පළමු වෙඩි මුරය

මේ දවස්වල අපට ඇහෙනවා ‘මිනිස්සුන්ට මතකයි’ කියලා වැකියක්. මේ වැකියත් එක්කම රූපවාහිනි තිරයේ දිස් වෙන්නේ සිත් සසල කරන දර්ශන පෙළක්. මානව දයාව හඳුනන, රට ජාතිය ගැන කැක්කුමක් ඇති කිසිම මනුස්සයකුට මේ දර්ශන දකින විට සුසුමක් නොහෙලා ඉන්ඩ බැහැ. සාපලත් තිස් අවුරුදු යුද්ධයේ දී කුරිරු ත්‍රස්තවාදීන් විසින් සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සකල ජනයාටත්, අපේ ආදරණීය මවුබිමටත් කළ දරුණු අපරාධ තමයි මේ විදිහට නැවත නැවතත් අපේ දෑස් හමුවේ දර්ශනය වන්නේ.

රූපවාහිනියේ ඇත්තෝ මෙහෙම දෙයක් කරන්ඩ කල්පනා කරපු එක හරි හොඳයි. ඒ පිළිබඳ උන්නැහැලට තුති මල් මිටක් පිදිය යුතුයි. 'මිනිස්සුන්ට මතකයි' කියන වචන දෙකෙත් ලොකු තේරුමක් තියෙනවා කියා අපට හිතෙනවා. මොකද මිනිස්කම හඳුනන අය ඇර නොමිනිසුන් ඒ විදිහට හඳුන්වන්න බැරි නිසයි. මට එහෙම කියන්න හිතුනේ මෑත අතීතයේ ඒ බිහිසුණු අත්දැකීම් අමතක කරන්න තරම් හිතක් පපුවක් නැති එවැනි නොමිනිස් රැලකුත් අපේ සමාජයේ ඉන්න නිසයි.

ඊයේ පෙරේදා කොළඹ වැලිකඩ හිර ගෙදර සිද්ධ වුණු කලබෑගෑනිය ඔබ කාටත් මතක ඇතිනේ. කොටි භීෂණ සමය මතකයට නංවන ත්‍රාසජනක දර්ශන පෙළක් ඔබ දකින්න ඇති. මනා පුහුණුවක් ලබපු ගරිල්ලා හමුදාවක් වගේ දරුණු අපරාධකාරයෝ ටී පනස් හය අවිවලින් හරඹ කරපු හැටි දැක්කා නේද...?

හිරගෙදර මේ මහා කලබැගෑනිය පටන් ගත්තු වේලාවෙ මමත් හිටියේ බොරැල්ලේ. ඒ වෙලාවේ ගොම්මන් කළුවර පැතිරිලා තරමක වැස්සකුත් වැටෙමින් තිබුණා මතක යි. අපි ආපු බස්එක පොලිසියෙන් මරදාන පැත්තට හැරෙව්වා. ‘හිරගෙදර කලබලයක් ලු’. කවුදෝ කියනව ඇහුණ. බොරැල්ල හන්දියේ ලොකු වාහන තදබදයක්. ඒ මදිවට මිනිස්සුත් හොඳටම කලබල වෙලා. හරියට ම ඒ දවස්වල බෝම්බයක් පුපුරපු විදිහේම පරිසරයක් තමා මගේ හිතේ මැවිලා පෙනුණේ.

වාහන පෙරහරට මැදිවුණ අපේ බස්එක ගල් ගෙඩියක් වගේ හිර වුණා. හැන්දෑවේ බස් එකක් පොල් පටවලා වගේ ලෝඩ් එක. වැස්සට කවුළු වහපු නිසා රස්නෙ උහුලන්ඩත් අමාරුයි. සෙන්ට් මේරීස්, දෙමටගොඩ පැතිවල බහින්ට ඕන මිනිස්සුත් කලබල වෙලා. බස් එක ඇතුළේ එක එක විදිහේ කතා බහ මතුවෙන්ඩ පටන් ගත්තා.

“කොහෙද ඉතිං... කිරිමේල්කාරයො ටිකවත් සැලැන්ඩර් කරගන්ඩ බැරි ආණ්ඩුවක්නෙ මේක...” සෙනඟ අස්සෙන් කට හඬක් මතු වුණා. මිනිහා වචන ඇදපු - පැදපු තාලෙන් ම මට හිතුණා හැන්දෑ ජාමේ පොඩි අඩියක් ගහලා පොට පටලවා ගත්තු හාදයෙක් බව.

“මේ පොලිස්කාරයෝ නැත්තන් මෙච්චර ට්‍රැෆික් එකක් නැහැ. ඒ ගොල්ලොනෙ මේ හැම පැත්තටම හරව හරවා ඔක්කොම අවුල් කරන්නේ.” ඒ වතාවේ අදහස් පළ කළේ සීට් එකක හොඳට හරි බරි ගැහිලා ඉඳගෙන උන්නු තරබාරු නෝනා මහත්මියක්.

“දැන් ඉතිං කීයට ද අපි ගෙවල්වලට යන්නේ....? අනේ මන්දා මොන කරුමක්කාර රටක් ද කියල මේක. හැමදාම මොකක් හරි ප්‍රශ්නයක්නේ?” කන්තෝරු බෑග් එකක් එල්ලගෙන හිටපු උස මහත මහත්තයෙක් උන්නැහෙගෙ කෝපය පිට කළේ ඒ විදිහට යි.

“මේ කට්ටිය කතා කරන්නේ හරියට මැරිලා ඉපදුණ මිනිස්සු වගේනෙ.” මගෙ ළඟම හිටගෙන හිටපු තරුණයා මට විතරක් ඇහෙන්න කිව්වේ ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන්න සපෝට් එකක් ඉල්ලනවා වගෙයි.

“කතා කරලා වැඩක් නැහැ මල්ලී, පසුගිය කාලේ පණ බයේ ගැහි ගැහී පාරවල් දිගේ දුවපු හැටි දැන් ඔක්කෝටම අමතක වෙලා වගෙයි.” මල්ලිගෙ වචනවලින් උත්තේජනයක් අරන් මම ප්‍රතිප්‍රහාරය දියත් කළා.

“සහතික ඇත්ත. අපිත් මේ අහගෙන හිටියේ ඒ ගොල්ලන්ගෙ කතාව. ඕකනෙ පුතා අර ප්‍රභාකරන් ඒ දවස්වල කිව්වේ සිංහලයන්ට ඕනා දෙයක් මතක හිටින්නේ දවස් හතයි කියලා” අතේ තිබුණු පත්තරෙන් පවන් ගගහා හිටපු, සුදු කෙස් සහිත අංකල් කෙනෙකුත් අපේ පිලට එකතු වුණා.

බස් එකේ තැන් තැන්වලින් මෙහෙම ප්‍රතිචාර ලැබෙන්න පටන් ගත්තා. අඩියක් ගහලා හිටපු උන්නැහැවත්, තරබාරු නෝනා හෝ උස මහත මහත්තයාවත් ඒවාට උත්තර බදින්ඩ ඉදිරිපත් වුණේ නැහැ. ඒ උදවිය නෑසුණු කනින් යුතුව මුනිවත රකිද්දී බස් එකත් ටිකෙන් ටික ඉදිරියට ඇදී ගියා.

“මල්ලී කැම්පස් එකේ ද?” පළවෙනි වෙඩි මුරය පත්තු කරපු මල්ලීගෙන් මම විමසුවා.

“දැන් මම අවුට් වෙලා. බොරැල්ලෙ ප්‍රයිවෙට් ක්ලාස් එකක් කරනවා. ඒකට ගිහින් එන ගමන්” එයා උත්තර දුන්නෙ සිනහවකින් මට සංග්‍රහ කරන ගමන්.

“මල්ලී අහලා තියෙනව ද චීන කියමනක් තියෙනවා අඳුරට සාප නොකර එක පහනක් හරි දල්වන්න කියලා. ඔයා කළෙත් එහෙම වැඩක්.”

“දැන්වත් අපි පාට පාට කණ්ණාඩිවලින් බලන එක නතර කරන්න ඕනෑ නේද අයියේ.” තරුණයාගේ කටහඬේ තිබුණේ එඩිතර ස්වරයක්. මම ඔහුගේ පිටට තට්ටු කළා. දැන් බස් එක වාහන තදබදයෙන් මිදිලා. වැස්සත් පායලා. විවර වෙලා තිබුණු කවුළුවලින් සිහිල් සුළඟක් ගලාගෙන එන්ඩ පටන් ගත්තා. ඒ සිසිලස මගේ ගතට වගේම සිතටත් පවන් සලනවා වගෙයි මට දැනුණේ.