පෙස්සම් කන්තෝරුවේ රස්සාව

ටොම්සන් මහත්තයාට රස්සාවක් ලැබුණේ හරි ම අපූරු ක්‍රමයකට ය. මනුස්සයකු වූයේ නම් රස්සාවක් තිබිය යුතු ය, යන්න ඉස්සර ක්ලාක් මහත්තයා නිතර ම කියාපු දෙයකි. ඒ නිසා ටොම්සන් ද කල්පනා කළේ අඩු ගානේ කන්ඩ බොන්ඩ ටික හොයා ගන්ඩ හරි රස්සාවක් තියෙන්න ඕනෑ කියලා ය. ඉස්සර වගේ කුණු බාල්දි අස්සේ ඔලුව දාන්ඩ දැන් බැරි ය. හිඟාකන මිනිස්සු දැකලා තිබුණත් ඒකත් තව ම පුරුදු නැත. ක්ලාක් මහත්තයා වගේ රස්සාවක් හොයා ගත්තා නම් කොහොම ද?

ටොම්සන් කල්පනා කර කර පාර දිගේ ඇවිදිමින් ගියේ ය. පාරේ මිනිස්සු, ගෑනු, ළමයි එහා මෙහා යති. ඒ අතර ටොම්සන් ගැන විශේෂයෙන් බලන කිසිවකු නැත. ඔන්න එක පාරට ම අතුරු පාරකින් මිනිහෙක් දුවගෙන ආවේ ය. ඒ පස්සෙන් තවත් මිනිස්සු රංචුවකි. බැලූ බැල්මට ම පෙනුණේ ඉස්සරහින් දුවන මිනිහා හොරෙක් වගේ ය. ඒ පස්සෙන් දුවගෙන එන්නේ හොරා අල්ලන්ඩ ය.

ටොම්සන් මහත්තයා ද මිනිස්සු එක්ක දුවන්ඩ පටන් ගත්තේ ය. බල්ලා කාලේ දුවලා පුරුද්ද නිසා ටොම්සන් ටික වේලාවකින් ම ඉස්සර වුණේ ය. දුවන ගමන් ම ටොම්සන් කතා කරන්නට පටන් ගත්තේ ය. ඉස්සරහින් දුවන මිනිහා අල්ලන්නට පිටුපස්සෙන් එලවා ගෙන එන මිනිස්සුන්ට බැරි විත්තිය ටොම්සන් මහත්තයාට තේරුණේ ය.

... ඇයි මහත්තයා මේ දුවන්නේ?...

... හොඞ හොඞ ... පේන්නේ නැද්ද මිනිස්සු එලවා ගෙන එනවා...

... ඒක නම් පේනවා... දැං ඒ මිනිස්සුන්ට එලවා ගෙන එන්ඩ අමාරුයි.. මහත්තයාගේ නම මොකක් ද?...

- ආ... මගේ නම ජනරංජන...

- ඒක වෙන්ඩ ඇති මිනිස්සු එලවා ගෙන එන්නේ...

- ඔව්, ඒක තමයි... මට උපහාර උත්සවයක් තියන්ඩ කතා කළා... මං බෑ කිව්වා... ඒකයි මාව අල්ලා ගන්ඩ එලවා ගෙන එන්නේ...

- ඒ මොකද උපහාර උත්සව තියන්නේ... මහත්තයා මොකක් ද කළ සේවේ...?

- නෑ... මේකයි... මං ආණ්ඩුවේ කන්තෝරුවක නේ වැඩ කරන්නේ... ඉතිං හැමදාම මිනිස්සු එනවා එක එක වැඩ කරවා ගන්ඩ.... මට ඕවා කරන්ඩ වෙලාවක් නෑ... අනික් එක ආණ්ඩුවෙන් දෙන පඩියෙන් ඕවා කරන්ඩත් බෑ... ආණ්ඩුවෙන් පඩි දෙන්නේ කන්තෝරුවට එන්ඩ විතරයි නේ. වැඩ කරවා ගන්ඩ එන මිනිස්සු ඒවට වෙන ම ගෙවන්ඩ ඕනෑ.

- ඉතිං... ඉති... මං නං ඔය කතාව ඇහුවමයි...

... ඇයි තමුසෙ මේ රටේ මිනිහෙක් නෙවෙයි ද?... අහසින් පාත් වෙච්චි එකෙක් ද?

...ඔව්. ඒකත් හරි තමයි... මං ඕව ගැන වැඩිය දන්නේ නෑ..

දෙදෙනා ම නතර වී හති අරින්නට පටන් ගත්තෝ ය. ටොම්සන් මහත්තයා ජනරංජන මහත්තයා දිහා බලාගෙන හිටියේ ඔහු හති අරින හැටියට ය.

...එහෙනං අදවත් දැන ගන්නවා... එහෙම තමයි අපේ රස්සාවේ හැටි... මේ මහත්තයා ගේ නම කොහොම ද?

... මගේ නම ටොම්සන් ...

...ඇත්ත ද? අපේ මාමා කෙනෙක් ඉන්නවා ගමේ. එයා එක දවසක් කතාවක් කීවා එයා ගේ ගෙදර හිටියාලු බල්ලෙක් ටොමී කියලා... පස්සේ උගේ නම ටොම්සන් වුණාලු... ඊටත් පස්සේ දවසක් ඒ බල්ලා ගෙදරින් පැනලා ගියාලු... හරියට තමුසෙගෙ මූණත් බල්ලෙකුගේ වගේ... කියා ජනරංජන මහත්තයා කියන විට ටොම්සන් මහත්තයා ටිකක් කලබල වුණේ ය.

... නෑ... ඒ වෙන කෙනෙක් වෙන්ඩ ඇති...

... කමක් නෑ... ටොම්සන්ගෙ රස්සාව මොකක් ද?

... මං මේ රස්සාවක් හොයනවා...

... ඇත්ත ද? මං රස්සාවක් දෙන්නං... මගේ තියෙනවා පෙස්සම් කන්තෝරුවක්... ඕනෑ කෙනෙක් ගේ පෙස්සම් මං හදලා දෙනවා... තමුසෙට පුලුවන් ඒ පෙස්සම් කන්තෝරුවේ උදව්වට ඉන්ඩ... තමුසෙ කොච්චර දුරට ඉගෙන ගෙන තියෙනවාද?

... අනේ නෑ ජනරංජන මහත්තයා... මට ඉගෙන ගන්ඩ බැරි වුණානේ...

...ඒක හොඳයි... ඉගෙන ගත්ත උං එක්ක මේක කරන්ඩ බෑ... උං පණ්ඩිත වැඩියි... තමුසෙට තියෙන්නේ පෙස්සම් කන්තෝරුවේ ඉස්සරහ ඉඳලා, පෙස්සම් ගහන්ඩ එන මිනිස්සුන්ව කන්තෝරුවට අඬගහ ගන එන එක... එතන ඉන්නවා තව වැඩ කරන අය... ඒ ගොල්ලෝ පෙස්සම ලියන එක බාර ගනියි.

... අනේ ජනරංජන මහත්තයා, බොහෝම ස්තුතියි.

(ලබන සතියේ තවත් කොටසක්...)