ඔබ යයි නම් තනිව අන්ධකාරේ ඔබට ආලෝකේ ගෙනෙමි තිරසාරේ

පන්සලේ හතර මායිම් උතුරුවාගෙන සතර පේරුවේ දායක කාරකාදී හු කෙමෙන් කෙමෙන් පන්සල් බිමට රැස්වෙමින් සිටිති. කිරි සුදු පාට සුදු වතින් සැරසුණු අතින් ගත් සුදු මල් පැසද ගෙදර නිදහසේ සැවැන්දරා දමා සුවඳ කරගත් පොලේ තෙල් ද ගෙන සන්සුන්ව පැමිණි ඔවුහු පන්සලේ බිමේ රිසි රිසි තැන් තැන්වල හිඳ කිසියම් ආගමික කටයුත්තක නියැළෙති.

පන්සලට හැරෙන හන්දියේ සිට පන්සල් බිම සීමා වන බෝමළුව දක්වා පාර දිගේ දෙපස කොඩි කණු සිටුවා කොඩි එල්ලන කොලු කෙල්ලන් ය. වැඩ ආරම්භ වන්නේ බෝමළුව ළඟ සිටවූ පළමු කොඩි කණුවෙනි. ඇතැම් දැරිවියන්ගේ මුව පුරා නැඟෙන සිරික්කියට වහ වැටෙන කොල්ලන්ට කොඩි කණු පමණක් නොව උන්හිටි තැන් ද අමතක වී යයි.

ගමේ කොලු කෙල්ලන් සමඟ කරට කර වැඩ කරන පොඩිහාමුදුරුවන්ට කොල්ලන් වැඩ කරන අතරම එහෙන් මෙහෙන් නටන සමයං ද නෙතඟින් බලා කෙල්ලන් කරන ඇතැම් ඉඟි බිඟි ද උන්ගේ සායම් මායම් ද නිනව් නැතිවා සේ ය. හිස උඩින් බරක් පැටෙව්වා වාගේ ය. මහ පිරිත සඳහා ආරම්භක සුරප්පට්ටුව වඳින්න කලියෙන් කොඩි කණු ටිකේ වැඩ සියල්ල අවසන් කළ යුතු ය.

ගම මැදින් එන ගිලන්පස සහ මල් පෙරහර පන්සලට හැරෙන පාර ළඟ නයි හන්දියට ළඟා වන විට කොඩි කණු සිටුවා අවසන් විය යුතු ය. ඒ ළඟ සිටුවා ඇති ගස්ලබු පහනේ තෙල් දමා පහන් තිර දල්වා පාර ආලෝකවත් වන්නට ඉඩකඩ සලසා දිය යුතු වෙයි. ඉස්කෝලේ මහත්තයා පන්සලේ කඨින පිංකම් සංවිධාන කොමිටියේ සභාපති නිසාම බාර දුන් මේ වැඩ කොටස වෙලාවට අවසන් කළ යුතු යයි පොඩිහාමුදුරුවන්ට කල්පනා වෙයි.

හරිම උනන්දුවෙන් වැඩට බැස්සට ගමේ කොල්ලන්ට මේ ගැන එතරම් උනන්දුවක් නැතැයි උන්වහන්සේට සිතෙයි. එහෙම හිතන්නේ පොඩිහාමුදුරුවන්ගේ හිතේ තියෙන හදිස්සිය වැඩි නිසා ය. සෙල්ලම් කතා අන්දම් පා රඟපාමින් ගමේ ළමයි වැඩ කළත් කතා කර කර වැඩ කිරීමේ පුරුද්දක් උන්වහන්සේට නැත. දහම් පාසලේ ඉගෙන ගන්න කොට වගේ සංවරයක් ළමයි තුළ දැන් නැතැයි උන්වහන්සේගේ සිතට නැඟෙයි.

“නෑ ඉතිං ඒ කොල්ලන්ගේ හැටිනේ” දැයි නැවතත් සිතයි. ලැබූ නිදහසින් උපරිම ඵල ප්‍රයෝජනත් ගන්නටයි උන්ගේ හිත. උනුන් වැඩ කරන්නේ හරි සතුටින් ය. ගෙදරත්, පන්සලේත්, දහම් පාසලේත් වෙනදා නැති නිදහසක් ලැබූ ඔවුහු ඉඳහිට විහිළුවක් කරති. වැඩ කරන අතර කටකාර කොල්ලෙකුගේ පුංචි විහිළුවක් වුව ද පිරිසගේ සිත්වලට ඇතිකරන්නේ ලොකු ජවයකි.

නයිහන්දියෙන් අවසන් වන අන්තිම කොඩි කණුවත් සිටුවා කොඩියත් එල්ලා ඒ අසල අන්තිම ගස්ලබු පහන සඳහා වළ කපමින් සිටි රාං කුරුල්ලා එකපාර ඇසුණු ඉදල් හඬට පාරේ අනෙක් පැත්ත දිහා බැලුවේ ය. දහම් පාසල් ඇඳුමින් ම සැරසුණු සුරතල් සුන්දරී නන්දා කොඩි කණු සිටුවා අවසන් වුණු පාර පන්සල දක්වා අතු ගා පිරිසුදු කිරීම ආරම්භ කොට ඇත. ඇගේ ඇස් රාං කුරුල්ලාගේ දෙනුවන් හා එකපාර ගැටුනේ හිතාමතා වූ දෙයක් නිසා නොවේ.

රාං කුරුල්ලා කාලයක් තිස්සේ කියන්නට පෙරුම් පුරා බලා සිටි කිසිවක් එකවර කියාගෙන කියාගෙන යන්නාක් මෙන් මොනවාදෝ කියාගෙන කියාගෙන යනු තරමක් ඈතින් ගස්ලබු පහනේ තිරයේ දැල්වෙන කෙළවර කපුරු පෙති බාගයක් තබමින් සිටි පොඩිහාමුදුරුවන්ට යාන්තමට ඇසුණි. ඒ සමඟම කටින් නිකුත් කළ වාහන හෝන් හඬක් ද විය. රාං කුරුල්ලාගේ බෝක්කු කට ගැන හරි හමන් වැටහීමක් ඇති පොඩිහාමුදුරුවන් අනතුරුව එකවර බැලුවේ සුන්දරී නන්දා දෙසයි.

ඒ වන විටත් ඇගේ දෙකොපුල් තද රතුපාට ජම්බු ගෙඩියක් මෙන් වී තිබිණි. එළියට පනින්නට තතනන සුන්දරී නන්දාගේ ඇස් දෙකේ කඳුළු බිංදු අහිංසක හසරැල්වලින් පොඩිහාමුදුරුවන්ගෙන් වසන් කරවීමට ඈ උත්සාහ ගනියි. හරි සතුටින් පන්සල් පාර අතු ගෑමට ආ ඇය පාර අතු නොගාම දෙනෙතින් කඳුළු බාගෙන ආයෙත් පන්සල පැත්තට දිව යනු නැවත හැරී බලන පොඩිහාමුදුරුවන්ට පෙනිණි.

නක්කලේට හිනාවෙන කොල්ලන්ගේ ගාලගෝට්ටියත් එන්න එන්නම වැඩි වෙයි. මොකක් හෝ හොඳ වැඩක් කළත් ඒකේ හොඳ නාමය ගන්නට පෙර මොකක් හෝ කුණු බාල්දියක් පෙරළා ගනී. දැන් ඒ ඔක්කොම නරක නාමේ බැර වෙන්නේ පොඩිහාමුදුරුවන්ගේ නමටයි. ඉදලත් අතින් අරගෙන අඬ අඬාම පන්සලට දුව ගිය සුන්දරී නන්දා ගිහින් මොනවා කිව්වත් නායක හාමුදුරුවන් අතට සිද්ධිය යන්නේ පොඩිහාමුදුරුවනුත් ඒ අසල සිටි බව කියමින් නන්දා ඇඬුවේ අනිවාර්යයෙන් ම රාං කුරුල්ලාගේ කටේ වැරැද්දක් නිසා ය කීවේ මොකක්දැයි උගෙන් අහන එකත් හරි නැත.

මහන්සි වී වැඩ කරන උන්ගේ හිත් පාරන එකත් හරි නැත. මේ කඨින පිංකම් දවසේ මෙච්චර වැඩක් කරලත් අන්තිම මොහොතේ මූට කට පියාගෙන ඉන්න බැරි වුණ හැටි. පාර අතුගෑමත් ඉවරයි. ඒක නම් වෙන කාටහරි කියල වුනත් කරගන්න පුළුවන්. වුණු සිද්ධිය ඊට වඩා බරපතළ එකක්. දැක්කෙත් නැති එවුන් තමයි ඕකට තව තව පෝර දාන්නේ. එහෙම වුණොත් මහන්සියෙන් දොවපු කිරි කලේට ගොම බිඳක්වත් දැම්මා වාගේ තමයි. අපරාදේ.

සිද්ධිය පිළිබඳ පොඩිහාමුදුරුවන්ගේ සිතිවිලි විමතිය හැසිරීමෙන් දුටු ‍කොල්ලන්ගේ ද ජවුසන් ශබ්දය ක්‍රමයෙන් නතර විය. උන් ටික පහළ ඇනිකට් එක පාරෙන් පන්සල් වත්තට ඇතුළු වුණේ ප්‍රධාන පාරෙන් පන්සලට යාම මේ වෙලාවේ නුවණට හුරු නැති නිසා ය. සුන්දරී නන්දා අඬ අඬා පන්සලට දුවන්නට ඉස්සර වුණ සිද්ධිය පොඩිහාමුදුරුවන්ටත් කිව්වා නම් උන්වහන්සේගේ හිතේ මේ තරම් බරක් නැත.

දෙගොල්ලන්ම බේරෙන විදිහට ප්‍රශ්න විසඳීම හිතට ගන්නට පුළුවන්කම තිබිණි. ඒත් එහෙම වූයෙත් නැත. දැන් මේ එන විටත් ඈ පන්සලට ගිනි තියා ඇද්දැ යි උන්වහන්සේගේ හිත බයින් හා චකිතයකින් සැලෙයි. වෙන දෙයක් වෙච්චාවේ ප්‍රශ්න එන්නෙත් මිනිස්සුන්ටනේ. අනෙක අපි කළෙත් හොඳ වැඩක් නේ දැයි කියා සිතමින් හිතට ධෛර්යය ගත් පොඩිහාමුදුරුවෝ පාර දෙපස දැල්වෙන ගස්ලබු පහන් එළියෙන් කොඩි කණු දෙස ද බල බලා පැමිණ පන්සල් බිමට ඇතුළු වූහ.

සුන්දරී නන්දා පොල් අත්තේ රටාවට බෝමළුවේ සිතුවම් අඳියි. ඇයත් බෝමළුවත් එක වගේ ම ලස්සනයි. සිද්ධිය දකින කෙනෙකුගේ හිතත් එක පැහැර නිවී යයි. තැන්පත් වෙයි. පොඩිහාමුදුරුවන් පන්සලට ඇතුළුවෙත්ම නන්දාට සහයෝගය දක්වමින් එතන සිටි එකියක් දුවගෙන ඇවිත් කාටවත් නෑසෙන සේ මොන මොනවදෝ හෙමින් හෙමින් කියාගෙන කියාගෙන ගියා ය.

පොඩිහාමුදුරුවන්ගේ ඇවිළුණු සිතත් එවදන්වලින් නිවී ගියේ ය. මහා බරක් හිසේ තියාගෙන පැමිණියකු එම බර පසෙක තබා රිදුම් පිරිමදින්නාක් මෙන් උන්වහන්සේට හැඟිණ. රාං කුරුල්ලා නන්දාට කියා තිබුණේ “ඔබ යයි නම් තනිව අන්ධකාරේ ඔබට ආලෝකේ ගෙනෙමි තිර සාරේ” කියා ය. ඌ එය කියා තිබුණේ විහිළුවට ය. ඒත් නන්දා ඒ ගැන ගැඹුරින් සිතා තිබුණි.