‘වනවිත්ති’ සාහිත්‍යයේ සැඟවුණු අමුත්තා

උපන් නාගරිකයකු වූ නිසා ම මම ගම පසුබිම් කරගත් නවකතා හෝ වනවිත්ති අළලා ලියැවුණු පොත් කියවන්න දක්වන්නේ ඉමහත් රුචියක්. මාර්ටින් වික්‍රමසිංහ මවපු ගමින් එහාට ගිය කටුරොද ගම්මාන, වැසි දියෙන් ගොවිතැන් කරන ගම්මාන රටේ තිබෙන බව මට අවබෝධ වුණේ කේ.ජයතිලකගේ සහ මඩවල එස්. රත්නායකගේ නවකතා කියවද්දීයි. වික්‍රමසිංහ මවපු ගම සැබෑ සිංහල ගමක් නොව ගාලුපාරේ පිහිටි ගමක් ය කියන චෝදනාව පසුකලෙක නැඟුණු බව ද මෙහිලා අපි අමතක කරන්න නරකයි.

කොහොම වුණත් ‘දිගාමඬුල්ලේ ආශ්චර්ය’ වගෙ වන විත්ති පොතක් කියවද්දි අපිට කාල්පනිකව මැවෙන්නේ ස්පිට්ල්ගේ පොත්වල වන ආකාරයේ පාරම්පරික වැදි ගමක්.

‘දිගාමඬුල්ලේ ආශ්චර්ය’ මුලින්ම පළ වුණේ 1957 දී. ඒ ‘සමන්’ පොතක් විදියට. මෙය ලංකාවේ ප්‍රථම සිංහල ‘වනවිත්ති’ කතා පොත ලෙස පියසේන කහඳගමගේ වැනි ලේඛකයකු වරක් හඳුන්වා තිබුණා මට මතකයි.

‘දිගාමඬුල්ලේ ආශ්චර්ය’ පොතේ කර්තෘවරයා විදියට සඳහන් වන්නේ ‘මායාරංජන්’ නමැත්තෙක්. මොහු කවුද? එය ලේඛකයාගේ ඇත්තම නමද? නොඑසේ නම් එය ආරූඪ නමක් ද? අන්වර්ථ නාමයක් ද? මේ පොත මුලින්ම අතට ගද්දි මා තුළ ඇතිවුණේ එබඳු ප්‍රශ්න කීපයක්.

පස්සෙ කාලෙක කරුණු හොයාගෙන යද්දි මේ ‘මායාරංජන්’ කියන්නේ මහානාම රාජපක්ෂ නම් වූ ගුරුවරයකු බව අපට දැනගන්ට ලැබෙනවා. 1940 ගණන්වල අග භාගයේ දී ඔහු වැව් ගම්පත්තුවට යන්නේ ගුරුවරයෙක්, විදුහල්පතිවරයෙක් විදියට. දමන, පාදාගොඩ, ඉඟිනියාගල වගේ පාසල්වල ඔහු ගුරු වෘත්තියේ නිරත වෙනවා. මායාරංජන් ‘දිගාමඬුල්ලේ ආශ්චර්ය’ ලියන්නේ පාදාගොඩ ඉස්කෝලේ උගන්වන කාලේ.

මායා රංජන් ඇසුරු කළ සුවිශේෂ පුද්ගලයන් දෙන්නෙක් මට මුණගැසී තිබෙනවා. එක් කෙනෙක් ලේඛක පියදාස වැලිකන්නගේ. අනිත් කෙනා මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර. වැලිකන්නගේ මහත්තයා මායාරංජන් එක්ක ඉඟිනියාගල පාසලේ උගන්වලත් තියෙනවලු. එතකොට මායාරංජන් එහි විදුහල්පති. වැලිකන්නගේ එහි උප ගුරුවරයෙක්. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රට මායාරංජන් මුණගැහෙන්නේ ඒ.පී.ගුණරත්නයන්ගේ නිවෙසේ. ඒ.පී.ගුණරත්නත් වන විත්ති සාහිත්‍යයේ විශිෂ්ටයෙක්. මායාරංජන් ගැන ධර්මසිරි ගමගේ ලියූ ලිපියකට අදහස් දක්වමින් මහාචාර්ය සුනන්ද මෙහෙම කියලා තියෙනවා.

“මේ අපූරු පුද්ගලයා හිටිගමන් මා ගල්ඔය, ඉඟිනියාගල මිටියාවත් අද්දරට තවමත් අඬගහගෙන යනවා. යම් විෂයය කරුණක් ගැන ලියන්න පොත් රාක්කයෙන් පොත් අවුස්සන විට මායාරංජන් නම ඇහැ ගැහුණොත් මොහොතකට සිත එක්තැන් වී නිමේෂයක් හෝ සිත එතැන නවතිනවා. ඒ නිමේෂය මතකයේ බොහෝ දුර අප ගෙන යනවා.”

පානම්පත්තුව පැත්තෙම ඉපදී, එහිම හැදී වැඩුණු ගුණසේකර ගුණසෝම නම් වූ ලේඛකයා ‘මායා රංජන්’ ගැන ම විතරක් පොතක් ලියලා තියෙනවා. ඔහු ඒක නම් කරලා තියෙන්නේ ‘මායා රංජන් සොයා යෑම - ඔහුගේ නිර්මාණ, අත්දැකීම් හා අප්‍රකට තොරතුරු’ යනුවෙන්.

මායාරංජන් ගැන කරුණු සොයන්න වැව් ගම්පත්තුව ගියාම ගුණසෝමට එහි නිවෙසකින් ලැබෙන්නේ අයිස් පෙට්ටියකින් ගත් ජෙලි දීසියක්. ඒ ගෙදර ෆෑන් එකක් තියෙනවා. වීඩියෝ ඩෙක් යන්ත්‍රයක් තියෙනවා.

‘දමන’ පාසලේ වර්තමාන විදුහල්පති ගැන ගුණසෝම ගමේ ගැටයකුගෙන් කරුණු විමසනවා. ඔහු උත්තර දෙන්නේ මේ විදියට.

“අපේ ඉස්කෝලේ ඩෙන්ටල් ක්ලිනික් එක ඕපන් කරන්නේ මේ සතියේ. ඒකේ වැඩ වගයකට වෙන්න ඕන ලොකු සර් මෝටර් බයික් එකේ අම්පාරේ ගියා. ඕන නම් හෙට ඉස්කෝලෙට ටෙලිෆෝන් කෝල් එකක් දීලා බලන්න. ඉස්කෝලේ ෆෝන් නම්බරේ නෝට් සික්ස් ත්‍රී ෆෝ නෝට් ත්‍රී සෙවන් නයින්”

අද වැද්දොත් මොබයිල් ෆෝන් පාවිච්චි කරන කාලේ මේ නවීකරණය එක අතකට පුදුමයකුත් නෙමෙයි.

මායාරංජන්ගේ පොත් කියවද්දි අපිට නෙල්ලි කැලයක් ගැන අහන්න ලැබෙනවා. ගුණරත්න නම් වූ කොලුවෙක් ගැන අහන්න ලැබෙනවා. මේ ගුණරත්න කොලුවා කියන්නේ දිසානායක මුදියන්සේලාගේ ගුණරත්න. 2002 වසරේදී එක්තරා පුවත්පත් කලාවේදියකුට ඔහු මුණගැහෙනවා. එතකොට ගුණරත්න 70 හැවිරිදි වැඩිහිටියෙක්. ඔහු මේ පුවත්පතේ කලාවේදියා. ලියන ලිපියට මායාරංජන් ගැන අපූරු තොරතුරු ටිකක් හෙළිදරව් කරනවා. මායාරංජන් පොත් ලියන හැටි ගැන ඔහු කියා ඇත්තේ මෙලෙසින්.

“රාත්තිරියේ ඔය ලියන දේවල් ලියද්දි බෙහෙත් බොනව වගෙ අරක්කු ටිකක් බොනවා. ඒ දවස්වල ගල්ඔය බෝඩ් එකේ නගරයනේ ඉඟිනියාගල. ඉතින් එහෙනුත් කල්මුනෙනුත් රාජපක්ෂ මහත්තයා බඩු ගේනවා. ලිය ලිය ඉන්නවා. හිටපු ගමන් අරක්කු ටිකක් බොනවා. හඳපානේ එළියට ගිහින් ටිකක් කල්පනා කරනවා. ආයේ ලියනවා.” (ලංකාදීප 2002 පෙබරවාරි 10 අම්පාර සමන් දිසානායක ලියූ ලිපියකිනි.)

මායාරංජන් අන්තිම කාලේ නුවරඑළිය කළුකැලේ පාසලෙත් ඉගැන්වූවා. ගුණරත්න ඔහු හම්බවෙන්න එහෙත් ගිහින් තියෙනවා.

“මහත්තයාගේ ගුරු නිවාසය පිටිපස්සේ බැලුවම දාස්පෙතියා ගස්වගෙ කංසා පාත්තියක් තිබුණා. මම මහත්තයාගෙන් මේ ගැන ඇහුවම කිව්වා “ඔය මම බේත්වලට ඕක හැදුවේ. මාව කවුරුවත් අල්ලන් නෑ” කියලා (ඉහත ලිපියෙනි)

මායාරංජන් හෙවත් මහානාම රාජපක්ෂ මිය ගියේ 1968 නොවැම්බර් 17 වැනිදා. ඒ ඔහු උපන් වේයන්ගොඩ මගලෙගොඩදී. කලකට ඉහත ‘පොත් මිහිර’ නමින් මායාරංජන් අනුස්මරණ පුස්තකාලයකට මුල්ගල තැබුණත් අද වෙනකොට එය ඉදි වෙලාද නැද්ද කියලා කියන්න මං දන්නේ නැහැ.