උපස්ථිතිවාදය සහ ගොගෑන්

ලොහාන් ගුණවීරගේ ‘ගොගෑන් සහ ඔහුගේ නිර්මාණ’ පොත කියෙව්වයින් පස්සේ ගොගූන් ගැනත් උපස්ථිතිවාදය ගැනත් යමක් ලියන්න ඕනෑය කියලා හිතුණා.

ඉව්ජිත් හෙන්රි පෝල් ගොගෑන් සැලකෙන්නේ (1848 - 1903) දහ නවවැනි සියවසේ ලොව බිහිවුණු වඩාත්ම විප්ලවකාරී පශ්චාත් උපස්ථිතිවාදී චිත්‍ර ශිල්පියා වශයෙන්.

ගොගෑන්ගේ පියා ක්ලෝවිස් ගොගෑන් රැඩිකල් පුවත්පත්කලාවේදියකු වුණු අතර මව ඇලින් පීරු රටේ සමාජවාදිනියක හා ස්ත්‍රීවාදිනියක වූ ෆ්ලෝරා ට්‍රයිස්ටන්ගේ මිණිබිරියක් වුණා. ඒ නිසාම ගොගෑන්්ගේ පවුල් පසුබිම බුද්ධිමයවූත් රැඩිකල්වූත් එකක් ලෙස හඳුනාගන්න පුළුවන්. ගොගෑන් උපන් සමාජ පසුබිම නැපෝලියන් විසින් ප්‍රචණ්ඩත්වය ඇති කරන ලද යුගයක් වුණු බැවින් ගොගෑන්ගේ පියා 1849 දී තම පවුල කැටුව ඇලින්ගේ නිජබිම වූ පීරු බලා පිටත් වුණා.

ගොගෑන් පවුල යළි ප්‍රංශය බලා ආවේ 1855 දී. 1873 දී ගොගෑන් විවාහ වුණා. ගොගෑන් උපස්ථිතිවාදීන්ගේ චිත්‍ර එකතු කරන්ටත් ප්‍රංශයේ ලූවර් නාකලා කෞතුගාකාරයට ගොස් පැරණි ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පීන්ගේ නිර්මාණ හදාරන්නටත් පටන් ගත්තා. කැමිල් පිසාණෝ නමැති ප්‍රිද්ධ උපස්ථිතිවාදී චිත්‍ර ශිල්පියා ඔහුට ඇසුරු කරන්ට ලැබුණේ එකල.

ගොගෑන්ද මුලින්ම උපස්ථිතිවාදියෙක්. ඇත්තටම මොකක්ද මේ උපස්ථිතිවාදය කියන්නේ? 19 වැනි සියවසේ යුරෝපීය චිත්‍ර කලාවේ කේන්ද්‍රස්ථානය වුණේ ප්‍රංශය. ප්‍රංශයේ රාජකීය චිත්‍ර හා මූර්ති කලා ඇකඩමිය ප්‍රංශ සම්භාව්‍ය චිත්‍ර කලාවේ මූලස්ථානය වී තිබුණා. එහි සැලෝනය චිත්‍ර ප්‍රදර්ශනය සංවිධානය කළා.

ඊට නිර්මාණ ඉදිරිපත් කළේ ඇකඩමියේ චිත්‍ර ශිල්පීන්. 1863 දී එඩ්වඩ් මොනෙට් නම් වූ චිත්‍ර ශිල්පියා ‘ඔලිම්පියො’ සහ ‘ද පික්නික්’ යන නමින් ඉදිරිපත් කළ චිත්‍ර දෙක සැලොනය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම නව චිත්‍ර කලා සම්ප්‍රදායක ආරම්භය සනිටුහන් කරන්නක්. එඩ්වඩ් මොනෙට් උපස්ථිතිවාදියෙක් නොවුණත් උපස්ථිතිවාදි චිත්‍ර කලාවක් බිහි කිරීමේ පසුබිම එයින් සැකසුණා යැයි කියන්න පුළුවන්. ශාස්ත්‍රාලයීය ආකෘතිවාදය මෙම චිත්‍ර දෙක මගින් පුපුරුවා හරිනු ලැබූ බවයි විචාරකයන් කියා සිටින්නේ.

සාම්ප්‍රදායික සැලොනය පිටුදැක්ක නව පරපුරේ චිත්‍ර ශිල්පීන් ඉන් පරිබාහිරව චිත්‍ර ප්‍රදර්ශන පවත්වන්න පටන් ගත්තා. 1874 ඔවුන් පවත්වපු පළමු චිත්‍ර ප්‍රදර්ශනය උපස්ථිතිවාදයේ ආරම්භය යි. මෙම චිත්‍ර ප්‍රදර්ශනයට ක්ලෝඩ් මොනේට් පියරේ ඔගස්ට් රෙනුවා (ප්‍රංශ සිනමාකරු ශාන් රෙනුමාගේ පියා) ඇල්ෆ්‍රඩ් සිස්ලි කැමිලි පියාරෝ එඩ්ගා ඩේගාස් පෝල් සෙසෑන් බෙතේ මොරිසට් යන චිත්‍ර ශිල්පීන් අයත් වුණා. විශේෂයෙන් ක්ලෝඩ් මොනෙට්ගේ ‘ඉම්ප්‍රෙෂන් සන් රයිස්’ උපස්ථිතිවාදයේ නියත ආරම්භය සනිටුහන් කරන්නක්.

1880 දී පැවැත්වුණු පස්වැනි චිත්‍ර ප්‍රදර්ශනයට ගොගෑනුත් චිත්‍ර කීපයක් ඉදිරිපත් කළා. එයට අත්වුණේ සාර්ථක රසික ප්‍රතිචාරයක්.

නව උපස්ථිතිවාදය, උපස්ථිතිවාදයේම වර්ධනීය අවස්ථාවක් යයි කියන්න පුළුවන්. ජෝර්ජස් සෙවුරට් එහි සමාරම්භකයා.

චිත්‍ර කලාවේ ඊළඟ අදියර වන්නේ පශ්චාත් උපස්ථිතිවාදය. පෝල් ගොගෑන්, වින්සන්ට් වැන්ගෝ, පෝල් සෙසෑන් තමයි එහි පුරෝගාමියෝ.

1885 දී ගොගෑන් තම පුතු ක්ලෝවිස් සමඟ පැරිසියට පැමිණියා. එහිදී ඔවුන්ට ගතකරන්න සිදුවුණේ ඉතාම දුංඛිත ජීවිතයක්. පුතා වසූරිය රෝගයට ගොදුරුව අනූනවයෙන් බේරුණා. ඔහු බිරියට මෙසේ ලියා යැව්වා.

“පුතා ගැන කේන්ති ගන්න එපා. ඔය වයසේ දරුවන්ට අඟහිඟකම් තේරෙන්නේ නැහැ. අඩු තරමින් එයාට බිත්තරේකුයි පාන් කෑල්ලකුයි දෙන්න පුළුවන් නම් ඒ හොඳටම ඇති”

පෝල් ගොගෑන්

ඔහු බිරියට යැවූ තවත් ලිපියක මෙසේ ලියා තිබුණා.

“මා අතේ සතයක්වත් නැත. අපි දවස් තුනක් තිස්සේ පාන් ණයට ඉල්ලා ගෙන කෑවෙමු”

ගොගෑන්ට වින්සන්ට් වැන්ගෝ මුණ ගැසීම ඔහුගේ ජීවිතයේ වැදගත් අවස්ථාවක්. දෙදෙනාම මිතුරන් බවට පත්වූවත් ඔවුනොවුන් අතර නොයෙක් පරස්පරතා තිබීමත් වැන්ගෝ ගොගෑන්ටත් වඩා අති සංවේදී හැඟීම්වලින් යුතු කලාකරුවකු වීමත් (කොටින්ම ඔහු තුළ කිසියම් ආකාරයක උන්මත්තක ස්වභාවයක් තිබීමත්) යන කරුණු හේතු කොට ගෙන ඔවුන්ගේ ජීවන රටාව අතිශය ගැටුම්කාරී එකක් බවට පත් වුණා.

දවසක් ගොගෑන් ඇවිදින්ට ගියා. ඒ අතරවාරයේ වැන්ගෝ ඔහු පසුපස ආවේ දැලි පිහියක්ද අතැතිව. ගොගෑන් පිටුපස හැරී බලන කොට වැන්ගෙන් ආපසු හැරී යන්ට ගියා. මේ සිද්ධියෙන් පසු ගොගෑන්ට වැන්ගෝ සමඟ විසීමට ඇතිවුණේ බියක්. ඔහු හෝටලයක නැවතීමට ගියා. මද වේලාවකට පසු ඔහුට කිසියම් ඝෝෂාවක් ඇසුණා. සිද්ධිය විපරම් කිරීමෙන් පසු ඔහුට දැන ගන්ට ලැබුණේ වැන්ගෝ තම වම් කන කපාගෙන ඇති බවයි. වැන්ගෝ තම කන්පෙත්ත ලේන්සුවක බහා ගණිකාවක් වෙත යවා තිබුණා. අධික ලෙස රුධිරය වහනය වීම හේතුවෙන් වැන්ගෝ රෝහල්ගත කෙරුණා.

1895 දී ගොගෑන් ටහිටි දුපත්වල ජීවත් වුණා. ‘වෙයාර් ඩූ වී කම් ෆ්‍රොම්? වට් ආ වී ? ආ වී ගොයින් ටූ” නම් වූ චිත්‍රය ඔහු ඇන්දේ එහි දී. මෙම චිත්‍රය ඇඳ නිම කිරීමෙන් පසු ගොගෑන් දිවි තොර ගැනීමට උත්සාහ ගත්තත් එය ව්‍යාර්ථ වුණා. ගොගෑන්ගේ චිත්‍ර අතරින් වඩාත් ජනප්‍රියව ඇති ‘ටු ටහිටියන් වි‍ෙමන්’ නම් වූ චිත්‍රය මේ වකවානුවට අයත් එකක්.

ගොගෑන්ගේ ජීවිතයේ අවසාන කාලය ගත වුණේ මාර්කීසස් දූපතේ. ඔහු එහිදී මිෂනාරී පල්ලියත් සමඟ නොයෙක් ගැටුම් ඇති කර ගත්තා. එහි ප්‍රතිවිපාක වශයෙන් ඔහුට සිර දඬුවම් විඳීමට පවා සිදු වුණා. 1903 මැයි 8 වැනි දින ගොගෑන් මිය ගියා.