සඳ කිඳුරු, දිය කිඳුරු හා ලිය කිඳුරු

“සඳ කිඳුරුදා කව“ උගන්වන විට ගුරුවරයාට ලැබෙන්නේ ප්‍රශ්න මල්ලකි. එය “බද්දරමල්ලට” නොදෙවෙනි ය.

“සඳ කිඳුරො කියන්නෙ කොයි වගේ සත්තුන්ට ද?” එක ළමයෙක් අසයි.

“එතකොට දිය කිඳුරො කියන්නෙ සඳ කිඳුරන්ට ම ද? ඒ තවත් ශිෂ්‍යයෙකි.

“කිඳුරො දැකපු අය ඉන්නව ද?” දිගු ඇස් ඇති වැඩිපුර කතාබහ නොකරන ගැහැනු ළමයෙක් ද සිය කුතුහලය නිසා ම මන්ද්‍ර ස්වරයෙන් විමසන්නී ය.

“කිඳුරො හිටියෙ ඉන්දියාවෙ ද? නැත්නම් ලංකාවෙත් හිටිය ද?” ඒ ප්‍රශ්නය පන්තියේ කටකාර ම ගැහැනු ළමයාගෙනි.

ගුරුවරයාට ප්‍රශ්න වැලකි. කොතෙක් උත්තර දුන්නත් සිසු සිසුවියන්ගේ කුතුහලය සන්සිඳෙන්නේ නැත. අද බද්දරමල්ලේ “සංහිඳ පාමුල” තුළින් කිඳුරන් ගැන ලියන්නට කල්පනා කළේ කුතුහලයෙන් පිරි එවැනි දරුවන් උදෙසා ය. එසේ ම ඔවුනට ශිල්ප සාදන ගුරු මහත්ම මහත්මීන්ගේ ද ප්‍රයෝජනය උදෙසා ය.

ඇත්තෙන් ම කිඳුරන් සියැසින් දුටු කෙනෙක් නැත. කිඳුරෝ වනාහි පුරාකථාමය සත්ත්ව විශේෂයකි. පෙරදිග හා අපරදිග යන දෙදිගම චිත්‍රවල ද කැටයම්වල ද කිඳුරන් නිරූපණය වී තිබේ. ඒවාට අනුව මෙම කිඳුරෝ අර්ධ මනුෂ්‍ය, අර්ධ සත්ත්ව ස්වරූපයක් ඇති සත්ත්ව විශේෂයක් වෙත්.

ආනන්ද කුමාරස්වාමි මහතා සිය “මධ්‍යකාලීන සිංහල කලා” නම් වටිනා කෘතියේ දී කිඳුරන් හෙවත් කින්නරයන් ගැන හඳුන්වා දෙයි. “සිංහල සිත්තරුන්ගේ කිඳුරෝ වූ කලී ඌර්ධව කාය මනුෂ්‍ය හා අධඃ කාය පක්ෂි රූපකාර සත්ත්වයෝ ය. දිය කිඳුරකු වැනි වුව ද මිනිස් අත් හා උරහිස් ද පියෑඹීමට තරම් විශාල නොවූ පියාපත් ද ඇත්තේ ය. අනෙක් මිථ්‍යා සත්ත්වයන් මෙන් මොවුන් ද හිමාලයෙහි ඒ කල්පිත භාරත වනයෙහි වෙසෙතියි යෙති.” (මධ්‍යකාලීන සිංහල කලා - ආනන්ද කුමාරස්වාමි)

කුමාරස්වාමි මහතාට අනුව “ලිය කිඳුරු” හා “දිය කිඳුරු” යන දෙවර්ගය ම කින්නරාවෝ ය. කින්නරාවන්ගේ පිරිමි සතුන් වන කිම් පුරුෂයෝ කින්නරාවන්ට වඩා වෙනස් ය. අශ්ව සිරුරක් හා මිනිස් මුහුණක් උනට ඇත.

මානසාරයේ සඳහන් වන ආකාරයට කින්නර ලක්‍ෂණ මෙසේ ය. “පාද තිරිසන් සතුන්ගේ මෙනි. සිරුර මිනිස් ස්වභාව දරයි. මුහුණ ගුරුළෙකුගේ වැන්න. බාහු දෙකේ පියාපත් දෙකකි. හිස් මුදුන (මකුටය) නෙළුම් මලකින් සැරසිණි. පැහැය අඳුරු ගැසුණු මලක් සේ ය.”

පෙරදිග දේවයෝනි විශේෂයක් සේ සැලකෙන කිඳුරන් හෙවත් කින්නරයන්ගේ ග්‍රන්ථාගත ප්‍රභේද තුනකි. එනම් ලිය කිඳුරු (ලතා කින්නර), වන කිඳුරු, මුහුදු කිඳුරු (දිය කිඳුරු) ය වර්ග තුනය. එහෙත් ගල් කැටයම් හා බිතු සිතුවම් අතර තවත් ප්‍රභේද දෙකකි. එනම් පක්‍ෂි කින්නර හා චන්ද කින්නර (සඳ කිඳුරු) ය. මිනිසුන්ගේ වැනි උඩුකය හා ලතා ගුල්මයක් වැනි යටි කයක් ද ඇත්තේ ලිය කිඳුරු යි. පක්ෂි කින්නරයන්ට ඇත්තේ අඩක් පක්‍ෂි ශරීරය සමුද්‍රය හා ජලය ආශ්‍රිත කිඳුරන් ජල කිඳුරන් ය. මෙම දිය කිඳුරන්ගේ සිරුරේ ඉහළ කොටස මිනිස් ආකාරය. පහළ කොටස මත්ස්‍යාකාරය.

කුමාරස්වාමි මහතා සිය “මධ්‍යකාලීන සිංහල කලා” ග්‍රන්ථයේ සඳ කිඳුරු ජාතකය දැක්වෙන පිත්තල හෙප්පුවක පියනේ ඇති චිත්‍රයක් ගෙන හැර පායි. එහි ද උඩුකය මිනිස් ස්වරූපය ඇති යටි කය පක්ෂි ස්වරූප ඇති කිඳුරා හා කිඳුරිය දැකිය හැක.

බෞද්ධ ග්‍රන්ථ අනුව බුදුන්වහන්සේගේ දෙපතුළ යට පැතිවල එක එකෙහි එකසිය අට බැගින් ඇති මඟුල් ලකුණු අතර ද කිඳුරන් දෙදෙනකුගේ හා කිඳුරියන් දෙදෙනකුගේ රූ සටහන් පිහිටා ඇත. හින්දු ධර්මයට අනුව කින්නරයෝ හේමකුටයෙහි වසන වෛශ්‍රවණගේ (කුවේරගේ) අනුචරයෝ ය. බෞද්ධ පොත්පත්වල මෙන් ම ජෛන පොත්පත්වල ද කින්නරයන් දේවගණයන් අතරට ඇතුළු කර ඇත.

සාංචි විහාරයට අයත් ගල් කැටයමක පක්ෂි කිඳුරන් නිරූපිත ය. ඩෙකාන්හි අයිහෝලේහි ශෛලමය ශිව දේවාලයේ සීලිමේ ලතා කින්නර යුවළකගේ කැටයමකි. ඩෙකාන්හි ජෛන විහාරයක ද සීලිමේ කිඳුරන් නිරූපිතය.

කිඳුරා වස් කුළල් පිඹින්නට හා ගී ගයන්නට දක්‍ෂය. කිඳුරිය මිහිරි හඬින් ගී ගැයීමට ද ලීලෝපිතව නටන්නට ද දක්‍ෂය. මෙවන් කිඳුරු යුවළක් අපේ ජන විඥානය තුළ නිධන්ගතව ඇත්තේ “චන්ද කින්නර” ජාතකය තුළිනි. එහි කිඳුරා වස්කුළල් පිඹින විට කිඳුරිය නටන්නීය. ඇය දැක රාගයෙන් මත්වන බරණැස බඹදත් රජ කිඳුරා විද මරා දමයි. ඉන්පසු යුගයෙන් යුගයට මෙම කතාව ප්‍රතිනිර්මාණය විය.

විල්ගම්මුල හාමුදුරුවෝ ඒ ඇසුරින් “සඳ කිඳුරු දා වත” කළහ. ඉනික්බිති කෝලම් නාටක කරුවෝ සිය කෝලම් රංගන අවසානයේ සඳ කිඳුරු කථාව රඟ දැක්වූහ. පරම්පරා ගණනක ගැමියෝ කරුණා රසයෙන් අනූන මේ නාටකය නැරඹූහ. සරච්චන්ද්‍රයන්ගේ මනමෙ රංග ගතවීමෙන් පැරැණි දේශීය නාටක ප්‍රතිනිර්මාණය වන්නට වූ විට ගුණසේන ගලප්පත්ති සඳ කිඳුරු නූතන වේදිකාවට ගෙන ආවේ ය.

අශෝක හඳගම සිය ප්‍රථම සිනමා නිර්මාණය නම් කළේ ද “චන්ද කින්නරී” නමිනි. එහි කිඳුරියක නොවූවත් සඳ කිඳුරිය සේ ම සිය මියගිය සැමියා වෙනුවෙන් දුක්ගන්නා ගැහැනියකගේ ඛේදාන්තය නිරූපණය විය. නිශ්ශංක විජේමාන්න “චන්ද්‍ර කින්නරාවී” නමින් කෙටිකතාවක් ලීවේ ය. එහි මියගිය බිරිඳ සිහි කරමින් වන බූටෑවේ ඇවිදින මිනිහෙකුට සඳ කිඳුරිය මුණ ගැහෙයි.

“අපේ ස්ත්‍රියාවකගේ ලෙසින් ඉණෙන් පහළ පුළුල් උකුලක් ඈට නොතිබුණා ය. මොනරෙකුට බඳුව පිල් කඳක් බඳින් විහිදුණේ ය. එයත් සඳ වතුරෙන් ගලා ගෑ සේද රෙද්දක් සේ ය. සියුමැලිය නැත්නම් සුදුමැලිය. කාලාන්තරයක් නිතොර අව් පිණි ගැට මෘදු වූ සිල් රෙද්දක් සේ චාම් ය. පරවි කිරිල්ලකගේ සේ වුවත් ඇගේ රෝස පෑ පායුමය නිවුණු පෙනුමක් ගෙන දුන්නේ ය.

කඳෙන් පහළ එසේ වුවත් උඩුකය දිළිණි. ඇත්තට ම බ්‍රහ්මදත්ත රජ්ජුරුවො නෙවෙයි තමනුත් කැළඹෙනව නේද කියල හිතුවත් මේ අපේ බෝධිසත්ත්වයන් වහන්සේට භාර්යාව වූ උත්තමාවිය නොවෙයි ද කියල මොහොතක් කල්පනා කළේ ය.” (චන්ද්‍ර කින්නරාවී – නිශ්ශංක විජේමාන්න)

චන්ද්‍ර කින්නර ජාතකය පාදක කරගෙන හා එහි ආලෝකය ලබමින් බිහි වූ කාව්‍ය හා ගීත නිර්මාණ ගැන කතා කරන්නට ගියහොත් පිටු ගණනාවක් වැය වනු ඇත. එබැවින් අපේ කිඳුරුවත මෙතෙකින් හමාර කරමු.