පෝදා උසාවිය

එදා හැන්දෑවේ බෝමළුව අමදිමින් සිටින වෙලාවේ ගමේ අන්දර චන්දරේ පසුපස ඉදල ඔසවාගෙන එලවං ගිය විත්තිය ටික දිනකින් ගම පුරාම ආරංචි වී තිබිණ. එදා ඇඳිරියේ සිදු වූ සිද්ධිය මේ තරම් ප්‍රචාරය වී යතැයි පොඩි හාමුදුරුවන්ට එදා නොසිතිණ. එම සිද්ධිය යන්තමින්වත් දුටුවේ පන්සලේ බීරා විතරයි.

“දැන් ඉතිං කන්නත් දීල ගුටිකන්නයි වෙන්නේ සඟකොල්ලන්ගෙන්” යැයි චන්දරේගේ බිරිය අගිදා එක්ක කියා තිබුණේ නාන ළිඳ ළඟදී ය. ඒ කතාව අසාගෙන සිටියත් අගිදා චන්දරේගේ බිරියට පක්ෂපාතිව කිසිවක් කියා නොතිබීම පොඩි හාමුදුරුවන්ගේ මනාපයට හේතු වෙයි. ඒත් පසුව උන් වහන්සේට කල්පනා වූයේ එදා අගිදා කතා නොකර හිටියේ පොඩි හාමුදුරුවන් කෙරෙහි ඇති විශේෂ පැහැදීමක් නිසා හෝ පැත්ත ගැනීමක් නිසා නොව අගිදාත් චන්දරේ සමඟ කිසියම් නොමනාපයකින් සිටින නිසා බවයි. චන්දරේත්, අගිදාත් අතරේ පවතින නොමනාපය කුමක්ද යන්න ඔහුගේ බිරිඳට රහසක් වූවත් එය ගමේ පුංචි එවුන් පවා දන්නා කාරණයකි. නමුත් අගිදා චන්දරේගේ බිරිඳ වන “නුපේ නංගීත්” එක්ක ළඟින් ඇසුරු කරයි.

චන්දරේගේ බිරිඳගේ නියම නම ගමේ කොයි කවුරුවත් දන්නේ නැත. ඇගේ ගම මාතර නුපේ ය. ඒ හින්දාම කොයි කවුරුත් ඇයට කියන්නේ “නුපේ නංගී” කියා ය. ගමේ පුංචි එවුන් පවා ඇය අමතන්නේ ඒ නමින්ම ය. තරමක් සමීප කෙනෙක් නුපේ අක්කා, නැන්දා ආදී නෑකම් කියති. පන්සලේ නායක හාමුදුරුවන් ඇය අමතන්නේ “නුපේ හාමිනේ” යි කියා ය. නොබඳින විදිහටම කල වයසත් ගෙවී යනකම් ගමේ ම පරළ වූ චන්දරේ කසාද බැන්ඳේ මේ ඊයේ පෙරේදා වාගේ ය. ඇයගේ බිරිඳ පිළිවෙළකට ගමේ ඉන්නා කෙනෙකු වුව ද “සඟකොල්ලා” යි තමන්ට කියාපු වචනය ගැන පොඩිහාමුදුරුවන්ගේ සිත මුසුප්පු බවින් පිරෙයි.

කොහොම වුණත් ඉදල් ප්‍රශ්නය පෝය දාට පන්සලේ ධර්ම සාකච්ඡාවේදීත් ඇදෙන්නට බැරි නැත. බොහෝ විට පෝදා හවස්වරුවේ සිදු කරන ධර්ම සාකච්ඡාවේ දී වැඩිපුරම කතා බහ කරනු ලබන්නේ ගමේ විත්ති ගැනයි. ගම තුළ ඇතිවන රණ්ඩු දබර, අසමගිකම්, තරුණ ප්‍රශ්න ආදී හැම එකක් පිළිබඳව ම එදාට සාකච්ඡා වෙයි. අනිවාර්යයෙන් නායක හාමුදුරුවන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවන මෙය ඉස්කෝලේ මහත්මයා ඇතුළු ප්‍රභූ පැලැන්තියේ අය ද ගමේ තරුණ පිරිස ද වැඩිහිටි අය ද සහභාගී වෙති.

‍ෙබාහෝ කාලයක සිට සිදුවන මෙය ගමේ ඇතැම් අය හඳුන්වන්නේ පන්සලේ පෝයදා උසාවිය කියා ය. නායක හාමුදුරුවන්ට අමතරව පන්සලේ අනෙක් දැනුම් තේරුම් ඇති ස්වාමීන් වහන්සේලා ද කැමැත්තෙන්ම මේ සඳහා සහභාගී වෙති. පොඩි හාමුදුරුවන්ගේ සිද්ධිය මෙතන කතා කිරීමට තරම් බරපතළ එකක් නොවුණත් මොකෙක් හරි නරිවාදම් කමට කීවොත් නොදන්නා අය අතරත් ඒ සිද්ධිය ප්‍රසිද්ධ වී යයි.

සිද්ධිය කථාබහ වූවත් පොඩිහාමුදුරුවන්ට බරපතළ හානියක් සිදුවන්නේ නැත. ගමේ තරුණ පිරිස් චන්දරේ එක්ක හිටියත් මේ වගේ ප්‍රශ්නයක දී උන්වහන්සේගේ පැත්තට ඉඳියි. බොද්දූව සුජිත්ගේ හැකර කටත් ඇරෙන්නේ වෙරිකාරයන්ට විරුද්ධවයි. ඔහු ආගමක් දහමක් ගැන කිසිම හැඟීමක් දැනීමක් නැති කෙනෙකු සේම හැමදේම විවේචනය කරන්නෙකි. චන්දරේ එක්කත් ගංකරේ ජවුසන් නට නටා ඉන්න ඔහු පොටක් පෑදුණු තැනදී වීරයා වෙන්නට වලිකයි.

ගමේ බොහෝ කොල්ලන් ඔහුට කියන්නේ “ගුණේ නැති එකා” කියා ය. ගමේ වැඩිහිටි ගෑනු උදවිය කොහොමත් පොඩිහාමුදුරුවන්ගේ පැත්තයි. ඉස්කෝලේ මහත්තයා වුණත් මේ වගේ සිද්ධියක දී සිය වියත් පණ්ඩිතකං ඉදිරිපත් කරන්න යන්නේ නැත. නිහඬව සිට පසුව ඇවිත් පුංචි අවවාදයක් තමන් වහන්සේට දෙන බව උන්වහන්සේ දනියි.

විසුමක් නැති වුණොත් නැති වෙන්නේ නායක හාමුදුරුවන් එක්ක ය. කොහොම වුණත් නායක හාමුදුරුවන් පුද්ගල බද්ධව ප්‍රශ්න විසඳන්නට යන්නේම නැත. “පොඩිනම කරේ සිවුරකුත් තියෙනවා නේදැ” යි නායක හාමුදුරුවන් එදා කීවේ මේ සිද්ධිය නිසාම බව පොඩි හාමුදුරුවන්ට හොඳටම විශ්වාස ය. එකම කරුණ දෙතුන්වර කතා නොකරන නායක හාමුදුරුවන් ද එහෙම වුණොත් මේ ගැන හිතන්නේ මෙය වගාවක් නැති කතාවක් ය කියා ය.

මේ විදිහට නම් හිතාගෙන යන විට හිතත් ඉබේම හෑල්ලු වෙයි. බියත් තුනී වෙයි. ඒත් අගිදාත් එක්ක මේ ගැන ටිකක් කතා කෙරුවා නම් හොඳ යයි පොඩිහාමුදුරුවන්ට සිතෙයි. කතා කරනවානම් කතා කරන්න වෙන්නේ හැන්දෑවට පන්සලට ආ වෙලාවක ය. ඒත් ඒ සඳහා ඉඩකඩ හදා ගන්නේ කොහොමද? අගිදාත් එක්ක තනිපංගලමේ කතා කර කර ඉන්න එක එතරම් නුවණට හුරුත් නැත. එක දවසක් පැණි ආච්චි කිසියම් කතාවකදී අගිදා ගැන කිව්වේ “ඕකි සංගෙ නැති නැට්ටුක්කාරී නේ” යි කියා ය. මේ අල්ල පනල්ලේ නිස්කාරණ කතාවල් හදාගන්නට යාම නුවණට හුරු නැත. එහෙම වුණොත් වෙන්නේ ඉඳුරුවේ ආචාරියාට සිදුවුණු වැඩේම ය.

පසුගිය දවසක අගිදා ජැණ්ඩිපහට ඇඳ පැලඳගෙන හීන් ඇඳිරියේ භූමිතෙල් ගේන්න කන්ද උඩ කඩේට ගිහින් එන කොට චන්දරේ මුණගැහිලා. ඈ අහක බලා ගත්තලු. කොයි මොහොතේ හරි ආපහු තමා දිහා හැරී බලාවි යයි හිතාගෙන චන්දරේ විනාඩි දහ පහළොවක් විතර බලාගෙන හිටියත් ඈ අහක බලාගෙනම ගෙදර ගියාලු. චන්දරේට හොඳහැටි තරහ ගිහිං ගමටම ඇහෙන්න “බීඩී කකුල්” කියලා කෑ ගහලා. දැන් අගිදත් ඉන්නේ හරි තරහෙන්. අගිදත් නාහෙට අහන්නෙ නැති ළමිස්සි හින්ද පොඩිහාමුදුරුවනුත් බය නැතිව ඈත් එක්ක කතා කරන්න යයි. උන්වහන්සේට කීවේ ඇගේ පංතියේම ඉගෙන ගන්නා අනිත් එකියකි. නැත්නම් ඉරිදා දහම් පාසලේ දී ඒ සම්බන්ධීකරණය තමන් හදා දෙන බවට ඈ පොරොන්දු වූවා ය.

ගෑනුන් සමග කතාබහ කරන විට වයසින් බාල කෙනෙකු නම් “මේ මගේ නංගි කෙනෙක්” යයි ද වයසින් වැඩි මහලු නම් “මේ මගේ අක්කා” කෙනෙක් යයිද නැතිනම්”මේ මගේ අම්මා” යයිද සිතමින් ඔවුන් හා කතා කිරීම කළ යුතු බව බුදුහු භික්ෂූන් වහන්සේලාට දේශනා කළහ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ සිටින අවස්ථාවේ “භික්ෂූන්වහන්සේලා ස්ත්‍රීන් කෙරෙහි කෙසේ පිළිපැදිය යුතු දැයි ආනන්ද හිමියන් විමසූ පළමු අවස්ථාවේ දී උන්වහන්සේට පිළිතුරු ලැබුණේ “නොදකින් ආනන්ද” කියා ය. තමන් ඉක්මන් වී කල්පනා නොකොට කළ ක්‍රියාව නිසා දැන් තමන්වහන්සේට ගමේ කෙල්ලන්ගෙන් උදව් පදව් ඉල්ලන්නට සිදුවී තිබේ.

“මේක මට හොඳ පාඩමක්” යැයි තමන්ටම කියා ගත් පොඩිහාමුදුරුවෝ වම් අත මිට මොලවා හයියෙන් ටොක්කක් තම හිසට ඇන ගත්හ.