උඩ බොස්ලා හෙවත් නාට්‍ය කලාවේ දුක්ගන්නා රාලලා

නාට්‍යයක් කරන්න හිතෙන්නේ අපල කාලයට යැයි කතාවක් අප අතර පැවතුණි. ලංකාවේ නාට්‍යයක් කිරීම කොතරම් දුෂ්කර ක්‍රියාවක් ද යන්න එහි සැඟව ඇති යටි අරුතයි.

නාට්‍යය නමැති සාමුහික කලාවේ දී එහි නිෂ්පාදකයාගේ සිට නාට්‍ය බසයේ රියැදුරු දක්වා ම මහත් වෙහෙසක් ද කැපවීමක් ද දරති. ඒ අතුරින්, සිනමා හා ටෙලි නිෂ්පාදනයන්හි දී “යුනිට් එක” නොහොත් කාර්මික ශිල්පීන් පිරිසක්, නාට්‍ය කලාවේ දී වේදිකා පාලකවරුන් හා නේපත්‍ය සහායකයන් කිහිප දෙනාත් වැඩි “කට්ටක්” කන නමුත්, හැම විට ම ඔව්හු අඩු ආදායම් ලාභීහු ය.

ඒ කෙසේ වෙතත්, කණ්ඩායමක් වශයෙන් ගත්කල සියලු ශිල්පීන් අතර ඇත්තේ සහෝදරාත්මක සහජීවනයකි. නිලතල, බලතල වේදිකාවටම පමණි. සියල්ලෝ ම අයියලා - මල්ලිලා ය. අක්කල – නංගිලා ය. අන්කල්ලා - ඇන්ටිලා ය.

නාට්‍ය දර්ශනයක් අවසානයේ සංවිධායකවරු හෝ නිෂ්පාදකවරයා විසින් රාත්‍රී භෝජනයට පෙර පොඩි සාදයක් පැවැත්වීම සිරිත ය. තිබෙන විදිහකට මුහුණ කට සෝදාගෙන, දහදියෙන් පෙඟුණු ඇඳුම් මාරු කොට නිදහස් තැනකට යන රංගන ශිල්පීහු, මධු විතින්, රස බසින් විනෝද වන්නට පටන් ගනිති. ඇතැම් විට මෙය සිදුවන්නේ නාට්‍ය ශාලාවෙන් තරමක් ඈතින් පිහිටි සංවිධායකගේ නිවසේ ය.

නැතිනම් ඔහු විසින් තෝරාගත් අවන්හලක හෝ බොජුන් හලක ය. ගී ගැයීමේ හැකියාව ඇති නළු - නිළියන්ට සංවිධායකවරුන්ගෙන් ගැලවීමක් ලැබෙන්නේ නැත. නාට්‍ය ගීතවලින් ඇරඹෙන “සාජ්ජය” පැරැණි චිත්‍රපට ගීත දක්වාම දිගු වන්නේ සංවිධායකගේ සංග්‍රහ ශක්තිය අනුව ය.

මේ සාදය අතරමැද දී පැමිණෙන, වේදිකා පාලකවරු ඉතිරි වූ “කොට” දෙස බැල්ම හෙළති. ඔවුන්ගේ පමාවට හේතුව නාට්‍යයේ වේදිකා පසුතල හා වෙනත් උපකරණ බසය තුළටත්, උඩටත් පැටවීමට බාරව තිබීම ය.

සනත් ජානක

අජිත් ජිනදාස විසින් “වේදිකාවට” කැඳවාගෙන එනු ලැබූ අතුල චන්ද්‍රපාල නොහොත් පොඩි විජේ (විජේ මල්ලි) සෙට් බෑමේ සහ පැටවිල්ලේ විශේෂඥයෙකු බවට පත්වන්නේ කෙටි කාලයකිනි. බසයේ උඩට නඟින විජේ මල්ලි, එකින් එක එවිය යුතු “සෙට් කෑලි” ගැන, පහළ සිටින සිය සගයින්ට නියෝග දෙයි. සැබැවින් ම ඒවා නියෝග ය. ඔහුගේ උපදෙස් කඩවුණහොත් රංග භාණ්ඩයක්, පසුතල කොටසක් පහළ ඉතිරි වෙයි. එවිට විජේ මල්ලි, බසයේ උඩ සිට ම සිනාසෙයි.

“මං කිව්වනෙ උඹලට ඔය ටික”

මේ නිසා, ඉබේටම වාගේ උඩ වැඩ ටික විජේ මල්ලීගේ ම කරපිට පැටවුණි. කල්යාමේ දී කවුරුත් පාහේ ඔහු හඳුන්වන්නට ගත්තේ “උඩ බොස්” යනුවෙනි.

හැම නාට්‍ය කණ්ඩායමකට ම තමන්ගේ ම “උඩ බොස්” කෙනෙක් ඇත. සනත් ජානක ද, එබඳු ජනප්‍රිය, කාර්ය ශූර උඩබොස් කෙනෙකි. හරිහැටි අකුරු නොදන්නා නමුදු පෙළ මතක් කිරීම තම රාජකාරිය වශයෙන් තෝරා ගත් අසෝක සොයිසා ද, උඩ බොස්වරුන්ට සහාය වන, ඔවුන්ගේ හිතමිතුරෙකි. ඕනෑම නාට්‍ය ශිල්පියෙකුට උසුළු විසිළු කිරීමට පසුබට නොවන අසෝක, එනිසාම “කාඩ් උස්තාද්” කෙනෙකු ලෙස ද ප්‍රකට ය. සුනෙත් නන්දලාල්ගේ වැඩ අකුරට ය. ලකී මල්ලි, වේදිකාවේ පොලිස්කාරයා ය.

සනත් ජානක හේරත් තම නාට්‍ය දිවියට දස වසරක් පිරීම නිමිත්තෙන් “තිරයෙන් පිටුපස දස වසරක්” නමින් නාට්‍ය උළෙලක් සංවිධානය කළේ ය. 1998 දී ලුම්බිණියේ පැවති එම උළෙලට ඊ. එම්. ඩී. උපාලිගේ “එව බලව“, සුනිල් චන්ද්‍රසිරිගේ “ගිනිදඬු හෙවන” හා අතුල පීරිස්ගේ “මහා ඊඩිපස්” යන නාට්‍ය ත්‍රිත්වය අයත් විය. (උඩබොස් වරයෙකු වෙනුවෙන් නාට්‍ය උළෙලක් පැවැත්වීම නොනිල ගිනස් වාර්තාවක් වීමට ද ඉඩ ඇත.)

රොජර් සෙනෙවිරත්නගේ “පස්වැන්නා” නාට්‍යයේ ද වේදිකා පාලක වූයේ සනත් ජානක ය. ඔවුන් කුරුණෑගල පැවති දර්ශනයක් සඳහා යන අතරේ, නාට්‍ය බසය කැඩුණි. රියැදුරා මොන සෙල්ලම් දැම්මත් බසය අඩියක්වත් හෙලවුණේ නැත.

නාට්‍ය කණ්ඩායමේ කළමනාකරුවා වූ එඩ්වඩ් චන්ද්‍රසිරි, එහෙ මෙහෙ දිව ගොස් සිමෙන්ති පටවන ලොරියක් සොයා ගත්තේ ය. 3.30 දර්ශනය පෙර කෙසේ හෝ කණ්ඩායම කුරුණෑගලට ළඟා විය යුතු ය. ඔවුන් තවම අලව්වේ ය.

මුලින් ම බසය උඩ තිබූ “සෙට් එක” බිමට බා ලොරියට පැටවුණි. ඉන්පසු පැටවුණේ නළු නිළියන් ය.

“දැන් අපිට එහෙ ගිහින් ලෑස්ති වෙන්න වෙලාවක් නෑ. පුළු පුළුවන් දේවල් ලොරියෙදී ම කරගන්ඩ බලමු.” රොජර් කීවේ ය.

ගැස්සෙන පැද්දෙන ලොරියේ සිටම ඇඳුම් ඇඳීම හා මේකප් කිරීම ඇරඹුණි. (වේෂ නිරූපණ ශිල්පියා ප්‍රියන්ත සිරිකුමාර ය)

සනත් ජානක ද වැඩ පටන් ගත්තේ ය. ඔහු තම සගයන් ද සමඟ “සෙට් කෑලි” අමුණන්නට වූයේ ය. දැන් සිමෙන්ති ලොරිය ඇතුළත කලබලකාරී නේපත්‍යාගාරයකි. යාන්තම් නියමිත වේලාවට, ලොරිය කුරුණෑගල නාට්‍ය ශාලාවට ළඟාවුණි. හැඳ පැලඳගෙන, මේකප් දමාගෙන සිටි නාට්‍ය ශිල්පීන් සිමෙන්ති ලොරියෙන් බසිද්දී, කල්තියාම රැස්ව සිටි ප්‍රේක්‍ෂක ජනයාත්, සංවිධායකයොත් ඇස් උඩ තියාගත්හ.

උඩ බොස්ලා, යනු නාට්‍ය ක්ෂේත්‍රයේ සිටින දුක්ගන්නා රාලලා ය. මුලින් ද කී ආකාරයට ඔවුන් තම “උඩ වැඩ” අවසන් කොට භෝජන සංග්‍රහයට යන විට මස් හොද්දේ හොඳිම පමණි. බෝතල්වල පතුල පෑදී ඇත. සෝඩා ද ඉවර ය. උදෑසන සිට වෙහෙසී සිටින සංවිධායකවරු ද, උඩ බොස්ල දෙස නොපහන් ලෙස බලන්නේ, ප්‍රමාද වී පැමිණීම ඔවුන්ගේ වරදක් ලෙස සලකමිනි. “ඉක්මන් කරමු” යි, නළු නිළියෝ ද කියන්නට පටන් ගනිති. (ඒ, බොහෝ විට නිළියෝ ය. නැත්නම් වියපත් නළුවෝ ය.)

උඩ බොස්ලා මේ සියලු දුක් ඉවසා දරා ගනිති. සමහර දාට ඔවුන්ට “එන්ලොප් එකක්” (මුදල්) නැත. එසේත් නැතිනම් එන්ලොප් එක තුළ ඇති ගණන අඩුය.

එවිට මේ අහිංසක උඩ බොස්ලාගේ දෙනෙත් තෙ‍ෙමයි. එහෙත් ඔව්හු කිසිවෙකුටත් දොස් නොකියති. ශ්‍රී ලංකාවේ නාට්‍යයක් කරන්නේ, එහි නිර්මාතෘගේ පමණක් නොව සහභාගිවන්නන්ගේ ද අපල කාලයට බව ඔවුන් අත්දැකීමෙන් ම දන්නා බැවිනි.