තෙමු. එහි නම ද “අපි” ය. කවයක් තිබෙන නිසා, නාට්‍යයක් ද කළ යුතු ය.

පතිනායක සර්, රාජකීය විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ ‘අමුත්තා’ නමැති නාට්‍යයක රඟපා තිබුණි. එහි රචකයා මෙන්ම අධ්‍යක්ෂවරයා ද වූයේ එවකට රාජකීය විද්‍යාලයේ ඉංග්‍රීසි ආචාර්යවරයා වූ උපාලි අත්තනායකයන් ය.

පතිනායක සර් ගමේ ගිය දවසක ‘අමුත්තා’ පිටපත රැගෙන ආවේ ය. නාට්‍ය උණ - සන්නිපාත වී සිටි අපි මහත් උනන්දුවෙන් පුහුණුවීම් පටන් ගත්තෙමු. විදුහලේ ගුරුවරයකු හා පුස්තකාලයාධිපති ද වූ එස්. වීරකෝන් මහතා ද තෙපානිස් මුදලාලි ලෙස රඟපෑමට ඉදිරිපත් වීම අපට මහත් ධෛර්යයක් විය. රාජකීය විද්‍යාලයීය නිෂ්පාදනයේ දී ‘විද්‍යාවර්ධන’ නමැති චරිතයේ රඟ පෑ පතිනායක ශිෂ්‍යයා ඊට සත් වසරකට පසු, ධර්මරාජ විද්‍යාලයේ විද්‍යා ගුරුවරයෙකු වශයෙන් එම නාට්‍යයේ ම “පේදුරු” ලෙස රංගනයෙහි යෙදීම විශේෂ සිදුවීමක් විය. අවසන් පුහුණුවීම් පැවැත්වෙන සතියේ එක් සැඳෑවක උපාලි අත්තනායක මහතා, පතිනායක සර්ට උදවු වනු පිණිස කොළඹ සිට ආවේ ය. එදා අපට එය ‘ලෝරන්ස් ඔලිවියර්’ පැමිණියාක් බඳු විය.

නාට්‍ය කවයේ ශිෂ්‍ය සභාපතිවරයා වශයෙන් උපාලි සර්ගේ ඇවැත්ම බාර වූයේ මට ය. ප්‍රේක්ෂකාගාරයේ හිඳ අපගේ අඩුපාඩුකම් කියාදෙන ඔහුගේ දකුණත නිතරම කටින් සාක්කුවට යමින් සිගරට් පැකට්ටුව සොයයි. එක් විරාමයක ශාලාවෙන් පිටත ගං ඉවුර දෙසට ගිය උපාලි සර් මට කතා කොට, ඔහුගේ ගමන් මල්ල (කුඩා සූට්කේසයකි) ගෙන එන මෙන් කීය. වහා එය ගෙන ගොස් දුන් මම, පසෙකට වී (ඔහුට නොපෙනෙන සේ) බලා සිටියෙමි. බාගේ බෝතලයක් හා වීදුරුවක් පිටතට ගත් “උපාලි සර්” ඉන් අඩියක් ගැසුවේ ය. එදා මට දෙතුන් වරක්ම ඒ ‘ගමන් මල්ල’ ඔසවාගෙන ගං ඉවුරට දුවන්නට සිදු විය.

පාසල් ජීවිතයෙන් පසුව ද කොළඹ හෝ නුවර රංග ශාලාවන්හි දී මට ඔහු මුණ ගැසුණි.

“සර් මාව මතකද?”

“මොකද නැත්තේ? මේ අපේ ඉස්කෝලේ මහත්තයා”

ඔහු එක්වරම මා හඳුනා ගනී. අමුත්තා නාට්‍යයේ මා රඟපෑවේ පීරිස් ඉස්කෝලේ මහත්තයාගේ චරිතයයි.

ඊට බොහෝ කලකට පසු මා තොම්සන් ලංකා නමැති ප්‍රචාරණ ආයතනයේ සේවය කරන අවදියේ සාදයක දී උපාලි සර් මුණ ගැසුණි. එකල ඔහු ද ‘ටැල්’ නමැති වෙළෙඳ ප්‍රචාරණයට සම්බන්ධව සිටියේ ය.

“සර් මාව මතකද?”

මම සුපුරුදු ප්‍රශ්නය ඇසුවෙමි. උපාලි සර් සිනාසුණේ ය.

ඉස්කෝල මහත්තයා, දැන් ඉතින් සර් නොකිව්වට කමක් නෑ. අපි දෙන්නම එකම රස්සාවනෙ. ඊට වසර කීපයකට පසු තවත් සොඳුරු අහම්බයක් සිදු විය. ඒ වන විට මා දැන හඳුනාගෙන සිටි, උපාලි අත්තනායකන්ගේ දෙටු පුත් අසිත දුරකථන ඇමතුමක් දෙමින් ඔවුන්ගේ ප්‍රචාරණ ආයතනයේ නිර්මාණ අංශයේ අධ්‍යක්ෂක වශයෙන් සම්බන්ධ වීමට කැමැති දැයි ඇසී ය. එය මට ද” ගන්ධබ්බ අවධියක් වූයෙන් මම ඊට කැමති වීමි. අසිතගේ බිරිඳ, සොහොයුරා සිදත් හා උපාලි අත්තනායක මහත්මිය ද එම ආයතනයෙහි අධ්‍යක්ෂ මණ්ඩලයෙහි වූහ. මුළු අත්තනායක පවුලම මට සමීප වූයේ ඒ අයුරිනි.

මේ කාලයේ උපාලි අත්තනායකයන්, බලවත් සේ රෝගාතුර වූයේ ය. කොඳු නාරටියේ වේදනාවකින් පෙළුණු ඔහුට, අසුනක වැඩි වේලාවක් හිඳ සිටීම පවා අපහසු වූයේ ය. ඔහු වේදනාව අමතක කිරීම සඳහා යොදා ගත් එක් උපක්‍රමයක් වූයේ චිත්‍රපට නැරඹීමට යාම ය. එහෙත් වේදනාව නිසා එකදිගටම සිටීම අපහසු ය. අතරමඟ දී නැගිට එන ඔහු ඉතිරි කොටස නැරැඹීම සඳහා පසු දිනයේ යයි.

මා උපාලි සර්ගෙන් සමුගන්නට සැරසුණු මොහොතේ ඔහු ශෝකී සිනාවක් පාමින් මෙසේ කීවේ ය.

“මම දැන් කර්ට්න් කෝල් එක එනකල් බලා ඉන්නේ. ඒත් මං හිතන තරම් ඉක්මනට නාට්‍ය ඉවර වෙන්නේ නැති එක තමයි ප්‍රශ්නෙ.

ඊට මාස කීපයකට පසු, ‘ආකාස මහත්තයා’ ජීවිත සැඳෑව නරඹමින් සිටි ‘ජනේලය’ සදහටම වැසී ගියේ ඔහුට පරිසමාචාරය සඳහාවත් ඉඩක් නොතබමිනි.

සිය සැමියාගේ වියොවින් කලකට පසු ඔහුගේ පුස්තකාලය අස්පස් කරමින් සිටි අත්තනායක මහත්මිය, එහි වූ වටිනා නාට්‍ය ග්‍රන්ථ කීපයක් මා වෙත එවා තිබුණි.

“උපාලි සර් මරණයෙන් පසුවත් අපිට නාට්‍ය ගැන කියලා දෙනවා.”

මගේ සිත මිමිණුවේ ය. දැනුදු, ඉඳහිට මම එම පොත් පෙරළා බලමි. පිටු අතරින් මට ගැඹුරු හඬක් අසෙයි.

“හිතන තරම් ඉක්මනට නාට්‍ය ඉවර වෙන්නේ නෑ.”