නුවර කලාවියේ හෙලුවැලි බලිය

ස්වර්ණ ශ්‍රී බණ්ඩාරගේ අනුස්මරණය මෙම මස 9 වැනිදාට යෙදී තිබෙනවා. ස්වර්ණ ශ්‍රී අපිට හිටපු ප්‍රවීණ කවියෙක්, ගීත රචකයෙක්, නාට්‍යකරුවෙක්, ගුවන් විදුලි සන්නිවේදකයෙක් වගේම ජනශ්‍රැති පර්යේෂකයෙක්.

ගීත රචකයකු විදියට ස්වර්ණ ශ්‍රී ලියලා තිබෙන්නේ ගීත ස්වල්පයක් විතරයි. ඒ ගීත ඔහු තමාගේ ‘සුදුමුතු කුඩ යට’ නම් වූ ගීත රචනා කෘතියට එකතුකර තිබෙනවා. මෙම ගීත රචනා සංග්‍රහය පළවුණේ 1993දී.

ස්වර්ණ ශ්‍රී ලියූ මුල්ම ගීතය කුමක් වුවත් ඔහු රසිකයන් අතර ජනප්‍රිය වුණේ ‘සාමා’ චිත්‍රපටයට ලියපු ‘ආශා දෑසින් දකිනා සිහිනේ මිහිර මැකී යනවා’ නම් වූ ගීතයෙන්. එය ගායනා කළේ දේවානන්ද වෛද්‍යසේකර. ඊට පස්සේ කාලෙක ඔහු ලියූ ‘මගෙ හද මඬල මල් යහනකි ප්‍රභාවතී’ (ගුණදාස කපුගේ) ‘ඔබ රූ සිරියෙන් මන්මත් වී මම නොකළෙමි අනුවණකම්’ (එඩ්වඩ් ජයකොඩි) වැනි ගී රසික ප්‍රසාදය නොමඳව දිනා ගත්තා.

වෘත්තියෙන් ගුවන්විදුලි ශිල්පියෙක් ව සිටියත් ස්වර්ණ ශ්‍රී කිසිම දවසක ගායක ගායිකාවන් පසුපස්සේ ගිහින් ගීත ලියූ රචකයෙක් නොමෙයි. ඔහු අමරදේවයන්ට වුණත් ගීතයක් ලිව්වේ අදාළ ගීතය තැපෑලෙන් යවමින්. ඔහුට එතුමන් හමුවුණේ ඊට හුඟ කාලෙකට පස්සේ පවත්වපු අමරදේව උපහාර උළෙලකදී බවත් කියැවෙනවා.

ස්වර්ණ ශ්‍රී ගමේ මුල් තිබුණු සම්ප්‍රදායේ තිරසාරව පිහිටා වූ සිටි සැබෑම ජන කලාකරුවෙක්. කවුරුහරි කෙනෙක් ඔහුගෙන් ගම කොහේදැයි ඇහුව්වොත් ‘අපි වන්නියේ එවුන්’ යැයි කියන්නයි පුරුදු වෙලා හිටියේ. මෙහිදී මට මතක් වෙන්නේ තවත් ගීත රචකයකු වූ රන්බණ්ඩා සෙනවිරත්න. ඔහු ගෙන් ඉහත ප්‍රශ්නය අසද්දී කීවේ තමන් ගමේ බයියලා කියායි.

ගුවන්විදුලි සන්නිවේදකයකු විදියට ස්වර්ණ ශ්‍රීගෙන් වැඩිම මෙහෙවරක් ඉෂ්ට සිද්ධ වුණේ රජරට ගුවන්විදුලියට යැයි මා සිතනවා. ප්‍රදේශීය ගුවන් විදුලි සේවාවත්, ප්‍රජා ගුවන්විදුලි සේවාවත් පිළිබඳ ප්‍රමාණික අවබෝධයක් ඔහුට තිබුණා. ඔහු 1979 ඔක්තෝබර් 25 වැනි දින ‘දිනමිණ’ පත්තරේට ලියපු ‘ප්‍රාදේශීය ගුවන් විදුලිය ප්‍රචාරයේ අරමුණු’ නම් වූ ලිපිය එය මනා සාක්ෂ්‍යයක්.

අවුරුදු 11 ක පමණ කාලයක් ස්වර්ණ ශ්‍රී රජරට ගුවන් විදුලියේ සේවය කළා. එහිදී ඔහු ඉදිරිපත් කළ ‘පිළේ පැදුර’ ‘සංහිඳ’ ‘සම්භාෂා’ නිර්මාණ’ ‘එක්තැන් සවිය’ ‘රචනා මුළුව‘ වැනි වැඩසටහන් ඉතාම විශිෂ්ට මට්ටමක තිබුණු බවයි විචාරකයන්ගේ අදහස. ‘පිළේ පැදුර’ රජරට සේවයේ ජනප්‍රියම විචිත්‍රාංගය ලෙස වාර්තා වෙනවා.

ස්වර්ණ ශ්‍රී බණ්ඩාර

ජනමාධ්‍යවේදය පිළිබඳ හසල අවබෝධයකින් යුතු ආචාර්ය සරත් අමුණුගමගේ මතයට අනුව රජරට සේවයේ සාර්ථකත්වයේ රහස ස්වර්ණ ශ්‍රී යි.

‘පිළේ පැදුර’ ‘සංහිඳ’ වැනි වැඩසටහන් ප්‍රකට කළේ ස්වර්ණ ශ්‍රී සතුව තිබූ ජනශ්‍රැති සාහිත්‍යය පිළිබඳ වූ විෂය ඥානය. ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර වරක් සඳහන් කළ පරිදි රජරටට ආවේණික වූ කොටහළු මංගල්‍යය, රජරට බලියාගය වැනි ඉතා දුර්ලභ ශාන්ති කර්ම, කිරලා වන්නම, මිදෙල්ලව කෝරාලගේ කවි, වැනි සැඟවුණු ජන නිර්මාණ, හත්ථිකුච්චි විහාරය, ඉසින් බැස්සගල වැනි ඓතිහාසික ස්ථානවල පුරාවිද්‍යාත්මක වටිනාකම්, දිඹුලාගල වැදි ජනතාවගේ ජීවන තොරතුරු, ‘සංහිඳ’ වැඩසටහන්වලට මාතෘකා වුණා.

ඒ.ඩී. රන්ජිත් කුමාර කලකට ඉහත (1984) ‘නවයුගය’ පුවත්පතට සැකසූ ‘චරිත හමුව’ විශේ්ෂාංගයට වරක් ස්වර්ණ ශ්‍රී ද සම්බන්ධ කර ගත්තා.

‘මහත්තයලා අහලා තියෙනවද තම්බි බුදුන් කෙනෙක් ගැන’

එහිදී ස්වර්ණ ශ්‍රී රන්ජිත්ගෙන් අහලා තියෙනවා ‘ඉඩෝරෙ මහ සැරේට තියෙන කොට වැස්ස ඉල්ලල පූජා පවත්වන්නේ ඔය තම්බි බුදුන්ට. තම්බි බුදුන් ඇදහිල්ල බලන්න මාත් ගියා. කිව්ව වගේම වැස්සා නොවැ.

ස්වර්ණ ශ්‍රී තම ජනශ්‍රැති පර්යේෂණයේ අත්දැකීමක් හෙළිදරව් කළේ ඒ අයුරින්.

‘මම පහුගිය දවසක ගියා හෙලුවැලි බලියක් බලන්න’

ඔහු රන්ජිත් කුමාරට තවත් අත්දැකීමක් විස්තර කළා. ‘නුවර කලාවියේ තියෙනවා ‘හෙලුවැලි බලිය’ කියලා එකක්. ඒක පාළු පිට්ටනිවල නටන්නේ. බොහෝම ලකේ ඇති කවි එහෙම කීයනවා. මං ඒවා පටිගත කලා.

රජරට සේවය ඔස්සේ ගායනයට ගීත රචනයට හා ගුවන් විදුලි ශිල්පයට අලුත් පිරිසක් හඳුන්වාදීමෙන් ස්වර්ණ ශ්‍රී කර ඇති සේවය ද ප්‍රශංසනීයයි. පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි, කරුණාරත්න දිවුල්ගනේ, මහින්ද දිසානායක, මහින්ද චන්ද්‍රසේකර, සේන නානායක්කාර, චුල්ල ජයවර්ධන, අනුරාධ රන්ජිත්, ගුණදාස මධුරසිංහ යන අය ඊට උදාහරණ.

මා ස්වර්ණ ශ්‍රී බණ්ඩාර දැක ඇත්තේ එකම එක වතාවක් විතරයි. ඒ බොරැල්ලේ පිහිටා තිබූ ජනතා ලේඛක පෙරමුණේ පැවැති සාහිත්‍ය උත්සවයකදී. මට මතක හැටියට එදා මෙරටට පැමිණ සිටි සෝවියට් සාහිත්‍යකරුවන් පිරිසක් පිළිගත්ත දවසක්.

‘අරයා තමයි ස්වර්ණ ශ්‍රී බණ්ඩාර’

කවුරුහරි කෙනෙක් ස්වර්ණ ශ්‍රී ව පෙන්වමින් කිව්වා. බොහෝම උස මහත මනුස්සයා.

‘එයාට කැන්සර් එකක්ලු’

අර පුද්ගලයා තවදුරටත් කියද්දී මට ඇතිවුණේ බලවත් සන්තාපයක්. ඊට අවුරුදු කීපයකට පස්සේ (1989) දී ස්වර්ණ ශ්‍රී අපෙන් සදහටම සමුගත්තා.