බෝල සංගමය

අඹ ගහ යටට එකතු වුණු පුංචි බුවාලාට ‍ අලුත් ප්‍රශ්නයක් ඇවිත්. ඇත්තම කියනවානම් ප්‍රශ්නය පරණයි. ඒ දවස්වල කතා බහට තිබිච්චි ගොඩාක් දේවල්

කතා කරලම එපාවෙලා තිබුණු නිසාත්, සමහර ප්‍රශ්න කතා කරන්න කලින් ම විසඳිලා තිබුණු නිසාත් පරණ ප්‍රශ්නයක් අලුත් මුහුණුවරකින් ආයෙම ඇවිත්. සෙල්ලම් කරන්න සල්ලි එකතු කරලා මිලදී ගත්තු බෝල ටිකට මොකද වෙන්නේ?

ඒ එකකටවත් සිදුවුණු දේ ගැන තාමත් හොයාගන්න බෑ.

” ඉතිං අදට සෙල්ලම් කරන්නවත් බෝලයක් නැද්ද?” සුදු පුංචා ඇහුවා.

“තියෙනව නම් ප්‍රශ්නයක් වෙනවද? අපි දැනටමත් සෙල්ලම් කර කර ඉන්නවානේ? කොළ පුංචාත් කේන්තියෙන් වගේ කියලා දැම්මා.

හැමෝම සිද්ධවෙලා තියෙන අලකලංචිය ගැන කතා කළත් ඇත්තටම වෙලා තියෙන්නෙ මොකක්ද කියලානම් කවුරුවත් දැනගෙන හිටියේ නෑ. නිල් පුංචාගේ පැත්තෙන් යෝජනාවක් ආවා.

“අපි, බෝල ආරක්ෂා කරන්නන්ගේ සංගමය” කියලා සංවිධානයක් පිහිටුවා ගමු. ඊට පස්සේ “බෝල ටිකට මොකද වුණේ?” කියන ප්‍රශ්නයට සාමූහිකව උත්තර හොයමු.” නිල් පුංචා කීවා.

“ඉතිං අපි කවුරුවත් දන්නෙ නෑනෙ මොකද වුණේ? කියලා.

“ඉතිං?”

“ඉතිං සංගම් පිහිටෙව්වට විසඳුමක් වෙන්නෙ කොහොමද? සුදු පුංචා දිගටම ප්‍රශ්න කළා.

” අයියෝ සුදූ ඔයා දන්නෙ නැද්ද අර වටු කුරුල්ලන්ගේ කතන්දරේ. ඉස්කෝලෙ ටීචර් සමගියේ අගය කියල දෙන්න මාසයක් ගානේ කියන කතන්දරේ? මදටිය පුංචා ඇහුවා.

“ඔව් මතකයි. ඉතිං?”

” අයියෝ ඒකවත් තේරෙන්නේ නෑනේ. තනි තනිව පොදු ප්‍රශ්නෙකට උත්තර හොයනවට වඩා කට්ටියම සහයෝගයෙන් උත්තර හොයන්න ගත්තහම වැඩේ ලේසියි. ඒකටයි සංගමයක් ඕන වෙන්නේ?”

මදටිය පුංචාගේ තේරුම්කිරීම, තමන්ට සෑහීමකට පත්වෙන්න තරම් හේතුවක් නොවුණත් අන්තිමේ දී හැමෝගෙම බලකිරීම මත සුදු පුංචත්, බෝල ආරක්ෂා කරන්නන්ගේ සංගමයට බැඳුණා. කට්ටියම එකතු වෙලා සංගමයේ නිලධාරී මඩුල්ල තෝරා ගත්තා. සුදු පුංචාටත් සංගමයේ සහකාර ලේකම් ධූරයක් ලැබුණා.

ප්‍රධාන පෙළේ නිලධාරීන් සියල්ලම පාහේ තෝරා බේරාගෙන යෝජනා සම්මත කරගෙන ඉවරවෙනවාත් සමඟම ලොකු පුංචා ආවා. තමන් කරමින් සිටියේ මොකක්ද කියන කාරණය ගැන ලොකු පුංචා හරියටම දැනුවත් නොකළ කහ පුංචා “බෝල නැතිවීමේ ප්‍රශ්නය ගැන කට්ටියම අවධානය යොමු කරලා ඇති වග” විතරක් ලොකු පුංචාට සැලකර හිටියා.

” ඇත්තම කියනවානම් මේ ප්‍රශ්නෙ මේ වෙද්දි අර්බුදයක් වෙලා තියෙන්නේ. මං මේ ගැන හොයල වාර්තාවක් දෙන්න කියලා කමිටුවක් පත් කරනවා. ඒක හොඳයි නේද?” ලොකු පුංචා හැමෝගෙම මුහුණු බැලුවා.

“හොඳා...යි” හැමෝම එක හඬින් කීවා.

” ඒ අනුව සුදු පුංචා, කහ පුංචාගේ සභාපතිත්වයෙන් යුතු “බෝල ආරක්ෂක‍ තේරීම් කාරක සභා කමිටුව නම් කළා. ‘බෝල ආරක්ෂා කරන්නන්ගේ සංගමයේ “ උප භාණ්ඩාගාරික වී සිටි කහ පුංචා, ලොකු පුංචා විසින් නම් කරනු ලැබූ “තේරීම් කාරක සභා කමිටුවේ සභාපති වුණා. සුදු පුංචාටත් උප ලේකම් ධූරයක් ලැබුණා. ලොකු පුංචා හදිසි වැඩකට යා යුතු බව පවසමින් කල්තියාම යන්න ගියා. ඉතිරි කට්ටිය සංගමයක හා කමිටුවක අලුත් තනතුරුත් එක්ක ටික වේලාවක් සතුටු සාමීචියේ යෙදී සිටිය දී රතු පුංචා ආවා.

” ඔය එක කෙහෙල්මලකින්වත් බෝල ප්‍රශ්නෙට උත්තර හම්බ වෙන්නේ නෑ. උඹලා ඔක්කොම රැවටිලා.” රතු පුංචා කෑ ගැහුවා.

“මේකට දීර්ඝ කාලීන වැඩපිළිවෙළකින් යුතු බහුජන ව්‍යාපාරයක් අවශ්‍යයි.” රතු පුංචා පැහැදිලි කළා.

“ඉතිං ඒකට මොකද කරන්නේ? සුදු පුංචා ළඟට කිට්ටුවී ඇහුවා.

” අන්තර් බෝල ආරක්ෂක සමිති සන්ධානය හදන්න ඕන. ඒකෙ සභාපති මම. ලේකම් තැඹිලි පුංචා. භාණ්ඩාගාරික දම් පැංචී. අනිත් අයට ඉතිරි තනතුරු හා සාමාජිකත්වය ලබා ගන්න පුළුවන්.” රතු පුංචා පැහැදිලි කළා. සුදු පුංචා ඒකටත් බැඳුණා. “අන්තර් බෝල ආරක්ෂක සමිති සන්ධානයෙ උප සභාපතිත්වය සුදු පුංචාට ලැබුණා. දැන් බෝල ආරක්ෂා කරන්න කමිටු හා සංවිධාන 3 යි. ඒ හැම එකකම හැම කෙනෙක්ම සාමාජිකයෙක් හෝ තනතුරක් හොබවන්නෙක්. හවස් වෙලා ගෙදර යද්දී හැමෝටම සතුටුයි.

01.බෝල ආරක්ෂා කරන්නන්ගේ සංගමය.

02.බෝල ආරක්ෂක‍ තේරීම් කාරක සභා කමිටුව.

03.අන්තර් බෝල ආරක්ෂක සමිති සන්ධානය.

මොන තරම් ලස්සන බෝඩ් ලෑලි 3 ක්ද? මේ ගැන හිත හිතා ගෙදර යද්දී සූත්තර පුංචා, රතු පුංචාගෙන් ඇහුවා.

“එහෙම වෙන්නේ ඇයි?”

“අයියෝ ඔහොම අහන්න එපා. එහෙම වෙන්නෙ ඇයි?” කියල ඇහුවම ජිප්සීස් සුනිල් අංකල්ටත් බඩකට පුරාවට කන්න හම්බවුණා.”

රතු පුංචා තොල් දෙක ගාවට දබරැඟිල්ල ළං කරලා උත්තර දුන්නා.