අනේ අපොයි! නිදහස් අධ්‍යාපනය

ටොම්සන් මහත්තයාට උසාවිය හන්දියේ ඒ මේ අත බලන්ඩවත් වෙලාවක් ලැබුණේ නැත. ඉලංදාරි රංචුවක් පාර දිගේ දුව ගෙන ආවේ ටොම්සන් මහත්තයාට හැරෙන්නටවත් ඉඩක් නොදෙමිනි. පැත්තකට වෙලා බලා හිටිය ටොම්සන් මහත්තයා කල්පනා කළේ මේ මොකක්ද වෙන්ඩ යන්නේ කියලයි.

ඔක්කොම ඉලංදාරි රංචුව දුවන්නේ එක පැත්තකට ය. අඩු ගානේ පොලිසියෙන් එළවා ගෙන එනවාවත් ද දන්නේ නෑ. ඒත් ඉලංදාරි රංචුව පිටි පස්සෙන් එළවා ගෙන එන කෙනෙක් පෙනෙන්නට නැත. අන්තිමේ ටොම්සන් මහත්තයා ඉලංදාරි රංචුවේ අන්තිමේ සිටි එකෙක් අල්ලා ගත්තේ ය.

‘‘... ඇයි මොකද මේ මාව අල්ල ගත්තේ... ? මං මොකක් කළාටද?..’

‘‘... නෑ නෑ එහෙම නෙවෙයි පුතා.. කොහෙද මේ ආතක් පාතක් නැතුව දුවන්නේ... ? මොකක් හරි අලකලංචියක් ද?.’

‘‘... නැතුව නැතුව... අලකලංචියක් තමයි....’’

‘‘... මොකක්ද ඉතින් වෙන්ඩ යන්නේ..?’’

‘‘... වෙන්ඩ යන්නේ ... නිදහස් අධ්‍යාපනේ විනාශයි... ’’

‘‘... කවුද එහෙම කියන්නේ...? මට නම් එහෙම දෙයක් තේරෙන්නේ නෑ...’’

‘‘... එහෙම තමයි ටොම්සන් මහත්තයා ආණ්ඩුවේ මිනිහෙක් වෙන්ඩ ඇති. ඒකයි පේන්නේ නැත්තේ.. ඒ වුණාට බලන්ඩ මංජීව සල්ලි කියන්නේ දැන් මේ ලෝක බැංකුවේ උපදෙස් අනුගමනය කරලා නිදහස් අධ්‍යාපනේ විනාශ කර ගෙන යනවා කියලා... අපි මේ දුවන්නේ නිදහස් අධ්‍යාපනේ රැක ගන්ඩ...’’

‘‘... අනේ ඩිංගක් ඉන්ඩ පුතා... මේ කියන්නේ ඇත්ත නම් මාත් එනවා ඔය කියන පෙළපාළියට... මටත් කියන්ඩකෝ ඔය නිදහස් අධ්‍යාපනේ නැති කරන්ඩ ලෝක බැංකුව දීලා තියෙන උපදෙස් මොනවද? ඒවා ක්‍රියාත්මක කරලා නිදහස් අධ්‍යාපනේ නැති කරන්නේ කොහොමද? කියලා..’’

‘‘... අනේ ටොම්සන් මහත්තයා, එහෙම කියන්ඩ නම් අපි දන්නේ නෑ... ඒ වුණාට නිදහස් අධ්‍යාපනය විනාශ කර ගෙන යනවා නේ...’’

‘‘ හරි ඉතින් කොහොමද කියලා කියන්ඩකෝ... ඔහොම නිකං කිව්වට වැඩක් නෑනේ... ’’

‘‘ එහෙම තේරුම් ගන්ඩ ටොම්සන් මහත්තයා, නිදහස් අධ්‍යාපනය විනාශ කරන්ඩ යනවා.. දැන් භාගයක් විනාශ කරලා ඉවරයි.. තව ටිකයි තියෙන්නේ .. ඒකයි අපි මේ දුවන්නේ... ’’

‘‘ ඒ කියන්නේ ඉතිරි බාගේ බේරා ගන්ඩ...’’

‘‘ ඔව්, ඔව්, ’’ කියමින් පුත්තරයා දුවන්ඩ පටන් ගත්තේ ය. ඇත්තට ම නම් මේක හරි පුදුම වැඩක්. නිදහස් අධ්‍යාපනය විනාශ කරන්ඩ යනවා කියලා කියනවා... හැබැයි ඒ කොහොමද කියලා කියන්නේ නෑ. ආ ඔය එන්නේ තවත් පුත්තරයෝ රංචුවක්.

‘‘ පුතා පොඩ්ඩක් ඉන්ඩකෝ...’’

‘‘ ඇයි.. මොකද ටොම්සන් මහත්තයා.. මේ පැත්තෙන් කොල්ලෝ කට්ටියක් දුවගෙන ගියාද?..’’

‘‘ දිව්වා තමයි... ඇයි මොකක්ද වෙලා තියෙන්නේ... ’’

‘‘ මුකුත් වෙලා නෑ... අපි මේ දුවන්නේ අර ගොල්ලන්ගෙන් නිදහස් අධ්‍යාපනය බේරා ගන්ඩ... ’’

‘‘ මට තේරෙන්නේ නෑ... කලින් දුවපු අය කිව්වේ නිදහස් අධ්‍යාපනය බේරා ගන්ඩ දුවනවා කියලා.. මේ පුතාලා කියනවා කලින් දුවපු අයගෙන් නිදහස් අධ්‍යාපනය බේරා ගන්ඩ දුවනවා කියලා.. මට නම් තේරෙන්නේ නෑ..’’

‘‘ මේකනේ ටොම්සන් මහත්තයා... මේවා නිකම් දේශපාලන විජ්ජා... අර ගොල්ලෝ දුවන්නේ නිකං සටන් පාඨයක් අර ගෙන.. ’’

‘‘ මට තේරෙන්නේ නෑ පුතා. ටිකක් පැහැදිලි කරන්නකෝ...’’

‘‘ මේකනේ ටොම්සන් මහත්තයා.. මේක නිකම් සටන් පාඨයක් විතරයි... පාසල් අධ්‍යාපනය දියුණු කරන්ඩ එක එක විදිහේ පියවර ගන්ඩ වෙනවානේ... මීට අවුරුදු හැට හැත්තෑවකට ඉස්සර යොදා ගත්ත ක‍්‍රම දැන් ගැළපෙන්නේ නෑනේ.. ඒකට අලූත් ක්‍රම ඕනෑ... මොකක් හරි අලූත් දෙයක් කරන්ඩ ගිය ගමන් මේ ගොල්ලේ සටන් පාඨයක් හදා ගන්නවා.. ඒකට තියෙන්නේ එකම වචන සෙට් එකක්..’’

‘‘ ඒ කියන්නේ ’’

‘‘ ලෝක බැංකුවේ උපදෙස් අනුව නිදහස් අධ්‍යාපනය විනාශ කරනවා කියලා.. එච්චරයි. අපේ මේ තරුණ මල්ලිලාට ඕක හරි සංවේදී සටන් පාඨයක්... ඉතින් කඩාගෙන බිඳ ගෙන දුවනවා.. රට ගිනි තියන්ඩ හොඳ මාතෘකාවක් නේ මේක... දැන් බලන්ඩකෝ ටොම්සන් මහත්තයා, හැම ආණ්ඩුවක් ම පාසල් දියුණු කරන්ඩ නොයෙක් උපක්‍රම යෙදුවා... මේ ආණ්ඩුවත් එහෙම තමයි... දැන් ක්‍රියාත්මක වෙන අලූත් වැඩ සටහන්වල ප්‍රයෝජන ලැබෙන්නේ අනාගතයේ දී... ඒත් විසඳන්ඩ බැරි ප්‍රශ්නත් තියෙනවා... ඒවාත් විසඳන්න ඕනෑ... ’’

‘‘ මං මේ අහන්නේ පුතා, මේ රටේ ටියුශන් ව්‍යාපාරය ගෙනි යන්නෙත් ලෝක බැංකුවේ උපදෙස් අනුවද? ’’

‘‘ ඒවා මේ සටන් පාඨවලට අයිති නෑ... ඒවා ගැන වචනයක් කතා කරන්නේ නෑ.. මහජන මුදලින් ගුරුවරුන්ට පඩි ගෙවලා, පාසල්වලට පත් කරලා, ආණ්ඩුවෙන් හදන විෂය නිර්දේශයක් උගන්නන්ඩ දාලා තියෙනවා... ටියුශන් කඩ කාරයෝ ඇවිත් ඉස්කෝලේ ඉස්සරහා බෝඩ් එකක් ගහනවා.. අපි අරන් දෙනවා ඒ පාස් කියලා.. ඉස්කෝලේ එහෙම බෝඩ් ගහලා නෑනේ.. ඉතින් ළමයි කල්පනා කරනවා, ඒ පාස් අරන් දෙන තැනකට ගිහින් ඒ පාස් ගන්ඩ ඕනෑ කියලා.. ඉතින් ආණ්ඩුවෙන් ඉස්කෝලේ පවත්වා ගෙන යද්දී, ළමයි සල්ලි ගෙවලා ටියුශන් කඩවලට යනවා... ’’

‘‘ඇත්තම තමයි. මට දැන් තමයි තේරෙන්නේ මේ කතන්දරේ... ’’

‘‘ ටොම්සන් මහත්තයා දන්නවද? මේ දවස්වල ප්‍රයිවෙට් ටියුශන් පටන් ගන්නේ කීයට ද කියලා.. උදේ හතරට.. ’’

‘‘ එතකොට ඒ ළමයි ඉස්කෝලේ යන්නේ නැද්ද? ’’

‘‘ නෑ... ඉස්කෝලේ යන්නේ නෑ.. උදේ හතරේ ඉඳන් ටියුශන් පන්තියේ... මෙන්න මේක තමයි නිදහස් අධ්‍යාපනේ නැති වෙච්චි තැන.. අපි මේ දුවන්නේ මංජීව සල්ලිට කියන්ඩ, ඇත්තට ම නිදහස් අධ්‍යාපනය රැක ගන්ඩ ඕනෑ නම්, මේ ටියුශන් ව්‍යාපාරෙට විරුද්ධව එක බෝඩ් එකක් ගහන්ඩ කියලා පුළුවන් නම්... ’’ කියලා පුතා රංචුව පිටිපස්සෙන් දුවන්නට පටන් ගත්තේ ය. ටොම්සන් මහත්තයා පෙත්සම් කන්තෝරුව අයිනේ පුටුවේ ඉඳ ගත්තේ හතිය ඇර ගන්නට ය.