සින්දුවෙන් ම එලොව ගිය මහවන්නියා

සිංහල රජවරු වෙනත් රාජධානි ගොඩනඟා ගැනීමත් සමඟ ම රජරට ශිෂ්ටාචාරය බිඳ වැටුණි.මේ අනුව වනයෙන් වටව හුදකලාවූ නුවරකලාවියේ බලශූන්‍යතාව පුරවන ලද්දේ වන්නියා නමින් වූ පෙදෙස් ප්‍රධානියා විසිනි. කඩවත්වලදී ලුණු කරෝල ආදිය ගෙන යන ගැල් සාත්තුවලින් හා වෙළෙන්දන්ගෙන් බදු අයකර ගැනීම ද වන්නියා විසින් කරන ලදී.

මහවන්නියා නොහොත් මහවන්නි උන්නැහේ වනගතව පැවති වැව් බැඳි රාජ්ජයේ නුවර කලාවිය පෙදෙස් බාරව සිටි මහත් බලපරාක්‍රමයක් පතළ කළ අධිපතියා විය. නුවර වැව වන්නියා යනුවෙන් හැඳින්වූයේ ද මහවන්නියාම ය. නුවර වැව වන්නියාගේ පරපුරට ඉතා ඈතට දිවයන ඉතිහාසයක් ඇත.

බෝධි වංශයට අනුව ශ්‍රී මහා බෝධිය අනුරාධපුරයේ රෝපණය කර එය ආරක්ෂා කිරීමේ වගකීම බාරකර ඇත්තේ බෝධි ගුප්ත කුමාරයාට සහ ඔහු සමඟ පැමිණි පිරිසට ය. බෝධීන් වහන්සේ ආරක්ෂා කිරීමට හා පුද පූජා පැවැත්වීමට පහසුවන පරිදි මෙම පිරිස අනුරාධපුරය අවට ගම්බිම්වල පදිංචි කළ බවක් ද පැවසේ. මහවන්නියා ඇතුළු නුවර වැව පවුලට අයත් සාමාජිකයෝ මෙම බෝධි ගුප්ත කුමාරයාගෙන් පැවත එන්නෝ ය. මහවන්නි උන්නැහේට එසේත් නැත්නම් අනුරාධපුර වන්නියාට ශ්‍රී මහා බෝධිය ආරක්ෂා කර ගැනීම සඳහා වූ විශේෂ අයිතිවාසිකමක් ද පැවැතුණි.

මහවන්නියා පිළිබඳ තොරතුරු බටහිර මූලාශ්‍රවලට අනුව මුලින් ම සඳහන් වන්නේ රොබට් නොක්ස්ගේ එදා හෙළදිව කෘතියේ ය. ඔහු සඳහන් කරන්නේ තමා නුවරකලාවිය හරහා අරිප්පුව බලා පැනයන අතරතුර නුවවල වන්නි උන්නැහේ ඔහුගේ වලව්වේ දී (නුවරවැව වලව්වේ දී) තමාට ආගන්තුක සත්කාර කළ බවකි. නුවර වැව වලව්ව නුවර වැව අසල පිහිටා තිබූ නිවහනකි.

ශ්‍රී වික්‍රම රාජසිංහ

මහනුවර යුගය වන විට නුවරකලාවිය කන්ද උඩරට රජු යටතේ පැවැතිය ද නුවරවැව වන්නියා වනයෙන් වටව හුදකලාව පැවති මෙම පෙදෙස තුළ තම ස්වාධිපත්‍ය යම්තාක් දුරකට තහවුරුකරගත් බව පෙනී යයි. චූලවංශයට අනුව නරේන්ද්‍රසිංහ රජතුමා (1707 – 1739) මෙන් ම ශ්‍රී විජය රාජසිංහ (1739 – 1747) රජතුමා ද ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගැනීමට අනුරාධපුරයට ගිය අවස්ථාවල දී මෙම රජවරුන්ට අවශ්‍ය පහසුකම් සපයා ඇත්තේ ද මහවන්නියා විසිනි.

ඉතිහාසයේ තවත් අවස්ථාවක රාජාධි රාජසිංහ රජතුමා 1793 දී නුවර වැව සූරිය කුමාර වන්නිසිංහ මුදලිට තඹ සන්නසක් ප්‍රදානය කළ බව සඳහන් වෙයි.

නුවරවැව පවුල හා මහවන්නියා පිළිබඳ අපූර්ව තොරතුරු රැසක් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ කාල සීමාව තුළ (1798 – 1815) දැක ගත හැකි ය.

මෙතෙක් මා මහවන්නියාට හා නුවරවැව පරපුරට සම්බන්ධ ඓතිහාසික කරුණු කීපයක් සඳහන් කළේ ප්‍රේමයෙන් අනතුරුව විනාශය ළඟාකරගත් මහවන්නියාගේ ප්‍රේමකතාවක වර්ණනීය අවස්ථාවක් පාඨකයාට ඉදිරිපත් කිරීම සඳහා ය. මෙයට ශ්‍රී වික්‍රම රාජසිංහ මහනුවර අවසන් රජු ද සම්බන්ධවෙයි.

ප්‍රේම කතාවේ දුෂ්ටයා බවට පත්වන්නේ මහ රජු ද නොඑසේ නම් මහවන්නියා ද යන්න තීරණය කිරීම පාඨකයාට පවරමි.

බිසෝවරුන් දකුණු ඉන්දියාවේ මදුරා තාන්ජෝර් හා වයිසර් යන ප්‍රදේශවලින් ගෙන්වා ගැනීම පස්ක-ම් සැපෙහි ලොල් වූ මහනුවර රජුන්ගේ සිරිත විය. මේ අනුව යමින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ද තමන්ගේ බිසෝවුන් ලෙස තෝරා ගැනීමට කුමාරිකාවන් ගෙන්වා ගැනීමට මදුරාවට දූතයන් යැවී ය. මේ අනුව කුමාරිකාවන් හතර දෙනෙකු ගෙන්වා ගෙන ඇත. මෙසේ ගෙන්වා ගත් කුමාරියන්ගෙන් එක් කුමරියක් ආපසු මදුරාවට යැවීමට රජු තීරණය කළේ ය.

මෙම කුමාරියගේ කේන්දරය අනුව රජුට අපලවිය හැකි යැයි නක්ෂත්‍රකරුවන් පළ කළ මතය නිසා මෙය මෙසේ සිදු විය. මෙම කුමාරිය ආපසු මදුරා පුරය බලා යැවෙන ගමන් මාර්ගය වැටී තිබුණේ මහ වන්නියාගේ බල ප්‍රදේශය වන නුවර කලාවිය හරහා ය. ඇය නුවරකලාවිය හරහා යන අතරමග දී නුවරවැව මුදියන්සේ නොහොත් නුවරවැව සූරියකුමාර වන්නිසිංහ මුදලිගේ නෙත සිත ස්ත්‍රී ලාවණ්‍යයෙන් අනූන වූ ඇයවෙත ඇදී ගියේ ය.

කුමරිය අරබයා පිළිබඳ සිත් ඇතිකරගත් මහවන්නියා තුළ ඇය නිසා අනුරාග සිතිවිලි උපණ. රාජ කුමාරිය තම බිරිඳ කර ගැනීමට තීරණය කළ මහවන්නියා ඇය තමාවෙත රඳවා ගනිමින් ඇය කැටුව පැමිණි රාජ පුරුෂයන් ආපසු හරවා යැවී ය. තමන් වෙත පැවරූ රාජකාරිය හරිහැටි ඉටුනොකිරීම නිසා රාජ උදහසට පත්වේ යැයි බියට පත් රාජපුරුෂයෝ මෙපුවන වහා ගොස් රජුට සැලකළහ.

සිංහල රාජාවලියේ ශ්‍රී වික්‍රමරාජසිංහ චරිතය කිසියම් විශේෂත්වයක් දැකිය හැකි චරිතයකි. මෙම චරිතය ගැන ගැඹුරු පර්යේෂණයක යෙදෙන්නෙකුට මූලාශ්‍ර රාශියක් ඔස්සේ ඔහු ගැන සොයාබැලීමට අවස්ථාව සැලසෙයි. හදිසි තීරණවලට එළඹීම, ක්ෂණික කෝපය, සියල්ලන් කෙරෙහි මතු කර ගන්නා අවිශ්වාසය, අධිමානය ශ්‍රී වික්‍රම රාජසිංහ චරිතයේ වෙසෙසි ලක්ෂණ ලෙස මතු වී පෙනේ.

තම කුමරිය මහවන්නියා පියඹ කරගත් පුවත ඇසූ සැණින් රජු ගත් ක්‍රියා පිළිවෙත හා උදහස රාජසිංහ චරිතය මනාව පෙන්නුම් කරන්නකි.

රජතුමා මෙහි දී කර ඇත්තේ චූදිතයාට දඬුවම් කිරීමට තමාම කඩුව අතට ගැනීමකි. ජනවාදයට අනුව සන්නාසියෙකු සේ වෙස්වලාගත් රජතුමා නුවර කලාවිය දක්වා පැමිණ නුවර වැව මුදියන්සේගේ වලව්ව දෙසට ගමන් කරන්නට විය.

අතගත් උඩැක්කිය හඬවමින් නුවරවැවේ වෑකණ්ඩිය මත්තෙන් උදෑසන ම ගමන් කරන සන්නාසියා දෙසට නුවරුන්ගේ අවධානය යොමු විය. සන්නාසියා ඈතක සිට හඬවන උඩැක්කි හඬ ඇසී අවදි වූ කුමරිය ද කුහුල් සිතින් එයට සවන්දී සිටින්නී ය. සන්නාසියාගේ ගමන නුවරවැව අද්දර විසල් තුරුසෙවණක් යට දී නතර විය. පෙදෙස් බඳ ගම්දරුවන්ගේ හා ගැමියන්ගේ එක් රැස්වීමක් සමඟ නුවර වැව ඉස්මත්තේ රඟමඩලක් මැවිණ.

සන්නාසියාගේ රැගුම් නැරඹීමට මහවන්නියා සහ පියඹ වූ කුමරිය ද පැමිණ අසුන් ගත්හ. සන්නාසියාගේ නැටුම් මෙන් ම අලුත ගෙනා කුමාරිහාමියක බවට පත් කුමරිය ද දුටුවන් නෙත් සිත් ඇදගනු ලැබී ය. උඩැක්කිය නද කරමින් ගැමි රඟ මඩල වටා වටයක් නටමින් යන සන්නාසියා අතගත් කඩුව ද ලෙලවමින් උඩැක්කි තාලයට අනුව ම ගී සින්දු ගායනයක ද යෙදෙයි. සින්දුවේ මධුරත්වයක් ප්‍රබෝධමත් වන වන්නියා ප්‍රියාව කෙරෙහි ඇති කාමරාගය නිසා ඇගේ මුහුණ දෙස වරින් වර බලයි.

වන්නියා ඇය තව තවත් තමා වෙත ලන්කර ගැනීමට සූදානම් වෙයි. කාමාග්නියෙන් දැවෙන වල්ලභයාගේ ආශාවට අවනත නොවූ කුමරිය ලැජ්ජාව නිසා උපන් මද සිනාවක් පාන්නී ය. තම බිසවුන් කර ගැනීමට කැන්දන් ආ කුමරියගේ අන්‍ය සංගමය දැකීමෙන් රජු තව තවත් කෝපයට පත්වෙයි. රංග භූමිය වටා යන නැටුමේ ගමන් තාලය වැඩිකරන සන්නාසි වෙස්ගත් රජු සින්දුවේ ගායන රිද්මය ද ඒ අනුව වෙනස් කරයි.

රජු අපූරු ප්‍රතිභා ශක්තියෙන් හෙබි කවීන්ද්‍රයෙකු බව පෙන්වන්නේ මෙහිදී ය. කෝපාවිෂ්ට සන්නාසියා භීම වික්‍රමයක් පදමට සැරසෙන බව නරඹන්නන් කීප දෙනෙක් හෝ දැනගත් බවක් ඔවුන්ගේ මුහුණේ ඉරියච්වලින් පිළිබිඹු වෙයි. එසේ වුව ද ප්‍රේමයෙන් මත් වූ මහවන්නියාට සන්නාසි වෙස්ගත් රජු කියන සින්දුව නොතේරෙයි. මහ වන්නියාගේ ඉරණම රජු අවසාන සින්දුවෙන් ප්‍රකාශකරයි. සිංදුවේ අවසාන පදය කියවෙනවාත් සමඟ රජු තම අත ලෙලදුන් කඩුවෙන් මහ වන්නියාගේ ගෙල සිඳලනු ලැබී ය. මහ වන්නියාට සිදුවූයේ සින්දුවෙන් ම එලොව යාමට ය. අහෝ ඒ කුමරියට මේ විපතින් පසු කුමක් වූවාදැයි නොදනිමු.

නිරායුධව සිටි වන්නියාගේ ගෙල කඩුවෙන් සිඳලීම රජු විසින්ම කරන ලද්දකි. රජු ගහලයාගේ තත්ත්වයට පත්වීම කෙතෙක් දුරට රටේ නීතියට සම්ප්‍රදායට හා සදාචාරයට ගැළපෙන්නේ ද යන්න ගැනත් විමසිලිමත් විය යුතු ය. රජු මෙම උපක්‍රමශීලී කටයුත්ත තමා විසින් ම කිරීමට පෙලඹී ඇත්තේ මහවන්නියා පිළිබඳ හා නුවරකලාවිය තුළ මහවන්නියාට පැවති බලය පිළිබඳ අත්දැකීමෙන් විය හැකි ය. රොබට් නෝක්ස් වැනි රජුගේ සිරකරුවෙකුට රටින් පැනයාමට අනුග්‍රහය ලබාදීමත්, රාජ කුමරිය, තම පියඹකර ගැනීමත් මහවන්නියාගේ දඩබ්බරකම් පෙන්වන අවස්ථා දෙකකි.

මහවන්නියා නිරායුධව සිටියේ තම ප්‍රදේශය තුළ තිබූ 'ජන සහය' යන බලය නිසා ය. මැරුම් කෑ නමුදු මහවන්නියා රජෙකු නැටවීමට තරම් සමතෙකු වූ බව මෙම සිද්ධියෙන් පැහැදිලි වෙයි. මහ වන්නියා පිළිබඳ ඓතිහාසික මූලාශ්‍ර ඇතුළත් මෙම ලිපිය ලිවීමට මා පෙලඹවූයේ කාලාන්තරයක් තිස්සේ මා මිත්‍රයෙකු වන ආචාර්ය සරත් වික්‍රමනායක මහත්මායි. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී කලකට පසු ඔහු මට නොබෝදා හමු විය.

කලකට ඉහත ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලේඛනාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධූරය හෙබවූ වික්‍රමනායක මහතා දැනට වසර 15කට පමණ පෙර මහවන්නියා ගැන රසවත් තොරතුරු නිතර නිතර මා සමඟ පැවසී ය. මෙල්බර්න් නුවර මෙම මල්බර වසන්ත සමයේ ඔහු හමුවීමේ දී නුවර වැව මහවන්නියා පිළිබඳ මතකය අලුත් කර ගැනීමට හැකි විය. ආචාර්ය සරත් වික්‍රමනායක බුලන්කුලම සහ නුවරවැව පවුල් ඉතිහාසය - ඓතිහාසික ලේඛනවලින් ශ්‍රී මහා බෝධියේ ඉතිහාසය පිළිබඳව ගැඹුරු පර්යේෂණයක් කර ඇති විද්වතෙකි.

මෙම පර්යේෂණ තොරතුරු ජාතියට ලබාගැනීම වැදගත්වේ යැයි සිතමි. මෙම ලිපියට අදාළ මූලාශ්‍ර සේවනයේ දී වික්‍රමනායක මහතාගේ සහය මට ලැබුණි. මහාවංශය හා ථූපවංශය වැනි ග්‍රන්ථ ඩැන්ඩිනෝන් පුස්තකාලයෙන් ලබාගැනීමට (ඕස්ට්‍රේලියාවේ දී) හැකි වීම ලිපිය මේ අයුරින් මෙල්බර්න් සිට ලියා එවීමට ලද පිටිවහලක් විය.

නුවරවැව වන්නියාගේ හා ශ්‍රී වික්‍රමරාජසිංහ රජුගේ කතාව ජනප්‍රවාදයේ එන්නකි. කෙසේ වෙතත් මෙම ජනප්‍රවාදය බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ඒජන්තවරයාව සිටි අයිවර්ස් (Ievers) තම රාජකාරි අත්පොතේ සඳහන් කරයි. මෙවැනි කතන්දරයක් අයිවර්ස් සිය රාජකාරිමය අත්පොතට ඇතුළත් කරන්නට ඇත්තේ එදවස පැරැන්නන් අතර මෙම ජනප්‍රවාදය මුල්බැස ගෙන තිබීම පදනම් කරගෙන විය යුතු බව අචාර්ය සරත් වික්‍රමනායක මහතාගේ අදහසයි.