වැස්ස

හිටි හැටියේ පැතිර යන මන්දාරම කියා පාන්නේ වැස්ස අත ළඟ බවයි.

“වැස්ස මතකත් නෑ වගේ අම්මේ... ඇත්තටම වැස්ස මොන වගේද? යි පොඩි පුතා අසන්නේ සරදමට වුවද එහි කිසියම් ඇත්තකුත් තිබේ. මාස ගණනාවකින් වැසි පොදක් ඇද නොහැළුණු බිමක දරුවෙකු හට එවන් ප්‍රශ්නයක් පැන නැගීම අරුමයක් නොවේ. අප කවුරුත් නොඉවසිල්ලෙන් බලා සිටින්නේ වැස්ස වසින තුරු ය.

“හා හා කතාව නවත්තලා වැඩ කරනවා”යි ලොකු පුතා අණ කළේ ය. සතිය මැද නිවාඩු දවසක් නම් දරුවන් කැටිව වත්තට යෑම මගේ පුරුද්දයි. සති අන්තය ඒ සඳහා යොදගත නොහැක්කේ අමතර පන්ති ද දහම් පාසල් ද පැවැත්වෙන බැවිනි. මිදුල අතුගෑමට ඔවුන් කොතරම් මැළි වුවද ලොකු පුතාගෙන් බුරුලක් නොලැබේ. එක් එක් ළමයාට කොටස බැගින් වෙන් කර දීමට ඔහු වග බලා ගනියි.

තම තමාගේ කොටස් විශාල වැඩි බවට චෝදනා කරමින් වුව පොඩි, මද්දු සහ නිවුන්නු මිදුල අතුගාති. ලොකු පුතා අතැති කෝටුව දෙස හොරැහින් බලයි. මා තිබ්බටු නෙළන්නේ සිනාව මැඩ ගනිමිනි. මිදුල අතු ගා හමාරවත් ම ගෙවත්තේ වැඩ පළ ඇරඹිය යුතු ය. ඒ සඳහා ළමයින් නොපැකිළි වන්නේ තම තමාගේ කෙසෙල් පැළ කොච්චි පඳුරු ආදියට සත්කාර කිරීමෙන් ආස්වාදයක් ලබන නිසා විය යුතු ය.

“මගෙ කෙසෙල් කැන හරිම පුංචියි. යි පොඩි පුතා මැසිවිලි නඟයි. මද්දුගේ සරුසාර කෙසෙල් කැන සමඟ තමාගේ කෙසඟ කෙසෙල් කැන සසඳා බලයි.

“පෑවිල්ල හින්ද වෙන්නැති” මගේ කියුම මද්දුගේ සිත් නොගනී.

“ඉතිං එහෙනං මගෙ කෙසෙල් පැලේට විතරක් වැස්සද...”යි ඔහු අසයි.

මොකක් හරි උප්පරවැට්ටියක් ඇති. නූල් සූත්තරකාරයානේ. පොඩි පුතා, මද්දු පුතා දෙස රවා බලයි.

“මං නැකතක් බලල හැදුවෙ.”

මද්දුගේ සාඩම්බර හඩ ගෙවත්ත පුරා පැතිර යයි

“යනව යන්ඩ බොරු නොකිය”

පොඩි පුතා හැරෙන්නේ නිවුන්නු වෙත ය.

“තමුසෙලා දෙන්නා අනිවාර්යෙන් දන්නව මද්දුවගේ කෙසෙල් කැන මෙච්චර සරු වුණේ කොහොමද කියලා... කියනවල බලන්ඩ...”

කුඩා පිරිමි ළමයින් දෙදෙනා කෙසෙල් පරඩැල් එකතු කොට කුණු වළකට ගෙන යන්නේ කඩිසර ලෙසිනි.

නොපැකිළිව “අපි දන්නෑ...” ඔවුන් උත්තර දුන්නේය.

“මද්දුවා හරියට වතුරවත් දැම්මේ නෑ අම්මේ...” පොඩි පුතා කනස්සල්ලෙන් කියයි.

“අපි වතුර දැම්මා..”

නිවුන්නු එකවර හඬ ගාති,

“තමුසෙලා මොකට ද මද්දුගෙ කෙසෙල් පැළේට වතුර දැම්මේ...?”

“දැම්මෙ නැත්තං ගහනව කිව්වනේ...”

“හානේ...”යි කෑ ගෑ මම මද්දු වෙත හැරුණෙමි. එහෙත් ඔහු දක්නට නැත.

“දැක්ක නේද අම්මේ.. නමට විතරයි මද්දුගේ කෙසෙල් පැළේ... හරි නං කෙසෙල් කැන අයිති නිවුන්නු දෙන්නට...” පොඩි පුතා නෝක්කඩු කියයි.

“තියෙන හැම දේම ඕගොල්ලො පස් දෙනා බෙදාගන්න ඕන පොඩි පුතේ... අහල තියෙනවනෙ නෙල්ලි ගෙඩිය හත් දෙනෙක් කාපු කතාව....”

“ඒ වුණාට අම්මේ කිසි මහන්සියක් නොවී කෙසෙල් කැන විතරක් මදුදුගෙ වෙන්නෙ කොහොමද..”

“ඔව් අම්මේ... හැමදාම වතුර දැම්මේ අපි දෙන්න... මද්දුවා අඹ ගහට නැඟුල බලාගෙන හිටිය විතරයි. නිවුන්නු නහයෙන් හඬති.

“හරි හරි... අපි මද්දුගෙනුත් අහමුකො” මද්දුටත් නිදහසට කරුණු කියන්න අවස්ථාවක් ලබාදිය යුතු යි.

“මද්දු...” ලොකු පුතා හඬ ගෑවේ කෝපයෙනි.

“හැමදාම ඔහොම තමා හෙමීට මගෑරලා යනවා...” යි කියමින් ඔහු වටපිට බැලුවේ ය.

“ආං මද්දු පේර ගහේ”යි නිවුන්නු කෑ ගැසුවේ නිධානයක් හම්බ වූ කලෙක මෙන් ප්‍රීතියෙනි.

“පරිස්සමට පුතේ... හෙමිං බහින්න යි මා බියමුසු හඩින් කීවේ ලොකු පුතාගේ තර්ජනයෙන් කලබල වූ ළමයා බිම ඇද වැටෙන්නට බැරි නැතැයි සැකයෙනි.

ලේනෙකු මෙන් අතු ඉති දිගේ පහළට බැස ආ මද්දුට බිම පය ගසන්නට ඉඩක් නොලැබිණ. ඒ ලොකු පුතාගේ අත්අඩංගුවට පත් වූ නිසා ය.

“අතාරින්න... මාව අතාරින්ඩ මද්දු කෑ ගසන්නට වූයේ යකෙකු රකුසෙකු තමා අල්වාගත් කලෙක මෙනි.

“නෑ නෑ අතාරින්නෙ නෑ.... හැමදාම පැනල යනව.. අද නං වැඩ කරන්නම වෙනව” මද්දු තුවායක් දා ගන්නා විටෙක මෙන් ඔහු ළමයා දෙවුරෙහි ලා” ගත්තේ ය. “මට සනීප නෑ.... ” මද්දු කෙඳිරි ගායි.

“අසනීප හින්ද ද පේර ගහ මුදුනෙ හිටියෙ...? ලොකු පුතා රළු පරළු ලෙස අසයි?

ළමය වැටෙයි ලොකු පුතේ අනේ බිම තියන්ඩ’යි මම බැගෑපත් වෙමි.

“අම්ම තමා මෙයාව නරක් කරන්නෙ. මේකා මහ ශරීර හොරා... කිසිම වැඩක් කරන් නෑ. වැඩ පටන්ගන්නකොටම මූට ඔලුවෙ කැක්කුම... බඩේ කැක්කුම.

“අනේ ලොකු පුතේ දරුවා බිම වැටී අනතුරක් සිදු වනු ඇතැයි තැති ගන්නා මම නැවතත් බැගෑපත් වෙමි.

“කම්මැලියා, කම්මැලියා” මද්දු අයියා ඔසවා ගත් ලොකු අයියා වටා දිව යමින් නිවුන්නු තාලයට ගයති.

“කිඹුල්ලු කිඹුල්ලු.”

තව කෙකුගේ උරහිස් හරහා වැතිර සිටියදී පවා මද්දු මල්ලිලාට අවමන් කරයි.

වැඩ කරන්නට පොරොන්දු වීමෙන් පසු ඔහුට නිදහස ලැබුණෙන් මට දැනුණේ මහත් සැනසීමකි. දෙපා බිම ගැසූ සැණින් ඔහු පලා යන්නට තැත් කළ ද වළල්ලක් මෙන් වටව හුන් අයියලා මල්ලිලා වෙතින් පලා යාමට ඉඩක් ලැබුණේ නැත.

“අපේ වැඩ අපි කරගන්න ඕනිනේ... කම්මැලි වෙලා බෑනේ” මම කරුණාවෙන් කියමි.

“අපිට තියෙන්නෙ පැළ හිටවලා සාත්තු කරන්න විතරයි. පොඩි පුතා සැහැල්ලුවෙන් කියයි.

“ඒක තමා පැළෙයි පොළවයි ඉරයි හඳයි එකතු වෙලා ඉතිරි ටික ලස්සනට කරනව නේ.

මා සිනාවක් පාන්නේ අමනාපයෙන් එල්ලා වැටෙන මද්දුගේ මුහුණේ ද සිනාවක් දැකීමේ අපේක්‍ෂාවෙනි.

“ඇත්තට අම්මෙ හරි පුදුමයි නේද. පැළයක් ගහක් වෙනව... මල් පිපෙනවා...ගෙඩි හැදෙනවා... සේරම ගෙඩි අපිට. ගහ මුකුත් තියාගන්නෑ... අපි ඉතිරි නොකළත් තරහ වෙන්නෙත් නෑ.... අන්තිමට අපි ගහත් කපා ගන්නවා.... පව් නේද අම්මා?”

හරිත පැහැයෙන් බබළන ගෙවත්ත මධ්‍යයෙහි හිට ගෙන ඉන්නා ගැටවරයා පමණට වඩා හැඟීම්බර වී දැයි මම විමසිලිමත් බැල්මක් හෙලමි. ගහකොළ අරබයා සංවේදී වීම කොතරම් හොඳ දැයි ඒ හාම මම සිතුවෙමි.

“අම්මේ අම්මේ නිවුන්නු කෑගසන්නට පටන් ගත්තේ මගේ දෑතින් අල්ලා අදිමිනි.

“මොකද මේ...?”

“වහිනවා අම්මේ වහිනවා”

මම ඉහළ අහස දෙස නෙත් හෙලුවෙමි.

“අහස දංගෙඩියක් වගේ” යි මට සිතිණි. වැසි බිඳු පතිත වෙයි.

“ඇත්තටම වහිනවා” අපි අපමණ සතුටින් කෑ ගැසුවෙමු. වැස්ස මාස ගණනාවකට පසු වහින වැස්ස. අතු ඉති සලිත කරවමින් හමා යන සුළඟ පවා වැස්සට ආසිරි පතන්නාක් මෙනි. ගෙවත්තේ ගහකොළ ද ප්‍රමුදිත වූ ගානය. වැසි බිඳුවක සිසිල මොන තරම් සුවදායක ද යනවග පසක් කරගනිමින් අපි එකිනෙකා දෙස බලමින් හිනැහු‍ෙණමු...

වහින්න... වහින්න හයියෙන් වහින්න යි මද්දු නොකඩවා අහසින් ඉල්ලා සිටියේ ය.

“හයියෙන් වැස්සොත් අපේ ගෙවතු වැඩ නවත්තන්ඩ වෙනවනේ....” පොඩි පුතා හේතු කාරණා පැහැදිලි කළේ ය.

“තෙමෙනවා අම්මේ අපි තෙමෙනවා” නිවුන්නු හඬ පාන්නේ ඒ මේ අත දිව යමිනි.

“ඔව් අපි චුට්ටක් තෙමෙමු” යි මම රහසින් යෝජනා කළෙමි.

“යං යං ගෙට යං... වැස්සෙ තෙමිල ලෙඩ වෙයි’යි කියමින් ලොකු පුතා දැනටමත් උදැල්ල සහ පිහිය ද දෑතින් ගෙන ගෙදරට දුවන්නට සූදානම්ය.

“ඇත්තටම ද අම්මේ...? අපි චුට්ටක් තෙමෙනව ද...?

නිවුන්නු ප්‍රීතියෙන් බබළන ඇස් විහිදා ප්‍රශ්න කරති. මම හිස සෙලවීමි.

“හරි ෂෝක්... අම්ම හරි හොඳයි...” හරිම හොඳයි...

අපි හඬ නඟා හිනැහුණෙමු. වැසි බිඳු පතිත වන කල ගහ කොළ ද හිනැහුණාට සැක නැති.