දෙබරෙට ගල් ගැසූ අධ්‍යාපන ඇමැතිවරයාට

‘හරිම අසාධාරණ තීන්දුවක්’ මත්තේගොඩ බස් නැවතුම්පළේ දී මට අසන්නට ලැබුණු එම ප්‍රකාශය කරන ලද්දේ තම දරුවා ද සමඟ පිටකොටුව බසයක් පැමිණෙන තුරු බලා සිටි පියෙකි. දරුවාගේ සුරතෙහි සටහන් ලියන පොත් කිහිපයක් විය. හැඳ සිටියේ පාසල් ඇඳුම නොව සාමාන්‍ය ඇඳුමකි.

“ඒක ඇත්ත ළමයකුට ලකුණක් දෙකක් හරි වැඩි කරගන්න තියන අවස්ථායි නැති වන්නේ” ඔහු සමග කතා බහක යෙදී සිටි පුද්ගලයාගෙන් ලැබුණු ප්‍රතිචාරය එසේ විය. මේ කතාබහට කන්දෙමින් සිටි මා හට වැටහී ගියේ සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වීමට සතියකට පෙර උපකාරක පන්ති සහ අධ්‍යාපන සම්මන්ත්‍රණ යනාදිය නැවැත්වීමට අධ්‍යාපන ඇමැතිවරයා විසින් ගනු ලැබූ තීන්දුව ඔවුන්ට මාතෘකාව වී ඇති බව ය. දරුවන් ටියුශන් පන්තිවලට දක්කන සමහර මවුපියන් මේ තීන්දුවට එරෙහි වී සිටින බව පෙනේ.

එමෙන් ම ටියුශන් ගුරුවරු ද කලබල වූහ. ඔවුන් විසින් දක්වනු ලැබූ විවිධ අදහස් ද පුවත්පත් ඔස්සේ අපට දැක ගන්නට ලැබිණ. කරුණු පරීක්ෂා කර බලන විට පෙනී යනුයේ අධ්‍යාපන ඇමැතිවරයාගේ තීන්දුව ඉතාමත් සාධාරණ හා නිවැරදි එකක් වන බව ය. එහෙත් ඔහුගේ යෝජනාව අඩු පාඩු සහිත ය. එය සම්පූර්ණ කිරීම සඳහා මගේ යෝජනා ලිපිය අවසානයේ දී සඳහන් කිරීමට ඉඩ තබා ගනිමින් ඊට පුරෝකථනයක් සපයමි.

වර්තමානය වන විට අපේ රටේ අධ්‍යාපනය දරුණු පරිහානියකට ගොදුරු වී පවතී. එය ගුල්ලන් විසින් ඇතුළත හිස් කරන ලද පිටතින් සුදුවට හා පරිපූර්ණ ව පෙනෙන හිස් පාන් ගෙඩියක් වැන්න. මෙසේ සුන්නද්දූලි බවට පත් වෙමින් තිබෙනුයේ සී.ඩබ්.ඩබ්. කන්නන්ගරයන් විසින් මෙරටට හඳුන්වා දෙනු ලැබූ නිදහස් අධ්‍යාපනයයි. අපි නිදහස් අධ්‍යාපනයේ සුජාත පුත්‍රයෝ වෙමු. එසේ හෙයින් මේ පරිහානියේ බියකරු අවනතීන්හි දෝංකාරයෙන් අපගේ හදවත් සසල වීමේ නින්නාදය කිසි විටෙක වසන් කළ නොහැකි ය.

පාන් ගෙඩිය ගුල්ලන් විසින් හිස් කරනු ලැබීමට සමාන්තරව ටියුශන්කාරයෝ අධ්‍යාපනයේ මුරදේවතාවුන් බවට පත්ව සිටිති. බොහෝ ගුරුවරු ද ක්‍රමයට අනුගත වෙමින් ටියුශන්කාරයන්ට ම අවස්ථාව ලබා දී පාසලේ විෂය නිර්දේශය උඩින් පල්ලෙන් ළමයින්ට උගන්වති. ගුරුවරුන්ගෙන් සෑහෙන පිරිසක් ද පාසල් කාලයෙන් පසුව ඉතිරි වන කාලය ටියුශන් සඳහා වෙන් කරයි. දරුවන්ට ඉහළ ම ලකුණු ලබා දී උසස් අධ්‍යාපනයට යොමු කරවීම තම ඒකායන අරමුණ බැව් ටියුශන් කරන නොකරන පාසල් ගුරුවරු ද මවුපියෝ ද ටියුශන් පමණක් කරන ගුරවරු ද එක හඬින් කියා සිටිති.

මේ කොයි කාගේත් අරමුණ කුමක් වුවත් තරගකාරී අධ්‍යාපනයෙහි ප්‍රතිඵල ලෙස අහසනයෙන් අවිවේකයෙන් ලෙඩ දුක්වලින් සහ වියළී ගිය සංවේදීතාවන්ගෙන් යුත් සිසු පරපුරක් බිහිවෙමින් තිබෙනු පෙනේ. විදුහලෙන් පිටත තිබෙන තමන්ගේ ටියුශන් පන්තියට ළමයින් අද්දා ගැනීම සඳහා පාසල තුළ දී රණ්ඩුවට පැටලුන ඉංග්‍රීසි ගුරුවරියන් දෙදෙනකු පිළිබඳ නුගේගොඩ ප්‍රදේශයේ බාලිකා විදුහලකින් මට දැන ගන්නට ලැබිණ.

“ඔයාලා එළියෙන් ඉගෙන ගන්නවනේ. එනිසයි මම සමහර කරුණු කෙටියෙන් පැහැදිලි කරන්නේ”

මේ ප්‍රකාශය කරන ලද්දේ බොරැල්ල ප්‍රදේශයේ පිහිටි ඉහළම බෞද්ධ බාලිකා විදුහලක රසායන විද්‍යා ගුරුවරියක විසිනි. මාගේ වැඩිමහල් දියණිය ඒ පුවත මට කී සාක්ෂිකාරියයි. ආචාර්ය කන්නන්ගරයන් විසින් හඳුන්වා දෙන ලද නිදහස් අධ්‍යාපනයෙහි පස් වැදෑරුම් අරමුණු ‘සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු’ ඊනියා පංච මහා බලවේගයට වඩා අර්ථවත් දැක්මකින් යුක්ත විය. නිදහස් අධ්‍යාපන පනත ක්‍රියාත්මක වූයේ ද බොහෝ ඝෝෂා මධ්‍යයේ ය. මේ ඝෝෂාව ‘ජනඝෝෂාව‘ ට වඩා බලගතු එකක් වූයේ ය. එහෙත් පනත ක්‍රියාත්මක විමේ දී එහි අගය සමාජයට දැනෙන්නට විය. එක් නිදසුනක් දක්වමි.

රට පුරා රජයේ පාසල් ආරම්භ කරමින් ඉගැන්වීම ආරම්භ කරන ලද්දේ අතිමහත් දුෂ්කරතා මධ්‍යයේ ය. ‘අවිද්‍යාවෙන් අත්මිදීම’ නිදහස් අධ්‍යාපනයේ හරය විය. දරුවන්ට නව දැනුම ලබාදීමේ දී මතුවූ එක් අභියෝගයක් වූයේ මවුපියන්ගේ නූගත්කම සහ මිථ්‍යා අදහස් වෙනස් කිරීම ය. මේ නිසා වැඩිහිටියන්ට ඉගැන්වීම සඳහා රාත්‍රි පන්ති ආරම්භ කරන ලදී.

දිවා කල පාසලේ දරුවන්ට අකුරු ඉගැන්වූ ගුරුවරු රාත්‍රි කල කොප්පර විලක්කු ආලෝකයෙන් හෝ ලන්තෑරුම් එළියේ ආධාරයෙන් ස්වේච්ඡාවෙන් ම වැඩිහිටියන්ට ඉගැන්වූහ. මේ ගුරුවරු ද බොහෝ විට දුර බැහැරින් පැමිණි අය වූහ. කිසිදු ප්‍රතිලාභයකින් තොරව මදුරුවන් තලමින් අපරිමිත වූ දුක් පිරිපත විඳිමින් ඔවුන් කළ කැපවීමෙහි ප්‍රතිඵල රට තුළ විශාල සමාජ සංස්කෘතික විප්ලවයකට මඟ පෑදුවේ ය. එහෙත් එය සම්පූර්ණ වන්නට පෙර කාබාසිනියා කරන ලද්දේ දේශපාලන බලවේග විසිනි.

ටියුශන් අධ්‍යාපනය යනු නිදහස් අධ්‍යාපනයේ දැවැන්ත විකෘතියකි. කන්නන්ගරයන්ගේ උදාර අරමුණ කළුකඩකාරයන් විසින් කොල්ල කනු ලැබ ඇති ටියුශන්කාරයන්ට අමතරව ශාස්ත්‍ර කියන්නෝ ද පේන කාරයෝ ද ධනාත්මක චින්තන වෙළෙන්දෝ ද සිසු දරුවන්ගේ පිවිතුරු මනස්වලට ඉහඳ තබති.

විභාගාසන්නයේ මොවූහු විවිධ සළු පිළියෙන් සැරසී කරළියට එති. ජන (ජඩ) මාධ්‍යය ද මොවුන්ගේ අදහස් රට පුරා ව්‍යාප්ත කිරීමට පේවී සිටිනු පෙනේ. ප්‍රකට ටියුශන් ගුරුවරයකු වූ අධ්‍යාපන ඇමැතිවරයා අපටත් වඩා හොඳින් මේ තත්ත්වය වටහාගෙන සිටින බව දැන් දැන් වැටහේ. එනිසා විභාගාසන්නයේදීවත් දරුවන් ගසා කන මාරයන්ට වැට බැඳීම සඳහා ඔහු ගත් තීන්දුවට මම ගරු කරමි. එයින් නොනැවතී පහත සඳහන් යෝජනා ගැන ද සැලකිලිමත් වන්නැයි ඔහුට අදරින් කියමි.

1. ටියුශන් කිරීම පාසල් ගුරුවරුන්ට තහනම් කළ යුතු ය

2. දරුවන්ට ඉගැන්වීම සඳහා ඔවුන්ට දී ඇති කාලයේ අමතර කාලය පූර්ව සූදානම සඳහා වන හෙයින් පාසල් පරීක්ෂකවරුන්ගේ ක්‍රියාවලිය විධිමත් කර දුර්වල ගුරුවරුන් සක්‍රීය ගුරුවරුන් බවට පත්කිරීම ආරම්භ කළ යුතු ය

3. ගුරුවරුන්ගේ වෘත්තිය මට්ටම ඉහළ නැංවීම සඳහා උසස්වීම් පටිපාටිය සහ ස්ථාන මාරුවීම් යනාදිය දේශපාලන බලපෑම්වලින් නිදහස් කළ යුතු ය

4. ඔවුන්ගේ වැටුප් විෂමතා ඉවත් කළ යුතු ය

5. විෂය නිර්දේශය මීට වඩා අර්ථවත් කළ යුතු ය

6. ටියුශන් අධ්‍යාපනයේ ප්‍රමිතිකරණය සඳහා තිබෙන නීති ප්‍රමාණවත් නොවන හෙයින් නව නීති පනවා සුදුසුකම් සපුරා නැති ටියුශන් ගුරුවරුන් එලවා දැමිය යුතු ය

7. මෙසේ පාසල් අධ්‍යාපනය ගුණාත්මකව ඉහළ නැංවීම සඳහා සම්පත් බෙදී යෑමේ විෂමතාව ද තුනී කර නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරමින් ටියුශන් පිළිලයෙන් රට නිදහස් කර ගත යුතු ය.