ලිපිකරු මැතිඳු සුරතට ඇල්බට් සිල්වා මමිතුරු මෙපත දෙන් නුඹ යුගතින් අල්වා

“සෑම කලා කෘතියක්ම චරිතාපදානයකි. මුතු ඇටය යනු බෙල්ලාගේ අපදානයයි.”

මෙය, ඉතාලි සිනමාකරු ෆෙදරිකෝ ෆෙලිනිගේ ප්‍රකට කියමනකි.

පසුගිය දිගු සති අන්තය මා ගත කළේ චරිතාපදාන දෙකක් කියැවීමෙනි. ඉන් එකක් බෙම්තොට ඇල්බට් ද සිල්වා පිළිබඳ ව මුල්ලපිටියේ කේ. එච්. ද සිල්වා කිවිඳු විසින් ලියන ලද සිංහල නවකතාවේ පුරෝගාමියා ය. (1966). දෙවැන්න නිමල් ජේ. ගමගේ ලියූ “ඇම්. ධර්මරත්න ලක්මිණි පහන් කතුතුමා” (1986) ය.

උසස් චරිත කතාවක් කියවන පාඨකයාගේ ජීවිත පරිඥානය පුළුල් වෙයි. එසේම එම චරිතය හා සමකාලීන සමාජයෙහි හරස්කඩක් ද දැක ගනී. ඉහත කී චරිතාපදානයන් ද විචිත්‍ර සමාජ සංදර්ශනයන් දෙකක් බඳු ය.

“පහන් කතුතුමා” යනුවෙන් ප්‍රකටව සිටි ධර්මරත්න පඬිතුමාගේ අභාවයෙන් පසු මාර්ටින් වික්‍රමසිංහයන් ලියූ ලිපියක මෙසේ ද සඳහන් විය. “පහන් කතුතුමා බෞද්ධ දර්ශනය ඉගෙන අදීනව සිතන්ට පුරුදුවුණු බුද්ධිමතෙකි. “සත්වෝත්පත්ති විනිශ්චයෙහි නිර්වාණ විභාගය” තරම් නිවන ගැන සිංහලෙන් ලියවුණු අගනා නිර්භය නිබන්ධයක් මා විසින් මෙතෙක් නොකියවන ලදී.” (සිළුමිණ 1948 ජූනි 13)

මැදවියන්ගොඩ විමලතිස්ස හිමියන් කියූ අන්දමට පහන් කතුතුමාගේ අත තරම් බණ ලියූ අතක්වත් හිත තරම් බණ ගැන හිතූ® හිතක්වත් නැත.

බාල වියේදීම පැවිදි වූ ධර්මරත්න පඬිතුමා කලක් බුරුමයේ වාසය කළේ ය. ආපසු ලංකාවට පැමිණ කෙටි කලකින්ම උපැවිදි වන්නේ සිතට දැනුණු නොයෙකුත් කලකිරීම් නිසා ය. එම උපැවිදිවීම ගැන ඇසූ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියෝ, “සසුනෙන් අඩක් නැති වී” යැයි කම්පා වූහ.

පිටු 72 කින් යුත්, නිමල් ජේ. ගමගේගේ ග්‍රන්ථය, ධර්මරත්න පඬිතුමා පිළිබඳ ප්‍රමාණවත් හෝ පර්යේෂණාත්මක චරිතාපදානයක් නොවූවත්, එතුමාගේ ජීවිතයෙහි ප්‍රකට, අප්‍රකට, රසවත් වැදගත් ජවනිකා රැසක් එහි දැක්වෙයි.

අනගාරික ධර්මපාලතුමාගේ දේශනයකදී “පරසුද්දා” යනුවෙන් සුදු ජාතිකයන්ට අපහාස කරන ලදැයි කොච්චිකඩේ උසාවියේ දී නඩුවක් විභාගයට ගැනුණි. “පර” යන වචනයේ නිවැරදි අර්ථකථනය ලබාගැනීම සඳහා, භාෂා විශාරදයෙකුගේ සේවය අවශ්‍ය වූයෙන් ඒ සඳහා කැඳවනු ලැබුවේ ලක්මිණි පහන් කතුතුමා ය.

“පර කියන වචනයේ සිංහල තේරුම පහදා දෙන්න පුළුවන්ද?” නඩුකාරයා ඇසුවේ ය.

“ස්වාමීනි, පර කියන වචනයේ තේරුම “අන්‍ය” නොහොත් පිටතින් පැමිණි යනුයි. මේ වචනය සිංහල බයිබලයේත් තිබෙනවා. පර මණ්ඩලයේ වැඩ සිටි ස්වාමි දරුවාණන් වහන්සේ යනුවෙන් එහිදී යෙදෙන “පර” යනු අන්‍ය යන අදහසයි.”

ධර්මරත්න පඬිතුමාට විරුද්ධ වන්නට කෙනෙක් උසාවියේ නොවී ය. ධර්මපාලතුමා නිවැරැදිකරු වූයේ ය.

පහන් කතුතුමා උපහාස ප්‍රිය පුද්ගලයෙකි. එක් පාඨකයෙක් පුවත්පතට යොමු කළ ලිපියකින් මෙසේ විමසා තිබුණි.

“බෝවෙන රෝගයක් පැතිර යන අවස්ථාවකදී වඩා හොඳ පොල් ගැසීම ද, එසේ නැතිනම් පිරිත් කීම ද?” කතුතුමාගේ පිළිතුර මෙසේ විය.

“ඒ දෙකම හොඳයි. එහෙත් පාචන රෝගයක් වැනි දෙයක් පැතිර යන්නේ නම් පොල් ගැසීමට වඩා පොල් මුඩු ගැසීම වඩා හොඳ ය.”

තවත් එක් පාඨකයෙක්, භික්ෂුවකගේ කිසියම් වරදක් ගැන කියා, ඒ සඳහා කවර විනය කර්මයක් කළ යුතු දැයි විමසුවේ ය. කතුතුමාගේ පිළිතුර වූයේ, එවැනි අයට කළ යුතු විනය කර්ම බුද්ධාගමේ නැති බැවින්, අසල පිහිටි පොලිසියට දන්වා සුදුසු විනය කර්මයක් කරවා ගැනීම වඩා හොඳ බව ය.

මුල්ලපිටියේ කිවිඳුන් ලියූ “සිංහල නවකතාවේ” චරිතාපදානය රසවත් නවකතාවක් බඳු ය. තම යුගය තුළ ප්‍රබල, සශ්‍රීක පෞරුෂයකින් යුතුව සිටි සාහිත්‍යධරයෙකු වූ ඇල්බට් ද සිල්වාගේ ජීවිතය දෙස සීමැදුරු කවුළුවකින් නරඹන්නට ඔහු පාඨකයාට ඉඩ සලසා දෙයි.

විමලා (1892), ආදර හසුන, වෙසක් දූතයා හා සිරිබරී නවකතා ලියා පළකිරීමෙන් සිංහල සාහිත්‍යයට “අමුතු කතා” නොහොත් නවකතා හඳුන්වා දුන් ගත්කතුවරයා වන නමුදු, මෙම අපදානයෙහිදී මුල් තැන ලැබෙන්නේ ගද්‍ය සාහිත්‍යයට වඩා පද්‍ය සාහිත්‍යයට ය.

ඇල්බට් ද සිල්වා ලියූ බොහෝ කවි මේ පොතේදී එක්තැන් වේ. ඒ අතරින් මගේ සිත වඩාත් ඇදී ගියේ ඔහු ලියූ “පිට කවි” වලටය.

එකල විසූ උගතුන්, බොහෝ විට ලියුම් කියුම් හෝ පණිවිඩ හුවමාරු කර ගත්තේ කවියෙනි. ලියුම් යැවුවේ ද පණිවිඩකාරයෙකු අතේ බැවින්, කවරයෙහි ලිපිනය වෙනුවට, “පිට කවියක්” ලිවීම සිරිත විය.

කවිරාජ පණ්ඩිත ඩී. ඇම්. සිල්වා, තමන් කළ දහම් ගැට සංශෝධනයෙහි ‍ෙකාටසක් ඇල්බට් ද සිල්වා වෙත යවමින්, ලියූ පිට කවිය මෙසේ ය.

තොටේ බෙම් සිල්ව මිතු මැදි දැකිට්ටුවක්

ගැටේ දහම් මෙලිපිය නොව තෙහෙට්ටුවක්

මිටේ තබා අරගෙනවොත් කැරැට්ටුවක්

කටේ තබමි බොන්නට හොඳ සුරුට්ටුවක්

තවත් රසවක් කවි හසුනක් පිළිබඳ ව, මුල්ලපිටියේ කිවිඳු මෙසේ විස්තර කරයි.

“සුප්‍රසිද්ධ කවියෙකු මෙන් ම උගතෙකු ද වූ ඉඳුරුවේ අයි. බී. දිසානායක මහත්මා මතුගම තැපැල් ස්ථානාධිපති පදවියට පත්ව ආවේ, ඇල්බට් ද සිල්වා අගලවත්තට ගිය අලුත දීම ය. එහි ලියුම් බෙදනු ලැබූයේ මතුගම තැපැල් පළෙනි. එකල වතුකාර සුද්දන්ගේ ප්‍රියත ම පුවත්පත වූයේ “ටයිම්ස්” පත්‍රයයි. වතුකාරයන්ට හැර, මුළු මතුගම තැපැල් කාර්යාලයට ම ලැබුණු එකම ටයිම්ස් පිටපත හිමිවූයේ මුදලිඳුගේ ලිපිකරු තැනට ය.

(ඔහු, ඇල්බට් ද සිල්වා ය) දැන් මෙන් එකල පත්‍ර බෙදාහරින ඒජන්තවරු පිටිසර සුළු නගර පෙදෙස්වල නුවූහ. කියැවීමෙහි අගය දත් තැපැල් මහතා විය පැහැදමක් නොමැතිව දිනපතා “ටයිම්ස්” පත්‍රය බැලීමට අදහස් කොට ලියන මහත්මයාට මෙසේ ලියා යැවුවේය.

කාලය නමුත් පිනවන ගුණැති සුපවර

කාලය ලෙසිවු කරනා කිරිය මනහර

කාලය පත බලන ලෙස දුනොත් මැතිවර

කාලය සියලු තුති පුද කරමි එකවර

ඒ ලියමනෙහි වූ පිට කවිය මෙසේය.

සිරිදැරු කෙසර රුපු ගජ එඩිහල සොල්වා

පියකරු මුවඟ සරසවි නිවසන ලොල්වා

ලිපිකරු මැතිඳු සුරතට ඇල්බට් සිල්වා

මමිතුරු මෙපත දෙන් නුඹ යුගතින අල්වා

ඇල්බට් ද සිල්වා විසින් තම මිතුරෙකුට හා යතිවරයෙකුට යැවූ ලියුම්වල පිට කවි දෙකක් පහත දක්වමු.

කවටකමට බැනගත් ඇස් රතු වෙන්න

කවටකතුරු නඩුවට අද ගොස් උන්න

කවට නොවන ඇම් සිල්වා මැති ඳුන්න

කවට බසැති මෙම පත අතටම දෙන්න

දුල්ලා යස රැසිනි දස දෙස අලු කරණ

තුල්ලා ගුණ සුමනතිස් යතිඳුනි කලණ

ඉල්ලා එව් පුවත්පත දිනකර කිරණ

කොල්ලා අත එවමි පිළිගනු මැන යෙහෙන

ඇල්බට් ද සිල්වා හොඳ රසවතෙකි. විනෝදකාමියෙකි. සතුන් ඇති කිරීමෙහි මහත් ආශාවක් දැක්වූ ඔහු බෙන්තොට සිය නිවස අසල ගං ඉවුරෙහි කුඩා සත්තු වත්තක් ද පවත්වාගෙන ගියේ ය. බට්ටිත්තාගේ සිට මොනරා දක්වා වන පක්ෂීහු ද, ලේනාගේ සිට ගෝනා දක්වා වන සිවුපාවෝ ද එහි වූහ.

තම සත්තු වත්තේ විසූ තනිකඩ ලේනෙකුට “මනමාලියක්” ඉල්ලා යවා, එය ඉටු නොවූ තැන මිතුරෙකුට යැවූ කවියකි මේ.

ලේනා මවෙත සිටිනා මනමල මහතා

නෝනා කෙනෙක් නැතියෙන් දුක් වැද අතතා

වානා බැරුව දඟලයි කූඩුවේ සතතා

ඌනා කරුණ එවනට ඔබමය සමතා

එය ලද මිතුරා මෙසේ පිළිතුරු සැපයීය.

පෝනියක් කොහෙත් නැත මෙසයම ගත ට

සානයක් ලැබෙනු නැත මෙදා පහර ට

ගෑනියක් වුවත් සපයන්ට හැකි ම ට

ලේනියක් අරුමවද දෙන්ට මෙ ඔබ ට

ශෘංගාරාත්මක කවි ලිවීමෙහි ද හපනෙකු වූ ඇල්බට් ද සිල්වා කතුන්ට කියූ කවිද බොහෝ ය. ඉන් එකක් ඔබේ මතකයෙහි රඳවමින්, අදට සමුගනිමි.

සිසී මෙන් මූණ පියයුරු තැටි හේම

දිසී වන රුවිනි පරදන ලිය කාම

විසී කල සලෙලු මන නෙතැ එක සේම

ජොසී මට රෑට සිහිවෙයි හැම දාම