‘නික්’ පාඩම්

ජීවිතේ කියන්නේ කතන්දරයක්. අපිට හැමදාම මුණගැහෙන, හිනාවෙන, කතාකරන හැම මනුස්සයෙක් ම කතන්දර පොතක්. ඒ හැමපොතක් ම තාම හිමිකරුවන් විසින් කියවමින් පවතිනවා. ඒ එක පොතකවත් “නිමි” කියලා තවම කියවිලා නැහැ. හිතේ තියෙන අනියත බයට අහක බලාගෙන සුසාන භූමියක් ළඟින් යන වෙලාවක වැරදිලාවත් ඒ දිහා බැලුවොත් කියවලා අවසාන කතන්දර පොත් සමාදානයේ සැතපෙනවා දකින්නට පුළුවන්.

සමහර මිනිස්සු කියවන්න හරිම අකමැතියි. තවත් සමහර අය කියවන්න හරිම ලැදියි. ඒත් මේ ලැදියාව ගැන නොසලකා අපි හැමෝටම ජීවිතේ පොත කියවන්න දෛවය විසින් නියම කරලා තියෙනවා. කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි අපි ඒ පොත කියවමින් සිටිනවා. අවසානයක් නොපෙනෙන, දිගක් පළලක් හඳුනා ගන්නට බැරි මේ කතන්දර පොතේ අවසාන පිටුව කලින් කියවන්නට නොහැකි නිසා මේ පොතේ තියෙන මායාවන් හඳුනා ගන්නට අවසානය දක්වාම එක හුස්මට කියවිය යුතු වෙනවා.

ලියන්න කැමති මිනිස්සු තමන්ගේ ජීවිත කතා පොතේ හුඟාක් ම වැදගත් දේවල් අනිත් මිනිස්සුන්ට අත්වැලක් වනු පිණිස ලියා තබනවා. චරිතාපදාන නම් වන සැබෑ මිනිසුන්ගේ කතන්දරවලට ප්‍රබන්ධවලට වඩා වැඩි ඉල්ලුමක් ලැබෙන්නේ ඕනෑම සිදුවීමක් දෙවරක් හෝ ඊට වැඩි වාර ගණනක් මිහිතලය මත සිදුවිය හැකි නිසා. ජීවිතේ ජයගත්ත මිනිස්සු මුහුණ දුන් අත්දැකීම් හැම වෙලාවකම අනිත් මිනිස්සුන්ට අත්වැලක් සපයන නිසා.

නික්ව මට හමුවෙන්නේ නුගේගොඩ සරසවි පොත් මැදුරේ පළවෙනි මහලේ “අලුතින් පැමිණි පොත් අතර ඉදලා. 'Life without Limits' (සීමාවන්ගෙන් තොර ජීවිතය) කියන මාතෘකාවම මා ඇඳබැඳ තබාගන්නට සමත්වෙනවා. නික්ගේ ජීවිතය කියවන්නට මා පෙළඹවූයේ අසීමාන්තික ජීවිතයකට මගේ සිතේ තියෙන්නා වූ කැමැත්ත සහ පළමු පිටේ ඡායාරූප ගතවී තිබූ අත් පා රහිත වූ ඒ මිනිසාගේ ස්වර සිනහවයි.

1982 දෙසැම්බර් මාසේ 04 වෙනිදා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ ආරෝග්‍ය ශාලාවක මේ ස්වභාවයෙන් ම අමුතු වූ අත්පා රහිත දරුවා උපත ලබනවා. පවුල් සෞඛ්‍ය සේවිකාවක් වන නික්ගේ අම්මා උපතින් පසුව දරුවාව තමන් අතට නොදීම ගැන කලබල වෙනවා. ස්වල්ප මොහොතකින් පසුව වෛද්‍යවරු තිත්ත රසැති සත්‍ය ඇයට පවසනවා. තමන්ගේ කුසින් ඉපදුණු පළවෙනි දරුවා “අත් පා රහිතව මෙලොව එළිය දුටු බව ඇයට ඇසෙනවා.

ඇය බොහොම කලබල වෙනවා. අලුත ඉපදුණු බිළිඳා අතට ගන්නට ඔහුට ඇවැසි උණුසුම ලබාදෙන්නට ඇය අකමැති වෙනවා. නික් නම් වූ ඒ අවාසනාවන්ත යැයි සැලකූ දරුවාගේ මව නොනවත්වාම හඬන්නට පටන් ගන්නවා. නික්ගේ පියාට ඇයව සැනසීමට තරම් වචන සොයා ගැනීමට අපහසු වෙනවා. දරුවන් ලද ඇගේ මිතුරියන්ගේ යහන් මල් පොකුරු වලින් පිරී ඉතිරී තිබුණත් ඇය වෙතට එකදු මල් පොකුරක් හෝ ලැබෙන්නේ නැහැ. රෝහලට යාබද වෙළෙඳ සලින් මල් ගෙනැවිත් ඇයව සනසන්නට නික්ගේ පියාට සිද්ධ වෙනවා.

උපතින් ම ආබාධිත නික් යන්තම් තේරෙන වයසට පැමිණි වහාම කෙනෙහිලිකම්වලට බඳුන් වෙනවා. අත් පා නොමැති වීම පිළිබඳ ව පාසල් සගයන් ඔහුට ඔච්චම් කරනවා. වයස දහයේ දී මේ කෙනෙහිලිකම් දරාගන්නට නොහැකි වන ඔහු නිවසේ නාන තටාකයේ ගිලී සියදිවි නසාගන්නට උත්සාහ කළත් අවසාන මොහොතේ අදහස වෙනස් කරගන්නවා. ඒ තම මවුපියන්ට ඇති ආදරය නිසා.

නමුත් ඔහුගේ ජීවිතය පිළිබඳ ව ඇති කලකිරීම ඉවත්වන්නේ නැහැ. තමන්ගේ අත් පය වර්ධනය කරවන්නැයි ඔහු දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. කාලය ගතවෙනවා. දෙවියන් වහන්සේ ඔහුට ඇහුම්කන්දෙන බවක් පෙන්වන්නේ නැහැ.

සියල්ල වෙනස්වන්නට හේතු වන්නේ එක්තරා පුවත්පත් ලිපියක්. එහි සදහන් වෙන්නේ ඔහුටත් වඩා දරුණු ලෙස ආබාධිත පුද්ගලයෙක් ගැන. නික්ගේ අම්මා විසින් ගෙනැවිත් දෙන මේ ලිපිය ඔහුගේ ජීවිතය වෙනස් කරනවා. ඔහු තේරුම් ගන්නවා ලෝකයේ තමන් මෙන් ම හෝ තමන්ටත් වඩා ආබාධිත මිනිසුන් ජීවත්වෙන බව. ඔවුන් තම තමන්ගේ ජීවිතයට සාර්ථකව මුහුණ දෙන බව. අභියෝග ජයගන්නට උත්සාහ කරන බව.

ඔහු යාන්තමට පිහිටා තිබෙන වම් පතුලේ ඇගිලි දෙකෙන් ලියන්නට පුරුදු වෙනවා. කකුලේ පතුල සහ මහපට ඇඟිල්ල යොදා ගෙන පරිගණකයේ අකුරු යතුරුලියනය කරන්නට හුරු වෙනවා. තමන්ගේ හිස පීරා ගන්නට, රැවුල බාගන්නට යාන්තමින් පිහිටා තියෙන වම් පතුල සහ ඇගිලි දෙක උපකාරී වෙනවා.

ඔහු වයස අවුරුදු විසි එකක් වනවිට ද්විත්ව උපාධියක හිමිකරුවෙක් වෙනවා. මිනිසුන් ධෛර්යමත් කරන දේශකයෙක් ලෙස නමක් දිනාගන්නේ ඉන් අනතුරුවයි. දක්ෂ කථිකත්වය සහ ආබාධිත වූවෙකු ලෙස ඔහු ජීවිතයට මුහුණ දුන් ධෛර්යවත්බව ඔහු වෙත වාසනාව රැගෙන එනවා. නික් ඉතාමත් ඉක්මනින් ධනවතකු බවට පත්වෙනවා.

2012 වසරේ දි ඔහු විවාහ දිවියට ඇතුළත් වන්නේ අත් පා සහිත මිනිසකුට වුවත් හිත දිනා ගැනීමට අපහසු තරම් රුවැති කැනා මියාහරා සමඟයි. ඔවුන්ගේ යුගල ඡායාරූප අත්පා සහිත මිනිසුන්වත් පුදුම කරවනවා. 2012 අගෝස්තු මාසය වන විට අපට දැන ගැනීමට ලැබෙන්නේ නික් තාත්තා කෙනෙක් වීමට යෑම පිළිබද සුබ ආරංචියයි.

ඒ තමන්ට ලැබී ඇති ජීවිතය සර්ව සුබවාදීව භාරගත් මිනිසකු පිළිබඳ ව වූ කතාන්දරයයි.

නික් සමඟ සම කරන විට අප බොහෝ දෙනකුට ලැබී ඇත්තේ සර්ව සම්පූර්ණ ජීවිතයි. අත් පා හතරම හොඳින් පිහිටා ඇති අපි බොහෝ දෙනෙක් දවස ගත කරන්නේ මුහුණ අඳුරු කරගෙන කල්පනා සයුරේ ගිලෙමිනුයි.

ඒ බොහොම දෙනා සමාජය මත වැඩි වැඩියෙන් රදා පවතින නිසා යි. අවට සමාජයේ කෙනෙහිලිකම් ගැන, නින්දා පීඩා ගැන වැඩි වැඩියෙන් සිතීම නිසා යි.

අප මේ ලොවට එවා ඇත්තේ යම් අරමුණක් සාක්ෂාත් කරගැනීම සඳහායි. හැම ජීවිතයකම සැඟවුණු අරමුණක් තිබෙනවා. අවට ලෝකය ගැන වදවීමේ දී අපේ අරමුණ අපට මඟ හැරෙනවා. අපේ ජීවිත අනිත් මිනිසුන් ගැන වදවෙන, ඔහේ ගතවෙන ජීවිත බවට පත් වෙනවා.

ඔබට අද මේ මොහොත වන විට කුමන ප්‍රශ්නයක් තිබුණත් ඒ සියලුම ප්‍රශ්නවලට විසඳුම් තියෙනවා. ඒ විසඳුම සොයා යන්නට තරම් අප ධෛර්යමත් විය යුතු යි. ජීවිතයේ ජයගත නොහැක්කක් නැහැ. අප තේරුම් ගත යුතු සරල සත්‍ය එය යි.

සෑම අගුලකටම ගැළපෙන යතුරක් තිබෙන බව අප අමතක නොකළ යුතු යි.