මානව හිමිකම් පෙත්සම

ටොම්සන් මහත්තයා උසාවිය හන්දියේ පෙත්සම් කඩේ ඉස්සරහා හිටගෙන එහා මෙහා බලා සිටියේ ය. නඩු කියන අය ද නඩු අහන අය ද යන්නේ මේ හන්දිය පහු කර ගෙන බව ටොම්සන් මහත්තයා දැන සිටියේ ය. නඩු කියන්ඩ යන්ඩ බැරි අයට පෙත්සම් ගහන්න උදවු කරන එකත් පිංකමක් කියා ටොම්සන් මහත්තයා කල්පනා කළේ ය.

ඒ මේ අත බැලූ ටොම්සන් මහත්තයා සෙනඟ අතරින් දුටුවේ කලිසම් මහත්තයෙකි. ඔහුගේ මුහුණ එල්ලිලා ය. බොහොම දුකෙනි. ඇවිද ගෙන එන්නේ යන්නේ කොහේදැයි සිතා ගන්නට ද බැරි ව බව ටොම්සන් මහත්තයාට පෙනිණි.

“මොකක් හරි ලොකු සෝකෙකින් තමයි ඉන්නේ... සමහරවිට උසාවියට යනවා වෙනුවට වෙන කොහේ හරි යන කෙනෙක් වෙන්ඩත් බැරි නෑ... ඒත් මොකක් හරි ලොකු ප්‍රශ්නෙයක් තියෙනවා” කියා ටොම්සන් මහත්තයා ටක්කෙට ම තීන්දු කළේ ය.

“මොකද මහත්තයා මේ නිකං දාහෙට අරං සීයට දීලා වගේ...”

“මක්කැයි...”

“නෑ... මං අහන්නේ නිකං දාහෙට අරං සීයට දීලා වගේ... මොකක් හරි ලොකු පටලැවිල්ලක් ද?”

“මක්කැයි...? ඔහේ මේ පාර අයිනට වෙලා බලං ඉන්නේ අනුංගේ පටලැවිලි අරින්ඩද? යනවා ඕයි යන්ඩ... මට මගේ පාඩුවේ යන්ඩ ඇරලා...”

සෝක මහත්තයාගේ ඇඟට පැනිල්ලෙන් ටොම්සන් මහත්තයා ඇඹරී ගියේ ය. ඒත් අත අරින්නට බැරි ය. මේක නම් හොඳ ම හොඳ ම පැටලැවිල්ලකි. අල්ලා ගත්තොත් හොඳ පෙත්සමක් ලියන්නට පොළඹවා ගන්නට පුළුවනි.

“තරහ ගන්ඩ එපා මුන්නැහේ... ඔහොම තමයි... අකාරණේ නොයෙක් දේ සිද්ද වෙනවා... ඔක්කොම මනුස්සයාට නේ...”

“මනුස්සයාට? නෑ... ඕයි... මේ ඔක්කොම වෙලා තියෙන්නේ මගෙ නෝනට...” සෝක මහත්තයා ටිකක් නියුට්‍රල් වුණේ ය, දැං හරි ඊ ළඟ ගියර් එක මාරු කර ගන්ඩ කල් තියෙන හින්දා ටොම්සන් මහත්තයා සෝක මහත්තයාගේ ළඟට කිට්ටු වුණේ ය.

“ඇත්තට ම මොකක් ද මහත්තයාගේ නෝනට වෙලා තියෙන්නේ...? අපට කරන්ඩ පුළුවන් උදවුවක් තියෙනවා නං අපි කරලා දෙන්නං... මහත්තයා ටිකක් නිවිහැනහිල්ලේ කතා කරන්ඩකෝ... මහන්සි නං අපි යමු මේ කන්තෝරුවට. ගිහිං ඉඳගෙන කතා කරමු...”

ටොම්සන් මහත්තයා සෝක මහත්තයාව අඬගහ ගෙන පෙත්සම් කන්තෝරුව ඇතුළට එක්ක ගියේ ය. සෝක මහත්තයා මහන්සිය නිවා ගෙන කතා කරන්නට පටන් ගත්තේ ය.

“මං කසාද බැඳලා අවුරුදු අටක් වෙනවා...”

“ඉතිං”

“මගෙ නෝනා වැඩ කරන්නේ කොළඹ බදු කන්තෝරුවේ... මං වැඩ කරන්නේ මාතර... නෝනා ගෙදර එන්නේ සිකුරාදාට... ආයේ සඳුදා උදේට යනවා... මේ අවුරුදු අට ම ගෙවුණේ ඒ විදිහට...”

“ඉතිං... දරුවෝ හෙම ඉන්නවාද?”

“ඉන්නවා... එක පුතෙක් ඉන්නවා... ඒ පුතා ඉන්නේ නෝනගෙ අම්මලා ගාව... මගේ පවුලේ ජීවිතේ මේ බදු කන්තෝරුවේ ලොක්කො කෑවා... පහුගිය අවුරුදු අටක් මං බදු කන්තෝරුවට ගියා, නෝනට මාතරට මාරුවක් හදාගන්ඩ. ලබන අවුරුද්දෙ දෙන්නං, ඊළඟ අවුරුද්දෙ දෙන්නං කියලා අවුරුදු අටක් අපේ පවුල කඩා ඉහිරවලා දැම්මා... දරුවට අම්මයි... තාත්තයි එක්ක ජීවත් වෙන්ඩ විදිහක් නෑ... ඒ වුණාට ළමා ආරක්ෂක අමාත්‍යංශයක් ද මොකක්දෝ එකකුත් තියෙනවා... මේවා ඔක්කොම බොරු...”

“... ඉතිං මහත්තයා. බදු කන්තෝරුවේ ලොක්කා හම්බ වෙලා කතා කළේ නැද්ද?

“මොකද නැත්තේ... ගිය අවුරුද්දේ ලොක්කා හම්බ වුණා ම පොරොන්දු වුණා ලබන අවුරුද්දේ මාරුව හදලා දෙන්නං කියලා... ඒක මාරු ඉල්ලුම් පත්‍රයෙත් ලිව්වා... ඊට පස්සේ ඒ ලොක්කා ගියා. දැං ඉන්නේ වෙන ලොක්කෙක්... එයා දැං කියනවා ඒ පහු ගිය ඒවා මං දන්නේ නෑ... ලබන අවුරුද්දේ මාරුවක් දෙන්ඩ බෑ... ඊ ළඟ අවුරුද්දේ මාරුවක් දෙන්ඩ සලකා ලබන්නං කියලා... මේක හෙනගහන අපරාධයක්... මුං එකතු වෙලා මගෙ දරුවගෙ අයිතිවාසිකම් උල්ලංඝනය කරලා... මට සල්ලි තිබුණා නම් මං නඩුවක් දානවා...”

“නඩුවක් ම ඕනැ නෑ... කියා ටොම්සන් මහත්තයා කීවේ ය. අපි මේකට මානව හිමිකම් කොමිසමට පෙත්සමක් යවමු. නෝනටයි මහත්තයටයි එක ගෙදරක ජීවත් වෙන්ඩ මානව අයිතියක් තියෙනවා... දරුවට තමන්ගේ අම්මයි, තාත්තයි එක්ක ජීවත් වෙන්ඩ මානව අයිතියක් තියෙනවා... ඒකට තමයි මේ නීති හදලා තියෙන්නේ... මහත්තයා කලබල නො වී ඉන්ඩ... අපි මේකට හොඳ පෙත්සමක් හදලා දෙන්නං... ලබන අවුරුද්දේ මහත්තයාට නෝනා එක්ක එකට ජීවත් වෙන්ඩ මාරුවක් හදා ගන්ඩ...”

සෝක මහත්තයා ටොම්සන් මහත්තයා දිහා බලලා බලාපොරොත්තු සහගත සිනාවක් පෑවේ ය.

තවත් කොටසක් ලබන සතියේ