කවුරුද කපා දැම්මේ ඒ සඳුන් රුක

සුවහසක් රසිකයන්ගේත්, ප්‍රගතිශීලී ජනතාවගේත් මහත් ප්‍රසාදයට පාත්‍ර වූ විජය කුමාරතුංග සහෘදයාගේ 25 වන ගුණ සමරුව අළලා ප්‍රවීණ සිනමා විචාරක සුනිල් මිහිඳුකුල පසුගිය බද්දර මල්ලට සටහනක් ලියා තිබුණා. වාර්ගික සුහදත්වය වෙනුවෙන් විජය ඉටු කළ මෙහෙවර අගය කිරීම සඳහා සුනිල්ගේ සටහනට අලුතින් යමක් එක් කළොත් හොඳය කියා සිතුණා.

ජීවතුන් අතර සිටියා නම් අද විජය විතර සතුටු වන කෙනෙක් රටේ තවත් නොසිටින්න පුළුවන්. මොකද විජය සිය ජීවිතයේ අවසාන කාලයේ ප්‍රාර්ථනා කළ සාමකාමී ලංකාව දැන් නිර්මාණය වෙලා තියෙන නිසා. ඇත්තට ම විජය උතුරේ හා දකුණේ ජනතාව අතර සහෝදරත්වයේ පාලමක් ගොඩනඟන්න පෙරමුණ ගත්තේ ගැටුම්කාරී වාතාවරණය ඉතා උත්සන්නව පැවති සමයක යි. ඒ කාලයේ සාමය පතා විජය නැඟූ හඬ කිසිසේත් ම ඔහුට දේශපාලන හෝ පෞද්ගලික වාසියක් වුණේ නැහැ. ඒක හරියට ම ඇවිලෙන ගිනි ජාලයක් මැදට පනිනවා වගේ අවදානම් සහගත වැඩක්.

විජය ජාතික සමගිය ගොඩනැඟීම සඳහා ඉටු කළ කාර්යභාරය පිළිබඳ ව කෙටියෙන් හෝ යමක් සටහන් කිරීම වාර්ගික සුහදත්වය හා ජාතික සමගිය අගය කරන කාගේත් යුතුකමක්. විජය දේශපාලන කරළියට පිවිසුණේ සිනමා අම්බරේ සුපිරි තාරකාවක්ව බැබළෙමින් සිටි යුගයේ බව අමතක කරන්න නරකයි. වසර හයක් පුරා එක දිගට ම ජනප්‍රිය නළුවාට හිමි සරසවි සම්මානය ඔහු දිනාගෙන සිටියා. සිංහල සිනමාවේ පතාක යෝධයන් වූ ගාමිණි - ටෝනි අභිභවනය කරමින් 'සිහින කුමාරයා' ලෙස සිනමා රසික පිරිස අතර ඔහු අභිෂේක ලැබුවා‍.

විජය අපට අහිමි වුණේ සිංහල සිනමාවේ වගේ ම ජාතික දේශපාලන භූමියෙන් පරිණත නායකයකුගේ අඩුව සපුරාලන්න ඔහු සැරසෙමින් සිටි මොහොතක යි. විජය දේශපාලනයට පිවිසෙන විට ප්‍රතිගාමීන් කිව්වේ සිනමා තිරයේ පෑ සුරුවිරුකම් දේශපාලයේ පාන්නට ඔහුට බැරි බවයි. ඔහුගේ මන බඳින රූපකායට හෝ මධුර කටහඬට බොළඳ සිනමා රසිකයන් වහවැටුණට ප්‍රබුද්ධ ජන සමාජය හමුවේ විජය පුස්වෙඩිල්ලක් බවට පත්වනවා නියතය කියල යි.

එහෙත් ප්‍රතිගාමීන්ගේ ඒ සියලු අනාවැකි සුනුවිසුනු කොට බිඳී විසුරුණු වමේ ව්‍යාපාරය එක්සේසත් කරමින්, ප්‍රගතිශීලී ජන රුල්ලේ අපේක්ෂාව බවට පත්වන්නට විජයට වැඩි කාලයක් ගත වුණේ නැහැ. අයුක්තියට අසාධාරණයට එරෙහිව සිනමාවේ කළ අරගලය මහපොළාව මත යථාර්ථයක් බවට පත් කරන්නට අවශ්‍ය දේශපාලන දැක්ම හා ආත්ම ශක්තිය විජය තුළින් කදිමට ප්‍රකාශ වෙන්නට පටන් ගත්තා.

සැබෑ වාමාංශිකයන් එක කොඩියක් සෙවණට ගැනීම, අන්තවාදී ප්‍රවණතාවලට හසු වී සිටි තරුණ ජනයාට නායක්වයක් දීම, හොඳට ම පළුදු වී තිබූ වාර්ගික සුහදත්වය යළි තහවුරු කිරීම වැනි ඉතා පුළුල් දේශපාලන දැක්මක් ඔස්සේයි විජය සිය දේශපාලන ගමන් මඟ සකස් කරගෙන තිබුණේ‍. වයසින් හා දේශපාලන අත්දැකීම්වලින් තමන්ට වඩා ජ්‍යෙෂ්ඨයන් වුණත් තම මතයට නම්ම ගැනීමට විජය තුළ තිබුණේ පුදුම හැකියාවක්. ඒ විජය සතු මනුෂ්‍යත්වයෙන් හා පෞරුෂයෙන් මිස නළුකමේවත් මිල මුදලේවත් බලයේවත් නොවේ.

ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඔහු වටා රොද බැඳ ගත්තත් විජය කවදාවත් නායකත්වයේ අහංකාරකමින් ඔළු ගෙඩිය උදුම්වාගත්තේ නැහැ. සුනිල් කියා තිබුණා වගේ ම ඔහු සියලු දෙනාට ම ඇමතුවේ අයියා, මල්ලී කියල යි. තමන් ළඟට කවුරුවත් එනතුරු ඔහු බලා සිටියේ නැහැ. විජය ම තමන්ට අවශ්‍ය කෙනා වෙත ගොස් කරට අතක් දමා ගෙන ළෙන්ගතු විදිහට කතාබහ කළේ නිහතමානිත්වයේ හා මිත්‍රත්වයේ උණුසුම නිර්ලෝභීව බෙදා හදා ගනිමින්.

ඒ, සිනමාවෙත්, දේශපාලයෙත් අප දුටු අව්‍යාජ විජේගේ සැබෑ ගති ලක්ෂණය යි. දකුණේ ජනතාව අතර කෙතරම් ජනප්‍රසාදයක් විජය දිනා සිටිය ද ඊටත් වැඩි ජනාදරයක් උතුරෙන් ද ඔහුට හිමි වුණා. විජය සිය දේශපාලන සගයන් ද පිරිවරා ගෙන යාපනයට ගියේ ආරක්ෂක අංශවල ද අනතුරු හැඟවීම් නොතකා යි. යාපනයේ ඔවුන් නවාතැන් ගත් හෝටලය ඉදිරිපිටට දෙමළ ජනයා පෙරහරකින් වගේ ඇදී ආවා. මේ උණුසුම් ජන ප්‍රතිචාරය දකුණේ අවස්ථාවාදී දේශපාලනඥයන් වගේ ම උතුරේ අණසක පතුරුවාගෙන සිටි කොටි ව්‍යාපාරයත් අපේක්ෂා නොකළ තරම්.

බැරලයක් උඩට ගොඩ වී උතුරේ පීඩක ජනතාව ඇමතූ විජය දකුණේ බහුතරයක් සිංහල ජනතාව ජාතිවාදීන් නොවන බව ප්‍රකාශ කළා. උතුරේ වගේ ම දකුණේත් පීඩිත ජනතාවට විමුක්තිය උදා වන්නේ ජාති, කුල, ආගම් භේද නොතකන, සමානත්වය අගය කරන පොදු ජන ආණ්ඩුවක් බිහි කිරීමෙන් පමණක් බව ඔහු අවධාරණය කළා.

නාදුනන තුවක්කුකරුවකුගේ රුදුරු වෙඩි වරුසාවකට විජය ගොදුරු වුණේ ජාතික සමගිය වෙනුවෙන් උතුරේත් දකුණේත් ඔහු නැඟූ හඬ යටපත් කර දමනු පිණිස බව සහතික යි. ප්‍රතිගාමී කුමන්ත්‍රණකරුවන්ට විජය මරා දෑමීමට අවශ්‍ය වීමෙන් ම තහවුරු වුණේ ඔහු ප්‍රතිගාමී කඳවුරුට මොන තරම් ප්‍රබල අභියෝගයක් වුණා ද කියන එක යි.

තමන්ගේ උපන් බිමටත් වැදූ මෑණියන්ටත් ආදරය නොකරන මිනිසකුට කවදාවත් අනෙකු හට ආදරය කරන්න බැරිය කියා කතාවක් තිබෙනවා. විජය මේ රටේ සියලු ජන කොටස්වලට අව්‍යාජව ආදරය කළ බව හොඳින් ම තහවුරු වන්නේ සිය මවට හා මවුබිමට ඔහු දැක් වූ අසීමිත ආදරය නිස යි.

විජය සිය දිවි පරදුවට තබා රටටත් ජනතාවත් ප්‍රේම කළ සැබෑ දේශප්‍රේමියකු, ජනහිතකාමියකු බව ඔහුගේ අවසන් ගමනට එක් වූ ලක්ෂ සංඛ්‍යාත ජන ගංගාව ඉතිහාසයේ සටහන් කර තැබුවා. එදා මෙදාතුර විජය වෙනුවෙන් ජනතාව හෙළු සෝ සුසුම් කොපමණ විය හැකි ද? ආරියවංශ පතිරාජ කවියා එබඳු සෝ සුසුමක් කවියකට කැටි කළ සැටි සටහන් කරමින් විජය වෙනුවෙන් ලියූ මතක සටහන නිමා කරනවා.
 

කම්කරු ගොවි මුහුදු ජීවිත විඳින දුක

ධනපති පාලනේ බිහිසුණු ගතිය දැක

සෙවණක් දෙන්න ආ මල් අතුරිකිලි රැක

කවුරුද කපා දැම්මේ ඒ සඳුන් රුක