අනියම් මිනීමැරුමක්

‘‘ මොකද ටොම්සන් මහත්තයා මේ නිකම් හෝන්දු මාන්දු වෙලා වගේ... ‘‘ කියලා ඇසුවේ පෙරේරා මහත්තයා ය.

‘‘ හෝන්දු මාන්දු නෙවෙයි පෙරේරා මහත්තයා, මං නං නිකම් සසර කලකිරිලා ඉන්නේ... දැන් බලන්ඩ අර පොල් මහත්තයාගේ සිද්ධිය කතා කරලා ඉවර කරන්ඩ ලැබුණේ නෑනේ... දැන් මේ ඉස්කෝලේ ගෑනු ළමයෙක් ජංගම දුරකථනයක සිද්ධියකට සිය දිවි නසා ගෙන නේ... මොකක් ද පෙරේරා මහත්තයා මේ වෙන්ඩ යන්නේ.. මේ ඉස්කෝලවල පාලනයට දාලා ඉන්නේ දරුවන්ට ආදරය කරන්ඩ බැරි, දරුවෝ තේරුම් ගන්ඩ බැරි.. දරුවන්ගේ ප්‍රශ්නයකට හරි විසඳුමක් දෙන්ඩ බැරි උන්ද?‘‘

‘‘ ටොම්සන් මහත්තයා කියන එක හරි... ඔය වගේ උන්ට හරක් එළදෙන්නු කියන එක ඒ සත්තුන්ටත් කරන අගෞරවයක්.. දැන් බලන්ඩ ටොම්සන් මහත්තයා, මාත් ඔය සිද්ධිය පත්තරේ කියෙව්වා... ඒ ළමයා ඉස්කෝලේ ඉහළ පන්තියක ගෑනු ළමයෙක් නේ... ඉතින් ක්‍රීඩා උත්සවය තිබිලා තියෙන්නෙත් ඉස්කෝලේ නෙවෙයි.. වෙන තැනක.. ක්‍රීඩා උත්සවය ඉවර වෙලා ගෙදර යන එක ගැන අම්මට කියන්ඩ තමයි ඔය ජංගම දුරකථනය අරන් ගිහින් තියෙන්නේ.. මේ වගේ දවසක සාමාන්‍ය ඉස්කෝලේ දවසකට තියෙන නීති රීති ඒ ආකාරයෙන් ම ක්‍රියාත්මක කරලත් බෑනේ.. ‘‘

‘‘ මං කියන්නේ පෙරේරා මහත්තයා, එහෙම ක්‍රියාත්මක කළා කියලා හිතමුකෝ... අද කාලේ ජංගම දුරකථනයක් අල්ලා ගන්න එක මේ ඉස්කෝලේ ලොකු මහත්තුරුන්ට ලොකු නෝනලාට ආනන්තරිය පාප කර්මයක් කළා වගේ වැඩක් නේ.. මේ වගේ දේකට ගන්ඩ තියෙන එක ම විසඳුම ඒ ළමයට සති දෙකක පන්ති තහනමක් පනවන එක ද? මුංට එළදෙන්නු කියලා වැඩක් නෑ.. එළදෙන්නුන්ගේ ඔළුවේ ගොම නෑනේ.. මුන්ගේ ඔළුවේ තියෙන්නේ ගොම නේ.. නැතිනම් මේ වගේ මෝඩ ගොන් තකතීරු තීන්දු ගන්නවද? තමන්ට තනතුරේ බලය තියෙනවා කියලා.. ‘‘

‘‘ ඒක තමයි ටොම්සන් මහත්තයා, අද ලෝකේ වෙනස් වෙලා.. නවීන උපකරණ සමාජ ගත වෙලා.. ඒවා සමාජයේ සුලබ දේ බවට පත් වෙලා.. ඒවායින් ගන්ඩ පුළුවන් ප්‍රයෝජන එමටයි... ඉස්කෝලවලින් කරන්ඩ ඕනෑ ඒකට විධිමත් වැඩ පිළිවෙළක් හදන එක නේ... ජංගම දුරකථනය අල්ලා ගත්තා. සති දෙකක් පන්ති තහනම් කළා.. කැකිල්ලේ තීන්දු නේ මේවා... ‘‘

‘‘ ඒ නැතත් පෙරේරා මහත්තයා, ඒ ළමයා ගිහින් සමාවත් අරන් තියෙනවානේ... එහෙම සමාව ගත්ත කෙනෙකුට කොහොමද දඬුවම් කරන්නේ ... දැඩි විදිහට අවවාද කළාට කමක් නෑ.. දැන් බලන්ඩ මේ වයසේ ළමයි කොයි තරම් මානසික පීඩාවන්ට ලක් වෙනව ද? මේ වගේ ගොන්, අමන, තකතීරු තීන්දු ගත්තම. ඇත්තට ම මේ ලෝකය තේරුම් ගන්ඩ හදන පොඩි ළමයි නේ.. ඒකට මොකද? උපදේශනය කියලා එකකුත් ඉස්කෝලවල තියෙනවා.. ඒවත් නිකම් නමට විතරයි.... ‘‘

‘‘ ටොම්සන් මහත්තයා, මෙහෙමනේ.. ඉස්කෝලේ හැම කාලෙම කළේ ඔය වගේ තකතීරු වැඩ ම තමයි. එක කාලයක් ඩීමන් ආනන්දගෙ පොත් ඇල්ලූවා... ඒවායේ තිබුණු කෙහෙම්මලක් නෑ... අද තියෙන කසිකබල් එක්ක බැලූවම. ඊ ළඟට චිත්‍ර කතා පත්තර ඇල්ලූවා... ඒත් එකෙක්වත් කල්පනා කළේ නෑ.. ඇයි මේ ආසාවෙන් චිත්‍ර කතා කියවන්නේ කියලා.. අඩු ගානේ එක පෙළ පොතක තියෙනවද චිත්‍ර කතාවක්. ඊ ළඟට සංයුක්ත තැටි ඇල්ලූවා.. ඊ ළඟට අර පෙන් ද මොකක් ද? කියන්නේ. ඒක ඇල්ලූවා... දැන් ජංගම දුරකථන ඇල්ලූවා.. අඩු ගණනේ පාසල්වල ජංගම දුරකථන භාවිතය පිළිබඳ ආචාර ධර්ම සංග්‍රහයක්වත් හදලා ළමයින්ට කියලා දීලා තියෙනවද? ඔක්කොම බොරු නීති විතරයි... ‘‘

‘‘ මං යනවා උසාවිය පැත්තේ.. මට මේ පෙරකදෝරු මහත්තයෙක් අල්ලන්ඩ හිතෙනවා මේ කේස් එකට..‘‘

‘‘ ඒ මොකටද ටොම්සන් මහත්තයා? ‘‘

‘‘ නෑ.. දැන් බලන්ඩ... ඒ අහිංසක ළමයා සිය දිවි නසා ගත්තේ ඇයි.? පන්ති තහනම් කරපු එක නිසා ඇති වෙච්චි මානසික අවපීඩනය නිසා... එහෙම වෙන්නේ සිද්ධියට වඩා වැඩි දඬුවමක් කරපු නිසානේ.. ඒ ළමයට ඇති වෙන අවමානය. මානසික බිඳ වැටීම... දුක ... ලැජ්ජාව.. මේ ඔක්කොම මෙතන බලපානවානේ.. එතකොට මේ ළමයා සිය දිවි හානි කර ගන්ඩ හේතුව තමයි, විදුහල්පතිනියගේ අමන තීරණය... එහෙම බැලූවම මේක අනියම් මිනීමැරුමක්.. මං යනවා පෙරකදෝරු මහත්තයෙක් හම්බ වෙලා මේ විදුහල්පතිනියට විරුද්ධව නඩුවක් දාන්ඩ පුළුවන්ද? කියලා හොයලා බලන්ඩ... ‘‘

‘‘ ටොම්සන් මහත්තයා කරන්ඩ යන දේ නම් බොහොම හොඳ දෙයක්.. මේ වගේ සිද්ධ වෙච්චි පළමුවෙනි එකවත්, අවසාන එකවත් නෙවෙයි නේ මේ.. තවත් ඉස්සරහට තව තව මේ වගේ දේ වෙන්ඩ පුළුවන්.. ඒ හින්දා මේ ගැන නීතිමය වශයෙන් කටයුතු කරන එක හොඳයි..‘‘

‘‘ මේක ළමා ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්.. අපි කොහොමද ළමයින් ආරක්ෂා කරන්නේ මේ විදිහට මේ අමනයෝ ළමයි විනාශ කරන කොට... මේකට නඩු දාන්ඩ පුළුවන් ළමා ආරක්ෂාව කියන තේමාව යටතේ... මේවාට අලූත් නීති අර්ථ කථන ඕනෑ.. ‘‘

‘‘ ඒක තමයි. මං ගිහින් පෙරකදෝරු මහත්තයෙක් එක්ක කතා කරලා.. මේ ගැන තව වැඩි විස්තර දැන ගෙන, ඔය ළමයි වෙනුවෙන් පෙනී හිටින සංවිධානයකට කියන්ඩ ඕනෑ, මේ ගැන නඩුවක් දාන්න කියලා.. සමාජය නවීන වෙන කොට මේ වගේ නීති අර්ථ කථන අලූතින් ඕනෑ.. මේක ඇත්තට ම අනියම් මිනීමැරුමක්.. මොකද? ඒ දරුවට මැරෙන්න කිසිම ඕනැ කමක් තිබුණෙ නෑනේ.. මේ විදුහල්පතිනිය මේ ළමයට මැරෙන්ඩ සැලැස්සුවනේ... අරහෙන් ඉස්කෝලෙට සල්ලි එකතු කරන්ඩ කියලා ළමයි හොරු කරවනවා.. මෙහෙන් ළමයින්ට ගුණ ධර්ම කියලා දෙන්නේ නැතිව, ළමයි හතුරෝ වගේ සලකලා, තමන්ගේ තනතුරේ බලය අයුතු විදිහට යොදවලා, ළමයින්ට සිය දිවි නසා ගන්ඩ පොළඹවනවා. මං ගිහිල්ලා පෙරකදෝරු මහත්තයෙක් හම්බ වෙලා එන්නම් පෙරේරා මහත්තයා... ‘‘ කියා ගෙන ටොම්සන් මහත්තයා උසාවිය පැත්තට ගියේ ය.