බලු කපුටු දානයක්

පහුගිය ටිකේ දිගින් දිගටම අඹ ගහ යට පුංචි බුවාලාට එක එක චෝදනා එල්ලවුණා. ඉස්කෝලෙ අධ්‍යාපන කටයුතු හරි හැටි සිදු නොකිරීම, සෙල්ලම සඳහා වැඩි කාලයක් ගත කිරීම, වැඩිහිටියන් ගේ අවවාද අනුශාසනා පිළිබඳ කිසිදු තැකීමක් නොකිරීම ආදී බරපතළ ගණයේ චෝදනා ඒ අතර වුණා. මේ විදිහට තවදුරටත් ගියොත් අඹ ගහ යටට එන්නට වැඩිහිටියන්ගේ අවසරය නොලැබීම පවා සිද්ධවෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒක තමන්ගේ තත්ත්වය හා පැවැත්ම ආරක්ෂා කර ගැනීමට තර්ජනයක් බව ලොකු පුංචාට තේරුම් ගියා.

“රජකම වුණත් මොකටද පාලනය කරන්න උන් නැත්නම්” එහෙම හිතපු ලොකු පුංචා තත්ත්වය යහපත් අතට හරවා ගන්නට කළ යුත්තේ කුමක්දැයි කියලා දස අතේ කල්පනා කළා.

කොහෙදෝ ඈත රටක ලෙනින් කියලා අංකල් කෙනෙක් “කළ යුත්තේ කුමක්ද?” කියලා පොතක් ලියලා තිබුණු විත්තිය අප්පච්චි කීවා වගේ පුංචාට මතකයි. ඒත් එක්කම ලංකාවේ අංකල් කෙනෙක් “නොකළ යුත්තේ කුමක්ද? කියලා පොතකුත් ලියලා තිබුණා නොවේදැයි කහ පුංචා මතක් කළා. ඒත් ඒ පොත්වලවත් මේ ප්‍රශ්නෙට උත්තර ඇත්දැයි ඔහු හරි හැටි දැනගෙන හිටියේ නෑ. කහ පුංචා හැරුණු විට කවුරුවත්ම එහෙව් පොතක් ගැනවත් අහලා තිබුණේ නෑ. එදා අඹ ගහ යට හමුව කැ‍ඳෙව්වේ මෙහෙව් වාතාවරණයක් අවට නිර්මාණය වී තිබුණු අවස්ථාවකයි.

” දැන් අපි මොකද කරන්නේ..?” ලොකු පුංචා කතා බහ ආරම්භ කරමින් එදින රැස්වෙලා උන්නු හැම පුංචෙකුගෙම පාහේ මූණ දිහා මාරුවෙන් මාරුවට බලමින් ඇහුවා.

” අපි සෙල්ලමක් කරමු” සුදු පුංචා යෝජනා කළා.

“හැංගි මුත්තම තමයි මරු” කොළ පුංචාගේ අදහස වුණා.

” අද ගම හරහා දුවමු..දිවීම ශරීර සෞඛ්‍යයට ගොඩාක් හොඳයි කියලා.. ගිය සතියේ පංතියේදී පංතිභාර මැඩම් කීවා” මදටිය පැංචී මතක් කළා.

” උඹලා ඔක්කොම මඟුලක් කතා කරනවා. මං කියන්ගේ ඔය එක කෙහෙල්මලක් වත් නෙවෙයි. චිකේ..මෙහෙව් ‍මෝඩ රැළක් එක්කනේ මං ඉන්නේ..? ලොකු පුංචා ටිකක් කලකිරීමෙන් වගේ වටපිට බැලුවා.

කොතැන හරි මොකක් හරි වැරැද්දක් සිද්ධවෙලා ඇති වග ඔක්කෝටම තේරුණත් සිද්ධවී ඇත්තේ මොකක්ද කියලා නම් කාටවත් තේරුණේ නෑ. තත්ත්වය ගැන ටිකක් හරි අවබෝධයක් තියෙන්නේ කහ පුංචාට විතරයි. කහ පුංචා, ඉතා කිට්ටුවෙන්ම සුදු පුංචා ආශ්‍රය කිරීමත් ඒකට එක හේතුවක්. ඒ හින්දම කතාව වෙනත් පැත්තකට හැරෙන්න කලින් කහ පුංචා කට ඇරියා. උද්ගතවී ඇති තත්ත්වය පිළිබඳ කාරණා එකින් එක පැහැදිලි කිරීමෙන් පසු වඩාත්ම සැහැල්ලුවක් දැනුණේ ලොකු පුංචාටයි. තමන්ට පැහැදිලි කරන්නට අසීරු කාරණාවලදී කවදත් උදවුවට හිටියේ කහ පුංචා බව මතක්වූ නිසාම සුදු පුංචා , කහ පුංචාගේ පිටට තට්ටුවක් දමා තම ස්තූතිය පුද කළා.

” අයියෝ දැන්නෙ තේරුණේ. දෙන්නම්කො මරු අයිඩියා එකක්”

රතු පුංචා ඉදිරියට ආවා. හැමෝගෙම අවධානය ඔහු දෙසට යොමුවුණා.

” අපි ලෑස්ති කරමු..බලු කපුටු දානයක්” රතු පුංචා යෝජනා කළා. රතු පුංචා වගේ කෙනෙකුගෙන් එහෙව් යෝජනාවක් ආව එක ගැන ලොකු පුංචාට පුදුමයි. ඒත් එක්කම බයයි. මොකද ඒක පිටිපස්සෙ මොකක් හරි කුමන්ත්‍රණයක් තියෙන්නත් පුළුවන්. කොහොම වුණත් කාරණය වඩා පැහැදිලි කරන ලෙස ලොකු පුංචා, රතු පුංචාට අණ කළා.

“රටේ ප්‍රශ්න වැඩි වුණාම ලොකු ලොකු අය කරන්නෙ කොහේ හරි මළ ඉලව් රටක් එක්ක ක්‍රිකට් මැච් එකක් සංවිධානය කරන එක. දඹදිවින් ගෙනාව ධාතු පෙන්නන එක. කරන්න මොකුත්ම නැත්නම් අඩුම ගානේ ඊයේ කාපට් කරපු පාරට අද තාර දාන්නවත් පටන් ගන්නවා. එහෙව් එකේ ගමට කොඩි විනයක්, ශාපයක් කියලා කලින් ප්‍රචාරයක් ඇරලා ඊට පස්සේ බලු කපුටු දානයක් දුන්නම වැඩේ හරි යනවා කියලා ප්‍රචාරයක් ඇරලා වැඩේට බහිනවා. මුළු ගමම අපි එක්ක එකතුවෙනවා සත්තයි”

රතු පුංචාගේ අදහස කදිමට ගැළපෙන විත්තිය හැමෝම පිළිගත්තා. ලොකු පුංචාටත් සෑහෙන්න සතුටුයි. ඒත් ඉතිං වැඩේ ක්‍රියාත්මක කිරීමේදී මතුවිය හැකි ගැටලු ගැනත් කතා බහක් නැතිව බෑ.

” ඉතිං අපි කියන දේ ගම්මු අහයිද?” ලොකු පුංචා සැක මතු කළා.

” අපෝ අපි ශාප ගැන කියන්නේ නෑ. බලු කපුටු දානය සංවිධානය කරනවා විතරයි.” රතු පුංචා කීවා.

“එහෙම කොහොමද”

ආයෙමත් ප්‍රශ්නයක්.

” අපි ඉස්සරලාම ගෝන මස් ටිකකුයි රා මුට්ටියකුයි අරන් ගිහින් ගුරුන්නාන්සේ සීයා හම්බවෙනවා. විස්තරේ කියනවා. ඊට පස්සේ අඳුර වැටීගෙන එද්දී තනි පංගලමේ එන අපේම අක්කලා, නැන්දලා කීපදෙනෙක් ගස් වදුලු, පාලු තැන් කීපයකදී බය ගන්වනවා. ඒ අය ඇප නූලක් දාගන්න යන්නේ ගුරුන්නාන්සෙ ගාවට. එතකොට ගුරුන්නාන්සේ ශාපය ගැන කියලා විසඳුම හැටියට බලු කපුටු දානය ගැන කියනවා. අපි වැඩේ පටන් ගන්නවා. එච්චරයි.”

රතු පුංචා සැලසුමේ ඉතිරියත් පැහැදිලි කළා.

”ෂාහ් මරුනේ..ලොකු පුංචා, රතු පුංචාව බදාගෙන ඉම්බා.

“බලන් ගියාම රතු පුංචා ඉන්න ඕන මාත් එක්කනේ”

ලොකු පුංචා කීවා.

” අපි ඉතිං ඔහෙගෙ ළඟින් නොහිටියට ඉන්නව වගේම තමයි. ඔය කොහෙත් ලොකු පුංචලාට අයිඩියා දෙන්නේ රැඩිකල් රතු පුංචලාම තමයි. ඒක දෙගොල්ලම හරි හැටි දන්නෙ නෑ. දැන ගත්තත් නොදන්නා වගේ ඉන්නවා. එහෙම ඉන්න එක දෙගොල්ලන්ගෙම ඇඟට ගුණයි. ඒකයි”

රතු පුංචා ඉතිරි ටිකත් කියලා දැම්මා.