නිදහස

මහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබා අවුරුදු 65ක්ලු? හැමෝම නිදහස් සමරුව වෙනුවෙන් එක එක විදිහේ වැඩ කළා. අඩුම ගාණේ ගේ ඉස්සරහ නැත්නම් උළුවස්සේ හරි ජාතික කොඩියක් දැම්මා. අඹ ගහ යට පුංචලා පැංචිලා ටිකත් නිදහස් සමරුවට මොනවා හරි කරන්න හිතාගෙන ඉස්කෝලෙ තිබිච්චි නිදහස් සමරු උළෙලටත් සහභාගීවෙලා ගෙදර යන ගමන් අඹ ගහ යටට රැස්වුණා.

” දැන් ඉතිං මොකද කරන්නේ? අඩුම ගාණෙ කවුරුවත් කොඩියක්වත් ගෙනත් නෑ” ලොකු පුංචා චෝදනා කළා.

” ඒක නේන්නම් ඉස්කෝලෙට අරන් ගිය කොඩි ටික හොරෙන් ගලවගෙන එමු” කළු පුංචා යෝජනා කළා.

“හොරෙන් ගෙනෙන කොඩියෙන් ජාතික උත්සවයක් සමරන එක හිතට හොඳ නෑ” කහ පුංචා පෙන්වා දුන්නා.

”ජාතික වශයෙන් කරන ලොකු ලොකු හොරකම් තිබුණත් කොඩියක් වගේ පුංචි දෙයක් ජාතික මට්ටමට ඇත්තටම ගැළපෙන්නේ නෑ” රතු පුංචත් හොට දැම්මා.

රොත්ත බුරුත්තම නිස්සද්දව ටිකක් කල්පනා කළා. මෙතන ඇත්තේ කොඩියක් පිළිබඳ ප්‍රශ්නයක් නොවන වග රතු පුංචාගේ අදහස වුණා.

“කොඩියක් ගැහුවම ප්‍රශ්නෙ විසඳෙනව නම් මං කොහෙන් හරි කොඩියක් ගෙනත් දෙන්නම් “රතු පුංචා කීවා.

“ඇත්තටම මෙතන ප්‍රශ‍්නෙ කොඩියක් නැති එකද?” ලොකු පුංචත් හතර අත කල්පනා කළා. ඔය අතරේ කහ පුංචා අපූරු යෝජනාවක් ගෙනාවා.

“හැමෝම කළේ කොඩිය උස්සපු එක විතරයි. අපි ගෙවී ගිය 65 වසරක ඉතිහාසය දෙස හැරී බලමු. අපට වැරදුණු තැන්, නිදහසේ නාමයෙන් අප මේවන විට ලබාගෙන ඇති ප්‍රයෝජන. අනාගත සැලසුම්” කහ පුංචා ඇස් කරකව කරකව පැහැදිලි කළා. හැමෝම උනන්දුවෙන් අහගෙන හිටියා. එකඟත්වය පළ කළා. ලොකු පුංචත් එකඟත්වය පළ කරන අදහසින් හිස හෙළෙව්වා. දැන් හැමෝට සතුටුයි. ඒත් සුදු පුංචගෙ හිතට හරි නෑ. සුදු පුංචා කණ්ඩායමේ කෙළවර ඉඳන් අතක් ඉස්සුවා.

” ඔව්. ඒ අදහසට දෙයක් එකතු කරන්න තියෙනවනම් ඉස්සරහට ඇවිත් කියන්න” කහ පුංචා ආරාධනා කළා.

හෙමින් හෙමින් ඉස්සරහට ආපු සුදු පුංචා බයෙන් බයෙන් කට හඬ අවදි කළා.

” හැටපස් වසරක ඉතිහාසය දෙස හැරී බලන එක නම් හොඳයි. ඒත් ඉතිං අපට ඒ ගැන කතා කරන්න තරම් වයසක් අත්දැකීමක් නෑනේ? අපේ අප්පුච්චලාටවත් අවුරුදු 65 ක් නැති එකේ අපි ඒ ගැන කතා කරන්නෙ කොහොමද මන්දා” සුදු පුංචා කියා සිටියා.

” ඇත්ත නේන්නම් .” ඊට පස්සේ හැමෝම සුදු පුංචා ගේ අදහස පිළිගත්තා. සුදු පුංචට සුබ පැතුවා. දැන් ලොකු පුංචගෙ හිතට හරි නෑ. අන්තිමට ආව අදහසත් චකබලාස් වුණා. ටිකක් කේන්තියෙන් වගේ ලොකු පුංචා නැඟිට්ටා.

” මේක හරියන්නෙ නෑ. මං දැන් ජාතිය අමතා 65 වන නිදහස වෙනුවෙන් කතා කරනවා. හැමෝම අහන්න සූදානම් වෙන්න”

ලොකු පුංචා ගල උඩට නැංගා. අනෙක් පුංචලා පැංචිලා අඹ ගහ යට ගලෙන් පහලට බැස්සා. ලොකු පුංචා පටන් ගත්තා.

” අපි අභිමානවත් ජාතියක්. අපි පරදේශක්කාරයන්ට කවදාවත් යටත් වුණේ නෑ. අපේ ම සහෝදරියො සෞදියේ හිස ගසා දාන කොට ඒකට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විරෝධය පාන්නවත් අපට කොන්ද පණ තිබ්බෙ නෑ. සුද්දො අපේ රට කෑවා. අපි හැමදාම රට හැදුවා. සුද්දො රේල් පාරවල් හැදුවා. ඒව දිගේ අපේ සම්පත් උන්ගෙ රටට ගෙනිච්චා. අපි අධිවේගී පාරවල් හැදුවා. මං තීරු 4ක් දෙකක් වෙලා හරි ඉතිරි දෙකේ ඒව සාක්කුවට දාලා හරි අපි සංවර්ධනය කළා. අපි ඒව ලෝකෙට පෙන්නලා තවත් මේ රට සූරා ගෙන කන්න ලෝකෙ වටේ උන්ට ආරාධනා කළා.”

ලොකු පුංචගෙ කතාවේ අගක් මුලක් පිළිවෙළක් නෑ. කියන්නෙම එකිනෙකට පරස්පර කතා. අහගෙන ඉන්න අමාරු වුණත් කට්ටිය අහගෙන හිටියා. ඒත් මේ විදිහට කතාව කරගෙන යද්දී කහ පුංචා, ලොකු පුංචාගෙ කනට ළංවී මොනවදෝ කීවා. ඊට පස්සෙ ලොකු පුංචගෙ කතාව තවත් අමිහිරි වුණා. ජාතක කතා පොත, මහා වංශය..වගේ පොත්පත් ගැනත් ලංකාවේ අද සාහිත්‍ය පිරිහීමට පත්වීමේ ආදීනව ගැනත් ඔහු කතා කළා. දැන් දැන් කට්ටිය මේ කතාව අහගෙන හිටියේ හරිම අමාරුවෙන්. ඒක හරිම හිරිහැරයක් වෙලයි තිබුණේ.

” නිදහස් දවසෙ නිදහසේ ඉන්නවත් නෑනෙ? සුදු පුංචා හෙමිහිට රතු පුංචගෙ කනට කරලා කීවා.

“අඹ ගහ යට අපි විතරක් නෙවෙයි. කාටත් එහෙම තමයි” රතු පුංචා කීවා. ටික වෙලවකින් කීවේ කුමක්ද නොකීවේ කුමක්ද කියා හෝ නොදැන ලොකු පුංචා කතාව නතර කළා.

” දැන් හැමෝම ජාතික ගීය කියන්න” නියෝග කෙරුණා.

“අප ශ්‍රී.....ලංකා නමෝ නමෝ නමෝ නමෝ.... මාතා......”