පොත් ඔච්චරම රස ද?

කලකට පසු ඉන්නල දුටු මා සතුටු වූයේ ළබැඳි යෙහෙළියක මුණ ගැසුණාක් මෙනි. අපේ මුළුතැන්ගෙවල් කුළ කිරුළු පලඳින්නට අර්තාපල් සමත් වූ බව ඇත්ත ය. එහෙත් අපේ කිරිඅම්මලාගේ කුස්සියේ නම් නිතර දෙවේලේ දකින්නට ලැබුණේ කටු අල, ඉන්නල, බතල, කොඩොල්, කිරිඅල වැනි දේශීය අල වර්ගයි. එදා මෙදාතුර මඤ්ඤොක්කා අල නිතර දක්නට ලැබුණද බොහෝ දේශීය අල වර්ග දකින්නට හෝ රස විඳින්නට ලැබෙන අවස්ථා විරල ය.

කොස්, දෙල් හා අල බතල නිතර භුක්ති විඳී. අපේ පුංචි අම්මලා පුෂ්ටිමත්ව හා පැහැරබව බැබළුන අයුරු මා අදත් සිහි කරන්නේ අපමණ ආශාවෙනි. ඔවුන් තරබාරු නොවූ අතර අපූර්ව සුන්දරත්වයකින් යුක්ත වූහ. වේලක් පාසා බත් පතට මුසු කරගත් පලා මැල්ලුම් විසින් ඔවුන්ට උරුම කර දුන් ජවී වර්ණය හා කේශ කල්‍යාණය උදෙසා අද දවසේ අපේ යෞවනියන් කෘතිම ආලේපන ආදිය වෙනුවෙන් වැය කරන මුදලත් කාලයත් පිළිබඳ ව මා සිහි කරන්නේ කනගාටුවෙනි.

සුන්දර පුංචි අම්මලා ද පිරිවරාගත් මම ඉන්නල සහිත මල්ල බිම ගැසුවෙමි.

“අම්මා”

චූටි පතා විස්මයෙන් කෑ ගෑවේය.

“ඇයි?” මගේ ස්වරයේද බැල්මේ ද කුතුහලයක් ගැබ්ව තිබුණේ ඔහුගේ විස්මයත් වේදනාවත් පැහැදිලිව දුටු බැවිනි.

“ඇයි අම්මා....?” ඔහු ද ප්‍රශ්නයක්ම ඇසුවෙන් මම වික්ෂිප්ත වීමි.

“මොකද?” යි ඇසූ මම මඳ සිනාවක් පෑවෙමි.

“අම්මට තරහ ඇවිල්ලද?”

හකුළාගත් දෑස ද ඇද ව ගිය මුව ද මගේ සිනාව පුළුල් කරවයි.

“ඇයි ඔයා එහෙම අහන්නෙ?”

“එහෙනං අම්ම ඕක පොළවේ ගහන්නේ?...”

“කවුරු හරි මොන හරි පොළවේ ගහන්නේ තරහ ගියාම ද?”

“නැත්තං?”

“අනේ මගේ චූටියෝ... ඔයා නං බඩ පිස්සෙක්ම තමා” මද්දුලා ඔහුට බඩපිස්සා යි කියමින් ඔච්චම් කරති.

“ඇයි අම්මා?” මෙවර වික්ෂිප්තව සිටින්නේ මගේ බාලයා ය.

“ඉන්නල සුද්ද කරන්නෙ බිම ගහලා තමා”

“නෑ...? යි ඔහු විස්මය පළ කරයි.

“මං මීට කලිනුත් ඉන්නල උයලා තියෙනවා. ඔයාලට මතක නෑ....”

“ඉතිං අම්මා බිම ගැහුවම තැලෙනවනේ....”

“පුංචි පුංචි අල නිසා සුද්ධ කරන්න අමාරුයි නේ. නෑඹිලියේ අතුල්ලල ගන්නවට වඩා මෙහෙම බිම ගහන එක ලේසියි....”

“හරි ෂෝක් නෙ... අනේ මටත් දෙන්න අම්මේ... මට හයියෙං පොළවේ ගහන්නං...” ඔහු මහත් උවමනාවෙන් ඉල්ලා සිටියේය.

“එහෙම ඕනවට වඩා මෙහෙම බිම ගැහුවොත් උයන්න දෙයක් ඉතිරි වෙන්නෑ...”

එහෙනං?”

“ඒක ගානකට... හෙමිං සීරුවේ කරන්න ඕන දෙයක්...”

“මේ....” ඔහු නොමනාපයෙන් මුහුණ එල්ලා ගත්තේ ය. එසේ වුව පුංචි පුතා. අප වෙත දිව ආවේ සිනාමුසු මුහුණිනි.

“අම්මේ.... අම්මේ...”

“ඇයි මොකෙක්ද?” යි මට පෙර ඇසුවේ චුටි පුතා ය. මිදුලේ හෝ වත්තේ සැරිසරන අතරතුර කුරුල්ලෙක් පමණක් නොව කුරුලු පිහාටුවක් දුටුවද එලෙස බෙරිහන් දීගෙන මා වෙත ඒමට නිවුන්නු පුරුදුව සිටිති. තෙල් තාච්චිය ළිප තිබුණද මා වත්තට හෝ මිදුලට දුවන බව ඔවුන් නිසැකවම දන්නා බැවිනි.

“නෑ නෑ මොකෙක්වෙත් නෑ මේ ජනවාරි මාසෙ නේද අම්මා....?”

පුංචි පුතාගේ දඟකාර බැල්මත් සිනාවත් මගේ මතකය අවදි කරවයි.

“දෙයියනේ මේ ජනවාරි නේන්නං... ඕගොල්ලන්ගේ උපන් දිනේ.....” මම කෑ ගැසුවෙමි.

“ඔව්මයි... අපේ උපන්දිනේ” චූටි පුතා උඩ පැන්නේය.

මගේ උපන් දිනේ වෙනුවට අපේ උපන් දිනේයි කියන්නට සිදුවූ පොඩිත්තා දෙස මම ආදරයෙන් බැලුවෙමි.

උපන් දින සාද පවත්වා නැතත් හැම දරුවෙකුගේම උපන් දිනය වෙනුවෙන් යමක් කරන්නට මම වගබලා ගනිමි. ඔවුන් ඉගෙනුම ලබන පංතියේ දරුවන් උදෙසා කිසියම් රසවත් කෑමක් පාසල් පුස්තකාලයට පොතක්... පන්සලේ සාමණේර හාමුදුරුවන් දෙනමට පොත් කීපයක් තෑගි කිරීම වැනි කාරියක්. ඉටිපන්දම් උපන් දින කේක්. වර්ණවත් බැලුන්, විසිතුරු සැරසිලි ඉල්ලා මගේ දරුවෝ කිසි කලෙකත් ඇවටිලි නොකරති. ඇතැම් උපන් දිනයකදී පැළයක් පිටුවීමටද අපි අමතක නොකරමු. ඒ හැරුණුකොට කිරිබතක් පිස ගනිමින් දෙහි මුසු කළ ලුණු මිරිසක් ඇඹරීමයි මගේ උපන් දින සාදයේ අනිවාර්ය අංගය.

“ඔය දෙන්නගේ දහවෙනි උපන් දිනේ... අපි මොකද කරන්නේ මේ පාර....?

ඉන්නල මල්ල මුළුමනින්ම අමතක කර දැමූ මම දෙනුවන් දෙස බැලුවෙමි.

අපි පංතියේ ළමයින්ට යෝගට් අරං දෙමු. ඒ ගොල්ලො යෝගට් කන්න ආසයි.

චූටි පුතා යෝජනා කළේය.

“නෑ අම්මේ අපි අයිස්ක්‍රීම් හරි චොක්ලට් හරි අරන් දෙමු...”

පුංචි පුතා තවත් යෝජනාවක් ගෙනාවේය.

“හැබැයි ඉතිං ඔය ඔක්කෝටම වඩා රස දෙයක් තියෙනවා.”

“මොනවද ඒ? යෝගට් අයිස්ක්‍රීම් චෝක්ලට්වලටත් වඩා රස දෙයක්?”

නිවුන්නු ඇසුවේ පුදුමයෙනි.

“ටොපිද?”

“ඊටත් වඩා රසයි...”

“අනේ කියන්නකෝ අම්මා”

ඔවුන් පෙරැත්ත කරන්නට වූයේ නොඉවසිල්ලෙනි.

“මේ....ඔයාලම කියන්නකෝ”

විදහා ගත් ඇස්... විවර වූ තොල්.... දස වසක් සපුරන්නට ඔන්න මෙන්න කියා සිටින ඇබිත්තන් මිනිසුන් දෙදෙනා අැකයට ගෙන අතොරක් නැතිව සිඹින්නට ඇත්නම්....”

අවුරුදු දහයකට පෙර ඔවුන් මා තුළ සැඟව සිටි අයුරුත් මෙලොව අඳුරත් ආලෝකයත් අනන්ත කලිකලහයත් මධ්‍යයට ඔවුන් සපැමිණි මොහොතක් සිහිපත් වූයෙන් මගේ හදවත බරව ගියේ ය. තුන් නිවුන් සිවු නිවුන් පමණක් නොව පස් නිවුන් දරු උපත් ද සිදුවන බැවින් මේ නිවුන් උපතේ අරුමය කුමක්දැයි කිසිවෙකු සිනා පහළ කරන්නට බැරි නැත. එහෙත් ගසක රිකිල්ලක් සුදු වලාකුළක්... නිල් දිය දහරක් විකසිත කුසුමක් පවා ආශ්චර්යයක් වූ එකියකට දරු උපතක් ද ආශ්චර්යයක් නොවේද....”

“අනේ අම්මේ කියන්නකෝ”

“හිතන්න ළමයිනේ චුට්ටක්”

“ඊට වඩා රස කෑමක් නෑනේ. අඹ ද? ඇපල්ද? පේරද? මිදි ද...?”

“කෑමක් ඉතිං කෑවා... ඉවරයි... ඒ වගේද පොතක් පතක්...”

“පොත්? “

ඇස් හතරක විමතිය විඳ දරා ගැන්ම පහසු නැත.

“පොත් ඔච්චරම රස ද?”

“නැතුව.... පොත් කියවීමෙන් ලැබෙන රසය කොයිතරම් කියලා වචනයෙන් කියා නිම කරන්න බෑ.... තේරුණාද මගේ පුංචි මහත්තුරු දෙන්නට...”

ඔවුන් එකිනෙකා දෙස බැලුවේ හකුලාගත් මුහුණුවලිනි.

“කිඹුල්ලුන්ගේ උපන් දින සාදය සැලසුම් කරනවා වගෙයි...”

පොඩි පුතා සුපුරුදු පරිදි සරදම් කරයි.

“නෑ නෑ සාදයක් නෑ....”යි මම වහාම කීවේමි.

“අම්මට ඉතිං සාද අරහංනේ...”

“එහෙම නෙමේ.... ඒ වුණාට ඉතිං නිෂ්ථල වියදම් මොකටද... පලක් ඇති දෙයක් එපයි කරන්න...”

“මේ දෙන්නගෙ උපන් දිනේට ඉතිං සතුටු වෙලා හරියන්නෑ. දුක් වෙනවා මිස...”

මද්දු අපේ කතාවට එකතු වූයේ පේර ගසට නඟිමිනි.

“ඇයි අප්පේ දුක් වෙන්නේ? මෙච්චර මේ සුරතල් ලස්සන කොලු පැටව් දෙන්නෙක් ඉපදිච්ච එක කොච්චර හොඳද.... මම අසමි.

නෑ ඉතිං තුනට බෙදිච්ච හැම කෑමක්ම පහට බෙදන්න වුණේ මේ දෙන්න ඉපදුණාට පස්සෙනේ....”

අපි මහ හඬින් සිනාසුණෙමු.

“එතකොට අම්මා මේ පාර අපේ උපන් දිනේට පංතියේ ළමයින්ට දෙන්නෙ පොත්ද...?”

“ඔව්... කතන්දර පොත්....”

“පොත් හතළිහක්? බර ගාණක් යයි...” පොඩි පුතා අනතුරු ඇඟෙව්වේය.

“ඒ වගේද කතන්දර පොතක් තෑගි ලැබෙන ළමයෙකුට දැනෙන සතුට... ඒ සතුට මිල කරන්න බෑ. පොඩි පුතා” මගේ හැඟීම්බර හඬ අභියස ඔහු නිහඬ විය.

අන්තිමේදී දෙදෙනාගේම උපන් දිනේදී යහළු යෙහෙළියන් අලුත්ම අලුත් කතන්දර පොත් අතැතිව සතුටු සිනා පෑහ. පංතියේ ළමයින් සියලු දෙනා නැඟී සිට “හැපි බර්ත්ඩේ....” යි සුභාශිංසනය කරන කළ ලැජ්ජාවෙන් මිරිකුණු එක් බඳු දෙදරුවන් දෙස මා බලා සිටියේ රටක් රාජ්ජයක් වසාගත් රැජනකගේ ආඩම්බරයත් අභිමානයත් පිරී ඉතිරී ගිය හදවතිනි.