ඒකීය භූමියක බෙදුණු හදවත්

සමාජ ඒකාග්‍රතාවට එහෙමත් නැත්නම් සමාජ කණ්ඩායම් අතර සුහදත්වය රැකීමට මාධ්‍යවලට ඉටු කළ හැකි කාර්යභාරය කුමක්ද?

මේ මාතෘකාව ගැන සාරවත් කතාබහක් පසුගිය සතියෙ දවසක ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ පැවැත්වුණා. මේ හමුව සංවිධානය කළේ ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශයයි, ජී. අයි. ඉසෙඩ් කියන ජර්මානු සංවිධානයකුයි එකතු වෙලා.

කොළඹ කේන්ද්‍රීය හැම මාධ්‍ය ආයතනයකම වගේ නියෝජිතයන් මේ සාකච්ඡාවට සහභාගි වුණා. මේ කැඳවීමේ අරමුණ පැහැදිලි කරපු ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශයේ උපදේශිකාවක් වන දයානි පනාගොඩ පැවසුවේ අනාගතයේ දී සකස් කිරීමට බලාපොරොත්තු වෙන සමාජ ඒකාබද්ධතාව පිළිබඳ ජාතික ප්‍රතිපත්ති මාලාවට පූර්විකාවක් හැටියට මේ අදහස් විමසීම සංවිධානය කළාය කියලයි.

සාකච්ඡාවට සහභාගි වුණ මාධ්‍යවේදීන් කුඩා කණ්ඩායම් කීපයකට බෙදලා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දුන්නා.

මේ කණ්ඩායම් සාකච්ඡාවේ දී මතුවුණු යෝජනා මෙන්ම අදහසුත්, භෞතික වශයෙන් එක්සේසත් කරපු අපේ රටේ ජනතාව හදවත්වලිනුත් එක්කිරීමේ දී හුඟක් ප්‍රයෝජනවත් වෙනවා.

වගකීම් සහිත මාධ්‍යයක් විසින් අද වැනි කාලයක දී අනුගමනය කරන්න ඕනා ප්‍රතිපත්ති මොනවාද? මේ කාරණය ගැන හුඟක් අදහස් මතු වුණා. යුද්ධය පැවති කාලයේ දී අපේ හැම මාධ්‍යකම වගේ මාධ්‍යවේදීන් යුද බිමට ම ගිහින් එදිනෙදා ජයග්‍රහණ ජනතාවගේ ලොමු ඩැහැගන්නා විලසින් වාර්තා කරපු හැටි අපි දැක්කා. හමුදාවේ වගේ ම, භීතියෙන් ත්‍රස්ත වී හිටපු ජනතාවගේත් සිත් දිරිමත් කරන්න ඒ වාර්තාකරණය හුඟක් ප්‍රයෝජනවත් වුණු බව ඇත්තයි.

නමුත් යුද්ධය අවසන් වුණාට පසුව වසර තිහක යුද්ධයක් නිසා සමාජ දේහයේ ඇතිවුණු තුවාල සුවපත් කිරීමට අපේ ජනමාධ්‍ය එතරම් උනන්දුවක් දැක්වූවේ නැත්තේ මන්ද කියන ප්‍රශ්නය එතන දී මතු වුණා.

සමාජ ඒකාබද්ධතාව කියන්නේ වාර්ගික එකමුතුකම ගොඩනැඟීම විතරක් ද” මාධ්‍යවේදිනියක් ප්‍රශ්නයක් මතු කළා.

”අද හැම නාළිකාවකම වගේ විකාශය වන ජනප්‍රිය ටෙලිනාට්‍යවලින් ඇතැම් ජනවාර්ගිකයන් අවඥාවට ලක්කිරීමට අමතරව විවිධ ශාරීරික ඌනතාවලින් පෙළෙන අයත් අවමානයට ලක් කරනවා. මේකත් සමාජ ඒකාග්‍රතාවයට අවහිරයක්” ඇය තවදුරටත් පෙන්වා දුන්නා.

“වාර්තාකරණයේ දී ජාතිය, ආගම හෝ කුලය ඉස්මතු කර දැක්වීමත් සමහර මාධ්‍යවේදීන් කරන බරපතළ වරදක්. අද ජනමාධ්‍ය අතර ප්‍රවෘත්ති සඳහා ඇති වී තියෙන ලොකු තරගය නිසා තමන්ගෙ ප්‍රවෘත්තිය කැපී පෙනෙන්න මේ වගේ බාල ක්‍රමවේද යොදාගන්න එක සමාජ ඒකාබද්ධතාවයට හානියක්” ඉංග්‍රීසි පත්තරයක් නියෝජනය කළ නැගණියක් චෝදනා කළා.

“ඔබ පවසන කාරණයට උදාහරණ පෙන්වා දෙන්න පුළුවන් ද?” සංවිධායිකාව විමසා සිටියා.

“පුළුවන්. මම ළඟක දි දැක්කා පත්තරයක තියෙනවා “දෙමළ තරුණියකටත් ඒඩ්ස්” කියලා. ඒ වගේම “මුස්ලිම් ජාතික තරුණයෙක් කුඩුත් සමඟ කොටුවෙයි”, “දෙමළ තරුණයකුට, සිංහල කොස්තාපල් පහර දෙයි” මේ වගේ සිරස්තල සහිත වාර්තා තවමත් සමහර පත්තරවල පළවෙනවා.”

“අවුරුදු තිහක යුද්ධය නිමාවෙලා අවුරුදු තුනක් විතර ගතවෙලා තිබුණත් යුද්දෙන් ඉගෙන ගත්තු පාඩම් ගැන අපි අවධානය යොමු කරනවා හොඳටම මදි. ඔබලා පෙන්වා දීපු ඇතැම් වැරදි ඉතා පහසුවෙන් නිවැරදි කරගන්න පුළුවන් ඒවා. නමුත් පොඩි ප්‍රතිලාභයකට ලෝබවෙලා සමාජ සංහිඳියාවට හානි කරන අයට නම් සමාවක් දෙන්ඩ බැහැ නේද?” සභාවේ හිටපු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් එසේ කීවේ දොම්නස් සහගත හඬකින්.

“අපි දන්නවා පසුගිය කාලෙ මුළු ලෝකෙ පුරාම කතාබහට ලක්වුණු උගත් පාඩම් කොමිසමේ පෙන්වා දෙන සමහර ගැටලුත්, අවස්ථාවාදය, අන් අයගේ මත නොඉවසීම වගේ පහසුවෙන් නිවැරදි කරගන්න පුළුවන් දේවල් මත පැන නැඟුණු ඒවා. ප්‍රශ්නෙ තියෙන්නෙ අපි හැමදාම මේවා ගැන කතා කර කර ඉන්නවා මිසක් ඒවා නිවැරදි කරගන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීම නේද? “සම්බන්ධීකාරිකාව එහෙම කිව්වේ සමාලෝචනයකට මුලපුරමින්.

“මේක මාධ්‍යයට විතරක් කරන්න පුළුවන් වැඩක් නෙමේ. රටේ ජනතාවගේ පැත්තෙනුත් මැදිහත්වීමක් අවශ්‍ය වෙනවා.” ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා නැවත අවධාරණය කළා.

මේ සාකච්ඡාවට නිරීක්‍ෂකයෙක් හැටියට සහභාගි වුණු මට අන්තිමේ දී හිතුණෙ මේකයි. යුද්ධය පටන් ගන්න ඉස්සෙල්ලා, ඒ කියන්නෙ මීට අවුරුදු තිහ හතළිහකට කලින් අපේ සමාජයේ පොදු ජනකොටස් අතර අපූරු සංහිඳියාවක් තිබුණා. නගරයේ වේවා ඈත එපිට ගම් පියසක වේවා සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා සමඟියෙන්, සමාදානෙන් ජීවත් වුණා. සෝමදාසලා, තංගවේලුලා හා මොහොමඩ්ලා එකට වෙළ හෙළඳාම් කළා. ගොයිතැන් බත් කළා. එකම මංඩියේ ගෙවල් හදාගෙන හිටියා. ඉඳහිටලා ගැටුමක්, බහින්බස්වීමක් සිදු නොවුණා නෙමේ.

එහෙම ආරවුලක් ඇති වුණත් තුවක්කු, බෝම්බ ඉස්සර කරගෙන මිනී මරාගත්තේ නැහැ. සාකච්ඡාවෙන්, සම්මුතියෙන් තම තමන් අතරෙදිම සියලු ගැටලු නිරාකරණය කර ගත්තා.

ශ්‍රී ලංකාවේ ජන සමාජයට ආවේණික වෙලා තිබුණු මෙන්න මේ සමාජ සංවිධාන රටාව ආපහු මතු කරගන්න එක තමයි, සමාජ ඒකාග්‍රතාවට එහෙමත් නැත්නම් වාර්ගික සුහදත්වයට ආපහු පණ පොවන්න තියෙන ඵලදායකම ක්‍රමය කියලා මට නම් හිතෙන්නෙ.