මාගේ දේශය අවදි කරනු මැන පියාණනී...

බෙදා වෙන් කර පාලනය කිරීමේ උපක්‍රමය අපේ රටට හුරුපුරුදු කළේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්. බ්‍රිතාන්‍යයන්ගෙන් පස්සේ රටේ පාලනය බාරගත් කළු සුද්දොත් සුදු ස්වාමිවරුන්ගෙන් ලැබුණු දායාදයක් වගේ ඒ ක්‍රමය දිගයටම පවත්වාගෙන ගියා.

ජාති, ආගම්, කුල වශයෙන් ‍භේදභින්න වෙලා, පාලකයන් ගහන ගහන පදේට නටන එක තමා පහු ගිය කාලය පුරාම අපි ‍කළේ. මේ විදිහට නොමඟ යාම නිසා රටේ බහුතරයක් ජනයාට අහිමි වුණු දේවල් අනන්තයි-අප්‍රමාණයි.

අපේ රටේ ප්‍රධාන ජන කණ්ඩායම් තුන වන සිංහල, දෙමළ හා මුස්ලිම් ජනයා එකිනෙකාට එරෙහිව කෝපගන්වලා ඊළාම් සිහිනය හැබෑ කරගන්න ප්‍රභාකරන් අවුරුදු තිහක් පුරාම වලි කෑවා. ප්‍රභාකරන්ගෙ ඒ සිහිනය සැබෑ වුණා නම් අද අපේ රටත්, ජනතාවත් මොන වගේ කනගාටුදායක ඉරණමකට ඇද වැටෙන්න තිබුණ ද?

ඇත්ම කියනවා නම් පෘතුගීසී, ලන්දේසි හා ඉංග්‍රීසීන්ගේ ආක්‍රමණවලින් අපේ රටට අත්වෙලා තිබුණු පරාදීනත්වයට ඉතා ම සමීප තත්ත්වයක් තමයි ප්‍රභාකරන්ගෙ ඊලාමේ යුද්ධය සමයේත් අපි අත්වින්දේ. ඒ නිසා ඊළාම් යුද්ධය පරාජය කරලා 2009 අවුරුද්දෙ රට ලබපු ජයග්‍රහණය නිදහස් අරගලයේ තවත් අදියරක් ලෙස සලකන්න පුළුවන්.

යුද්ධය පරාජය වුණත් යුද්ධයෙන් දිනා ගැනීමට අපේක්ෂා කළ ඊළම පිළිබඳ සිහිනය ඊළාම්වාදීන් තවමත් අතහැර නැති බව රට ඇතුළේ වගේ ම රටින් පිටතත් විටින් විට සිදු වන සිදුවීම්වලින් පැහැදිලි වෙනවා.

මානව හිමිකම් එහෙමත් නැත්නම් රටේ අභ්‍යන්තර පරිපාලන කටයුතු වගේ දේවල් දඩමීමා කරගෙන බටහිර රටවල් හා ජාත්‍යන්තර සංවිධාන කුලප්පු කරන්න ඊළාම්වාදීන් පහුගිය කාලයේ කුරුමානම් අල්ලපු හැටි අපි දුටුවා. ලබන මාර්තුවල පැවැත්වෙන ලෝක මානව හිමිකම් සමුළුවේ දී ලෝක බලවතුන් ලව්වා අපේ රට එරෙහිව තදබල තීන්දුවක් ක්‍රියාත්මක කරන්න ඊළාම්වාදීන් පිඹුරුපත් සකසමින් ඉන්න බවත් මේ දවස්වල අහන්න ලැබෙනවා.

ජාත්‍යන්තර වේදිකාව පිටුපසින් මෙවැනි කතා ඇසෙන අතරතුරේ රට ඇතුළෙන් අහන්න ලැබෙන පුවතුත් ඒ තරම් හිතකර නැහැ. විශේෂයෙන් ම මේ දවස්වල ආගම් බේදයක් ගැන ඇහෙන කතා, ඊළාම්වාදීන්ට උඩගෙඩි දීමක් වෙනවා සිකුරුයි.

ත්‍රිකුණාමලයේ දී නිදහස් දින කතාව පවත්වපු ජනාධිපතිතුමන් මේ ආගම් බේද කතාව ගැන අදහස් පළ කළා. එතුමා අවධාරණයෙන් ම පැවසුවේ ජීවිත පූජාවෙන් නිදහස් කරගත් මවුබිම නැවත පාවාදීමට කිසිම කුමන්ත්‍රණයකට ඉඩ නොදෙන බව යි. අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමියනුත් වගකිවයුත්තන්ගේ අවධාරණය මේ ප්‍රශ්නය දෙසට යොමු කරන ලෙස දැනුම් දී තිබෙනවා.

අපේ රටේ ජනතාව බෞද්ධ, හින්දු, ඉස්ලාම් හා කතෝලික වශයෙන් ප්‍රධාන අාගම් හා බැඳී සිටින පිරිසක්. ඇදහිලි ක්‍රම හා වතාවත් අතින් මේ ආගම් දහම් අතර වෙනස්කම් රැසක් තිබෙනවා. නමුත් මේ වෙනස්කම් හේතු කොටගෙන ගැටුම් ඇති කරගැනීමට පොදු ජනතාවට නම් කිසිදු උවමනාවක් නැහැ. ඉතිහාසයේ ඇතැම් අවස්ථාවල ඇති වුණු ආගමික ගැටුම් විමසා බලන විට වුණත් පෙනී යන්නේ බල ලෝභී-අවස්ථාවාදී සුළු පිරිසකගේ උවමනා මත ඒවා සැලසුම් සහගතව ක්‍රියාත්මක කර ඇති බව නේද?

රටට විපතක් වූ හැම අවස්ථාවක ම සියලු ජනයා පන්සල්, පල්ලි කෝවිල්වලට එක්රොක් වී රටේ යහපත පිණිස පුද පූජා පවත්වන්නේ චිරාත් කාලයක සිටයි. ඒ වගේ ම අසල්වැසියකුට විපතක්-කරදරයක් වූ වෙලාවට ජාතිය, ආගම හෝ කුලය ඇදගෙන අහක බලන සිරිතක් පොදු ජනතාව අ‍තරේ නැහැ. පන්සලේත්, පල්ලියේත් කෝවිලේත් දැල්වෙන්නේ එකම පහන් සිළුව බව ඔවුන් හොඳාකාරවම දන්නවා. වෙසක්, තෛපොංගල්, රාමසාන්, නත්තල් කාලවලට ඔවුනොවුන්ගේ ඇදහිලි හා ආගමික වත්පිළිවෙත්වලට ගරු කරමින් ධාර්මික විනෝදයක්- සතුටක් ලබන්න පුරුදු වූ ජාතියක් හැටියට ශ්‍රී ලාංකියන් මුළු ලෝකයටම දෙන්නේ ලොකු ආදර්ශයක්

මෙහෙව් ජන සමාජයක් වෙසෙන රටක ජාතිවාදය හෝ ආගම්වාදය වපුරන්න කවුරුහරි උත්සහා දරනවා නම් ඒක සහගහන අපරාධයක්. එවැනි පටු අදහස්වලට වැට බඳින්න සාමයට-සංහිඳියාවට වගේ ම උපන් බිමට ආදරය කරන සියලු ජනයා එකාවන්ව පෙළගැසිය යුතු යි.

'පටු අදහස් නම් පවුරින් ලෝකය කැබලිවලට නොබිඳී

ඥානය නිවහල් වී

බියෙන් තොරව හිස කෙලින් තබාගෙන

සිටිනට හැකි කොහිදෝ

ඒ වු නිදහසේ ස්වර්ග රාජ්‍යයට

මාගේ දේශය අවදි කරනු මැන පියාණනී.....!

රබීන්ද්‍රනාත් තාගෝර් මහා කිවිඳා සමඟ එක් වී අපි සැවොම කළ කළ යුතු ප්‍රාර්ථනය එයයි.