ළිප ගින්දර සහ රස මිහිර

“චංගුමී පව් නේද අම්මා?”

නිවුන්නු දෙදෙනාගෙන් වැඩිමලා ආදරයෙන් ද අනුකම්පාවෙන් ද කතා කරන්නේ “සුජාත දියණි” හී ප්‍රධාන චරිතය පිළිබඳ ය.

“ චංගුමී හරී හොඳයි...”

බාලයා ද අයියා සමඟ එකඟ විය. කොහොමටත් ඔවුන් දෙදෙනා ඕනෑම කාරණයක දී එකඟ වෙති. දෙදෙනා අතර ගැටුමක් ඇති වන්නේ ඉතා ම කලාතුරකිනි. නාන්නට ගිය විට එකෙකු අනෙකාගේ පිටේ සබන් ගා අතුල්ලන අයුරු බලා සිටින්නට අපි කවුරුත් කැමැත්තෙමු. ඔවුන් අතර එකමුතුව පිළිබඳ මා නිතරම පාහේ සතුටු වුව ද උදෑසන ඔවුන්ට මා දොස් පවරන්නේ ද ඒ නිසා ම ය. තේ බොද්දිත් ආහාර ගනිද්දීත් දෙදෙනා තොරතෝංචියක් නැතිව කතා කරති. පාසල් යාමට සැරසෙන අතර පවා ඒ කතාබහ නොනවතී.

“නවත්තනවද නැද්ද දෙන්නගෙ කතාව...? පරක්කු වෙනව නේද ඉස්කෝලෙ යන්ඩ...?” මම තරවටු කරමි.

“අලුත බැඳපු ජෝඩුව වගේ මොනව කතා කරනව ද මංදා...”

දරුවන්ගේ පියා පවසන්නේ සිනාමුසු මුහුණිනි. ජෝඩුව පරණ වන්නා හා ම කතා බහ අඩුවන බව හැඟවෙන ඒ කියුම මගේ සිත් නො ගනී. එහෙත් ඒ කතාවේ ඇත්තක් තිබෙන බව මා පිළිගන්නේ ළතැවුලිනි.

“මං නං චංගුමීට කැමති රසට උයන්ඩ පුළුවන් හින්දා” යි මද්දු කියන්නේ චංගුමී පිසූ ආහාරවල රස බැලූ එකෙකු මෙනි.

ජාතික රූපවාහිනියේ ඔෂින් විකාශය වන කල මගේ දරුවන්ගේ වීරවරිය වූයේ ඔෂින් ය. මේ දිනවල ඔවුන්ගේ වීරවරිය චංගුමී ය.

සුජාත දියණී නරඹන විට මා සතුටු වන්නේ ආහාර පාන පිළිබඳ මගේ ආකල්පය එයින් ද හමාර වන බැවිනි. ඉවුම් පිහුම් කලාවක් බව මම කවදත් විශ්වාස කළෙමි. එය සුවිශේෂි කලාවකි. රස වර්ණ සහ පෝෂණය යන සියල්ල එක්තැන් වූ කලාවකි. ආහාර පිසිය යුත්තේ සතුටින් සහ සෙනෙහසින් බව ද මම හැමදාමත් සිතුවෙමි.

ඒ ආහාර භුක්ති විඳින්නේ අපේ ම උදවිය නම් නහයෙන් හඬමින් හෝ ඉවිය යුතු ම නිසා හෝ ඉවුම් පිහුම් කිරීමෙන් අප ඔවුන්ට දක්වන්නේ අනාදරයක් නොවේ ද... සූපවේදය පිළිබඳ බලවත් හැඟීමක් මා තුළ ඇති වූයේ දැරියකව සිටිය දී කිරි අම්මලා ගේ ගෙදර දී ය. එකල වී මෝල් මිරිස් මෝල් නොවී ය. කිරි අම්මලා වී කෙටුවේ ද මිරිස් ඇඹරුවේ ද කන්කෙඳිරි ගාමින් නොවේ. කුස්සිය එකම රස ගුලාවක් විය. පුංචි අම්මලාගේ සිනාවෙන් කතාවෙන් සහල් පවා තවත් ඔප් නැංවුණා නිසැක ය.

පැකට් කළ කිසිවක් නොවූයෙන් තරමක ලොකු පොල්කට්ට තුළ මිරිස් ගුලිය, කහ ගුලිය සහ තුනපහ ගුලිය බැබලුණේ ය. රතු පාට, කහ පාට සහ ගුරු පාට... ඇත්තෙන් ම ඒ වර්ණ සංකලනය කුඩා මා තුළ ඉපදවූයේ නොහිම් චමත්කාරයකි. ඒ තරම් රතු පාටක් ඒ තරම් කහ පාටක් මම ඉන් පසු කිසි කලෙක නොදුටුවෙමි.

කුඩාවුන් කුස්සියේ බිම එළන ලද පැදුරක් මත වාඩි කරවා එකිනෙකා ඉදිරියේ පිඟන් තැබුවේ චූටි පුංචි අම්මා ය. බත් හැන්ද බැඟින් ඒ පිඟන්වලට බෙදුවේ සුදු පුංචි අම්මා ය. අඹ ඇඹුල බෙදුවේත් සෙනේබර සිනාවක් පෑවේත් මැණිකෙ පුංචි අම්මා ය. අන්තිමේ දී කිරි අම්මා කිරි හොදි බෙදාගෙන යන්නේ “බඩ පිරෙන්ඩ කාපල්ලා” යි කියමිනි. ඒ සරල ආහාරය කොතරම් රසවත් වී දැයි කිවතොත් තවම මට ඒ රස දැනෙන්නාක් බඳු ය.

දිය නාන්නට ගිය ද දර කඩන්නට ගිය ද ආහාරයට ගත හැකි යමක් සොයා නෙළා ගෙන ඒම කිරි අම්මලා ගේ පුරුද්දකි. කිරි හැන්ද, කොළ තැල් කොළ, තුඹ කරවිල, හතු.. ඉතිං හැම වේලක්ම රසවත් විය. අනිවාර්යයෙන්ම සුවිශේෂ ව්‍යංජනයක් බත් පතෙහි තිබිණ. බඩ පිරෙන්නට බත් කෑ පසු අඹ, ගස්ලබු, පැණි, පුහුල් වැනි පලතුරක් ලැබේ. ඒ රස මිහිරට වඩා බත් දිරවීමේ උපායක් ලෙසිනි.

“බඩට බත් බරයි... අඹ මුලක් උඩිං පැන්නත් බත් දිරවනව කියලයි අපෙ අම්මලා කිව්වෙ..” යි කිරි අම්මා එක් එක් පලතුර වෙන වෙනම වර්ණනා කරයි.

“අම්මේ... අම්මේ...” මද්දු මගේ අතින් අඳිමින්ම අතීතයෙන් වර්තමානයට ඇදගෙන එයි.

“මොකද ළමයො..?” යි මා අසන්නේ නොමනාපයෙනි. කිරි අම්මලාගේ කුස්සියේ කිරි අම්මලා පුංචි අම්මලා සමඟ තවත් ටික වෙලාවක් ඉන්නට තිබුණා නම් කොච්චර හොඳද..'

“මොනාද රෑට උයන්නෙ?”

“මොකද මේ...?”

“මාත් එනව උයන්ඩ..” “ඔය ඇත්තටම ද?” මම විමතියෙන් අසමි.

“ඔව් අම්මා... ඇත්තමයි..”

“හරි හොඳයිනෙ.. අපි දෙන්නම එකතුවෙලා උයමු..”

“එහෙනං ඉතිං මෙයාට මීට පස්සෙ කියන්ඩ වෙන්නෙ මද්දු කියල නෙමේ.” පොඩි පුතා සරදම් සිනාවක් පායි.

“එහෙනං...? “ යි මා අසන්නේ සතුටිනි.

“මද්දුමී කියල..”

“ඇයි?”

“නෑ ඉතිං ගෑනියෙක් වගේ උයන්ඩ යද්දි මද්දුමී කියල තමා කියන්ඩ වෙන්නෙ..”

“මද්දුමී මද්දුමී..” යි නිවුන්නු බෙරිහන් දෙන්නට පටන් ගත්තෝ ය.

“නවත්තන්ඩ දෙන්නම” යි මම ඔවුන්ට තරවටු කළෙමි.

“උයන එක ගෑනුන්ට විතරක් අයිති දෙයක් නෙමේ. හෝටල්වල ඉන්න තරමක් ඉන්නෙ පිරිමි නේද... ඉවිල්ල සාස්තරයක්. සූප ශාස්ත්‍රය කියන්නෙ ඒකනේ.. පිරිමියෙක් උයන එක ලැජ්ජා වෙන්ඩ දෙයක් නෙමේ...” යි මම කියාගෙන ගියෙමි.

“සොරි මමී” යි පොඩි පුතා හිස නමා සමාව අයැද්දේ මා කෝපයට පත් වූ වග වටහා ගත් බැවිනි.

“අපිත් එනව උයන්ඩ” යි නිවුන්නු එක්වන් ව හඬ ගෑවෝ ය.

“නෑ නෑ... ගින්දරත් එක්ක වැඩ කරන්න ඔයාල තාම පුංචි වැඩියි.. තව ටිකක් ලොකු වෙන්ඩ”

“මද්දුවට ඒප්‍රන් එකකුත් ඕන වෙනව නේද අම්මා..?” ලොකු පුතා අසන්නේ ද ඔච්චමට ය.

“සේරටම වඩා ඕන වෙන්නෙ පරිස්සමයි අවධානයයි. මොකද ගින්දර, වතුර, කැති, පිහි එක්කනෙ වැඩ කරන්නෙ”

“ඇයි එතකොට රසකාරක? වර්ණ කාරක?..” පොඩි පුතා අසයි.

“අනේ මංදා... අපේ අම්මලා කිරි අම්මලා උයද්දිනං ඔය මුකුත් පාවිච්චි කළේ නෑ. දෙහි, කරපිංචා, රම්පේ, සේර, මුරුංග පොතු මිසක්... ආ තව සියඹලා... ඇයි ඒ ගොල්ලො තක්කාලි පාවිච්චි කළෙත් රස කාරකයක් විදියට තමා. ලුණු මිරිසට තක්කාලි ගෙඩියකුත් අඹරල ගත්තම සැර අඩුවෙලා අමුතුම රසක් දැනෙනවා...”

“කරවල බැදුමට අමු මිරිස් වෙනුවට කොච්චි දැම්මමත් හුඟක් රසයි නේද අම්මා?”

මද්දු ද තමාගේ හැකියාව ප්‍රදර්ශනය කරයි. සූප ශාස්ත්‍රයෙහි මෙබඳු පුංචි පුංචි රහස් කොතරම් සිත් ගන්නා සුලුද... එයින් එක් වන රසය කොතරම් ප්‍රණීතද... කෑම රුචිය හීන වූ විට මිරිස් හොද්දක් බීමට සිදු වූ ඒ ළමා කාලයේ රසවත් මතක සමඟ මම කුස්සියට ගියෙමි.

“ඔය නානාප්පකාර මාළු පිණි ඔනැන්නෑ... හරියට කිරට මිරිසට වෑංජන දෙකක් තිබ්බම බත් මරන්ඩ බැරියැයි...” යි කිරි අත්තා නිතර කීවේ ය. එවන් වූ තකට තක ආහාර වට්ටෝරුවක් කිරි අම්මලාගේ ගෙදර විය. කැකුළු බත් සමඟ වට්ටක්කා, කරවල බැඳුම හා අඟුණකොළ සම්බෝලය එයින් එකකි.

සම්බා බත්, වැව් මාළු සහ මෑකරල් සමඟ මඤ්ඤොක්කා කොළ මැල්ලුම තව එකකි. මේ ආහාර මුසුව කොතරම් තදින් ගැළපුණේ ද කිවතොත් ගිනිමද්දහනේ පවා දෙකනෙන් දහදිය වගුරුවමින් අපි උණු බත් ගිල්ලෙමු. ඉනික්බිති අපි කොතරම් ක්‍රියාශීලි, ජවසම්පන්න ළමයින් වීමු ද... තටු පොරවාගත් මලානික ළමයෙකු කොතනකදීවත් දැකිය නොහැක.

සැබවින්ම සූප ශාස්ත්‍රය පරක් තෙරක් නැති සමුදුරක් සේ ය. අපිට ආහාරයට ගත හැකි රසවත් දේ අප්‍රමාණව අපේ බිමෙහි වැවෙයි. අනෙක් අතට ළිප තැබීමෙන් පසුව පැහැය වෙනස්වන අයුරු බලා සිටීම පවා චමත්කාරජනක නොවේද? තවමත් හැම දවසකම පාහේ මම විමතියෙන් ද සොම්නසින්ද උතුරා යමි. අමුද්‍රව්‍ය කපා කොටා තුනපහ එක් කිරීමෙන් පසු ළිප තැබූ කළ මතුවන පැහැය... දිව ගෑ විට දැනෙන රසය... ඒ සියල්ල යළි යළි පසක් කරන්නේ ඉවුම් පිහුම් යනු සැබැවින් ම කලාවක් බව ය.

“හොද්ද මැදින් පැහෙන කොට ළිපෙං බාන්ඩ ඕන මද්දු. ඕනවට වඩා පැහුණොත් දිය රහයි...! යි මම මද්දුට තවත් රහසක් හෙළි කළෙමි.