චා.... එෆ්.එම්.

එෆ්...එම්... භාෂාවෙන්ම මේ ලිපිය ලියන්න හිතුවා. එෆ්....එම්... ගොඩයි. බැරිවෙලා හරි වයර්ලස් එකේ අත වැදුනොත් ෆ්‍රීක්වන්සි එක ඔටෝ මාරු වෙන තරමට, එෆ්.එම්.ටුවෙන්ටි ෆෝ අව‘ර්’ස් ම එෆ්.එම්.ඔන් ලයින්. එතකොට මේවායේ ඉන්න ප්‍රබුද්ධ කෂ්ටිය මාරයි. එක දිගට කියවන්න තරම් මහා දැනුම් සම්භාරයක්, භාෂා ඥානය උපරිමයි. නව ලෝක දැනුම (කරන්ට් අප්ඩේට්ස්) එයාලට කජ්ජක්. ඒ විතරක් ද අලුත් අලුත් භාෂා ජනිත කරන එකත් මේ අය කරනවා. ඒවා සමාජගත කිරීමත් නොමිලේම සිදු කරනවා.

“හායි... මම... රෝසි... දැන් වෙලාව මධ්‍යහන 12 යි. කට්ටියම එන්න මේ පැත්තට මාත් එක්ක සෙට් වන්න. පැයක් පුරාවට කැමති කැමති සිංදු ඉල්ලන්න, නම්බර් එක ඔයාලා දන්නවානේ”

අඹ ගෙඩියක හැඩය ගත්ත මහ මුහුදින් වට කෙරිච්ච මේ පුංචි රටට තව මොනවත් ඕන නැති ගානයි. එෆ්.එම්.තිබුණම ඇති. දවස ගෙවන්න පුළුවනි. මේ ළඟදි එෆ්.එම්.වල ෆ්‍රීක්වන්සි එක වෙනස් කළා. ඒක ටිකක් හොඳ වැඩක්. එතකොට එයාලගේ පරාසය අඩුවෙනවා. සංඛ්‍යාත දහය තිබුණ අයට දැන් දෙකයි. එෆ්.එම්. අහන්න අකමැති, එෆ්.එම්. ඇහෙන පිරිසට මේක පුංචි සහනයක්.

එතකොට අපේ... දරුවෝ...

‘හායි... නංගි... හායි... අයියා

‘ගෙදර තනියම ද? ඔව්.. අයියා’

පාළු ඇති නේද? ඔව්.... ඒකනේ ඔයාට කතා කළේ’

‘නංගි කැමති සිංදුව මොකක්ද?’

‘අර එඩ්වඩ් අන්කල්ගේ ‘අප්පච්චි කොහොමද මං අල්ලන්නේ’

හරි සිංදුව දෙන්නම්, දැන් කියන්නකෝ නංගිට පෙම්වතෙක් ඉන්නවද... කියලා...’

‘පෙම්වතෙක්, අනේ අයියා... මම තාම ... චූටියි නේ ... වයස අවුරුදු 8යි.’

කමර්ෂල් බ්‍රේක්

දැන් එෆ්.එම්. වල නිවේදක තනතුර අහෝසි වෙලා. ඉන්නේ ඩී.ජේ.(ඩිස්ක් ජොකී) එයා ඕල් රවුන්ඩර්. එයා සී.ඩී.ප්ලේ කරනවා. වෙලාව කියනවා. ප්‍රෝග්‍රෑම් කරනවා. නිවුස් කියනවා. කමර්ෂල් ප්ලේ කරනවා. එෆ්.එම්.හිමිකරුවන්ට හරි ලාභයි. රටටම ඇහෙන එෆ්.එම්. ස්ටාෆ් එක 5:1 අනුපාතෙට, ලාභයි... ලාභයි. ගජ ලාභයි. ඉතිං තවත් එෆ්.එම්. ඔන් කරන්න පොර කනවා.

දැන් මෙහෙමනේ, සල්ලි ටිකක් තියෙන මුදලාලි කෙනෙක් ආණ්ඩුවෙන් එෆ්.එම්. බලපත්‍රය අරගන්නවා. ඊට පස්සේ ෆීල්ඩ් එකේ ෆේමස් කෙනෙක් අරගෙන ඩී.ජී.(ඩිරෙක්ටර් ජනරාල්) කරනවා. ඊට පස්සේ පත්තරේ ඇඩ් එකක් දාල ඩී.ජේ.ලා අවශ්‍යයි කියනවා.

කෝල් එකෙන් තමයි සිලෙක්ට් කරන්නේ. හඬ පරීක්ෂණ නෑ. දැනුම් පරීක්ෂණ නෑ. අරවා නෑ. මේවා නෑ. එක කෝල් එකෙන් ජොබ් එක අතේ. හඬ හොඳ කෙනෙක් මාර්ගෙන් කෝල් එකක් දීලා වෙන කෙනෙකුට ජොබ් එක ගන්නත් මෙහිදී චාන්ස් එක තියෙනවා.

මේ අතර ෆීල්ඩ් එකේ නම හදාගත්තු පිරිසක් බොරදියේ මාළු බානවා. ඩී.ජේ.ට්‍රේනින් කරන කෝස් රට පුරා. කට විතරයි. වැඩ නෑ. කට හැදුවට ඔළුව හදන්නේ නෑ. මේවා මෙහෙයවන කෂ්ටියගේ කට් එකත් එහෙම තමයි.

ඉතිං ඔය විදියට බිහි වූ ඩී.ජේ.කෙනෙක් මේ ළඟදි සීරියස් ප්‍රෝග්‍රෑම් එකක් කළා.

“සුනාමියෙන් සිත් තැලුණු අයගේ අඳුරු මතක”

මැදිරියේ නිවේදිකාව, මාණ්ඩලික වාර්තාකරු ෆීල්ඩ් එකේ ලයිව් අප්ඩේට්ස් ගන්නවා. මාතර පැත්තේ වෙරළ බඩ ප්‍රදේශයක්. එතකොට මහනුවර ඉදලා ආපු, එෆ්.එම්. ශ්‍රාවකයෙක් මාතර වෙරළේ ඉන්නවා. එයාගේ ඥාතීන් සුනාමියට අහුවෙලා. දැන් ලයිව් සංවාදය.

නිවේදිකාව - අනේ අපට ඔයා ගැන ගොඩක් දුකයි. ඔයා කොහෙද?

ශ්‍රාවකයා - මහනුවර

නිවේදිකාව - හරි.. අපට කියන්නකෝ සුනාමියෙන් මහනුවරට සිද්ධ වුණු හානිය පිළිබඳ විස්තර ටිකක්.

කමර්ෂල් බ්‍රේක්

ෂෝ.....ෂෝ......ෂෝ.......

මේක අපේ අභාග්‍ය. මොනවා කරන්නද ක්‍රමයේ වැරැද්දනේ. සමාජයක යහ පැවැත්මට මීඩියා අවශ්‍යයි. ඒත් අද මීඩියාවල අව භාවිතය වැඩියි. ඊට එරෙහිව අපි පෙළ ගැසිය යුතු නොවේද? සංවාදය, විවේචනය දැඩි කළ යුතු නොවේද? රටට වින කරන පිරිසට එරෙහිව මහා පවුර දැන් ගොඩනැගිය යුතුයි. මේ ඒ සඳහා සුදුසු ම කාලයයි.