කනු

මේ කතාව කුණු කතාවකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කුණු කතාවකි. මහත්තුරු , නෝනලා යැයි කියා ගන්න අය, තමන්ට මිනිසුන් යැයි කියා ගන්න අයගේ කුණු ගැන කතාවකි. ඒ කතාවේ කුණු වී නැති අම්මා කෙනෙක් ඇත. දරුවන් ලබා, උන් උස් මහත් කර ලොවට නැණවත්, ඵලදායි පිරිසක් බවට පත් කර විශ්‍රාමික සුවයෙන් බණ දහම් අසා සිල් රකිමින් ඈ ජීවත් වන්නී ය.

මේ කුණු මිනිසුන්ගේ සැබෑ වගතුග කියන්න දැයි විමසූ විට ඇගේ පවුලේ අය කියන්නේ “ අපේ අම්මා තව ටික දවසයි ජීවත් වෙන්නේ. එයා කැමති නෑ කාගෙවත් හිත රිදවන්න. ඒ නිසා අපි මේ කරදරය කොහොම හරි ඉවසනවා” කියායි.

කාරණය මෙලෙස ය. ගම්පහ පෙදෙසේ ඈ සතු හිස් ඉඩමක් ඇත. අවට මනා ලෙස තැනුණු නිවෙස් ඇත. ඒවායේ අර මුලින් කී නෝනා මහත්වරු ජීවත් වෙති. උන් කා බී ඉවර වී කුණු ගෙනැවිත් දමන්නේ අර අම්මාගේ හිස් ඉඩමට ය. එය නගර සභාවේ කුණු පිට්ටනිය සේ පිරවීමට මේ නෝනලා, මහත්තුරු රුසියෝ ය. නමුත් ඉඩම හිමි වයසක අම්මාට මුර කරනු නොහැකි ය.

ඈ ඇගේ වියදමට ඇති මුදලින් කුළීකාරයන් දම්මා විටින් විට ඉඩම සුද්දකරන්නේ, ඩෙංගු රෝගය පැතිරී කුඩා දරුවකුට විපතක් විය හැකි යැයි ශෝකයෙනි. මේ කුණුකමට එරෙහිව ඈට කළ හැකි වෙන යමක් නැත. ඩෙංගු මර්දන නිලධාරීන් පවා දඩ ගසන්නේ අහිංසක මහලු අම්මාටම ය. ඈ ඒ දඩත් ගෙවයි. ඇගේ දරුවො ඇගේ බසට යටහත් ව ඇ කියන දේ කරති. ඒ අය අම්මාට ඉඩම පවිත්‍ර කර ගැනීමට අවැසි මුදල් දේ. උපකාර දේ. නමුත් කුණු දමන නෝනා මහතුන්ට කිසිවක් නොකියන්නේ අම්මා ඔවුන් වළකන නිසා ය.

“කතා කරන්න ගියොත් වෙන්නේ ආරවුලක්. ප්‍රශ්න විසඳෙන්නේ නෑ” ඈ කියයි.

එහි සත්‍යක් ඇත. හොරෙන් කුණු දමන අය අල්ලා ගැනීමට ඔවුන්ට පොලිසියක් යෙදවීමට සිදු වෙනු ඇත. උස් දැල් ගසා ඉඩම වෙන්කිරීමෙන්වත් කුණු දැමීම නතර නොවුණු තැන, මහලු අම්මාට කරන්නට දෙයක් නැත. ඈ ඩෙංගු රෝග මර්දනයට ඉත සිතින් කටයුතු කරනා අයෙකි. වතුර රැස් වෙන දෙයක් දුටු තැන නොදන්නා කෙනෙකුට පවා ඒ ගැන කියන ඇයට, ඇගේ ඉඩමේ ම වළකාලිය නොහැකි වේගයකින් කුණු එකතු වීම මහත් සිත් රිදුම් දේ. දෙවන ලෝක යුද්ධය කාලයේ සිට ක්‍රමයෙන් ලෝකයේ රටවල් බොහෝ ගණනක පුරා වසංගතයක් ලෙස පැතිර ගත් ඩෙංගු රෝගය ගැන ඇති තරම දැනුම්වත් කිරීම සිදු වේ. වැළකීම පමණක් සිදු නොවේ.

පර්චස් දෙකේ ඉඩමක තට්ටු පිට තට්ටු ගසා ගෙවල් තනා ඇති මිනිසුන්ට කුණු දමන්නට තැනක් නැත යැයි කීම සාධාරණ කාරණයක් නොවේ. තමන්ගේ කුණු අඩු කර ගැනීමේ ක්‍රමයකට පුරුදු වීමට මිනිසුන්ට කාලය පැමිණ ඇත. ඒ ඩෙංගු නිසා පමණක් නොවේ. සමහර ඉවතලන දේ දිරාපත් වීමට පරම්පරා කිහිපයක කාලයක් අවශ්‍යයි.

පෘථිවිය නොබෝ කලකින් කුණුවලින් වැසුණු තැනක් වෙන මඟට වැටී තියෙද්දී ඊට තවත් කුණු පිරවිය යුතු ද? බලධාරීන් නිසි දේ නොකරන බව අප දන්නා නිසා අඩුම තරමේ තමන්ගේ කුණු පාලනය කිරීමට තමන්ට ඉතා පහසුවෙන් කළ හැකි දේ ඇත. පාවිච්චි කර ඉවත දමන ප්ලාස්ටික් භාජනයකට කුස්සියේ ඉතිරි වන අල පොතු, කෙසෙල් ලෙලි සහ අනෙකුත් කාබනික (organic) දේ දමා එකතු කිරීම එතරම් අපහසු ද? ඒවා වත්තේ මුල්ලක තවත් බඳුනක දිරන්නට ඇරීම නැතිනම් කොම්පෝස්ට් තැනීම අපහසු කාරණාවක් ද? තමන් ඒ පොහොර පාවිච්චි නොකරන්නේ නම්, අලංකාර ලෙස මල් වවන, එළවළු පලතුරු වවන කෙනකුට එය තෑගි කරනු නොහැකි ද?. ඓන්ද්‍රීය ද්‍රව්‍ය කුණු ගොඩට එක්වීමෙන් පිටවන මීතේන් හරිතගාර ආචරන වායුව අවම කර ගැනීමට ද කොම්පෝස්ට් තැනීමෙන් මඟ පෑදේ.

කොම්පෝස්ට් පස සරු කරනවාට අමතරව පසේ ඇති විෂ යම් දුරකට මකා දමනා බවත්, භූ ජලය සහ ශාක වෙත අනවශ්‍ය දේ එකතු වීම වළකාලන බවත් එන්වයිරන්ට්මෙන්ට්ලිස්ට්ස් එව්‍රිඩේ වෙබ් අඩවිය දැනුම්වත් කරයි. තණ කොළ කැපූ විට ඒවා නැවත පසට මුසු වීමට ඇරීමෙන් වඩා සරු තණ පිට්ටනියක් සකස් කරගනු හැකියාව තිබිය දී ඒවා මලුවල දමා අනුන්ගේ තාප්ප මුල්ලේ තබන්නේ ඇයි? කඩෙන් බඩු ගෙන එද්දී ප්ලාස්ටික් සිලි සිලි මලු වෙනුවට රෙදි හෝ පන් බෑගයක් , නැති නම් නිතර පාවිච්චි කළ හැකි මල්ලක් භාවිත කිරීමට නුවණක්කාරයකු නොවන්නේ ඇයි? Reduce, reuse, recycle හෙවත් කුණු ඉවත දැමීම අවම කිරීම, ඉවත නොදා සමහර දේ නැවත පාවිච්චි කිරීම, ප්‍රතිචක්‍රීය කිරීම නොකර ඒවා ගැන නොදන්නා අය සේ ජීවත්වන්නේ වන්නේ නූගත්කම දිව්‍ය සැපතක් නිසා ද? හිස් ජෑම් බෝතල් සහ අනෙක් වීදුරු භාජන, ටින් සෝදා වේලා ඒවා කුස්සියේ අසුරුම් ලෙසත් කෘමීන්ගෙන් කෑම රැක ගැනීමේ ක්‍රමයක් ලෙසත් භාවිත කළ හැකි ය.

දේවල් මිලදී ගැනීමේ දි අවම ඇසුරුම් සහිත දේ මිලදී ගැනීමෙන් ඉවත දැමීමට එකතු වන ප්ලාස්ටික්, පෙට්ටි සහ අනෙක් දේ අවම කර ගත හැක. තමන්ට අවැසි නැති දේ කුණු ගොඩට දැමීමට පෙර තවත් දන්නා කෙනෙකුට අවැසි දැයි විමසා බලනු හැකි ය.

බුදු දවස තමන් ඇඳි සිවුර දිරා පත් වෙද්දී එය අඳනකඩයට සකසා ගන්නා භික්ෂූන් වහන්සේලා එය තවත් දිරූ පසු පා පිස්නට පාවිච්චි කෙරුවෝ ය. ඉන්පසු එය කැබලි වෙද්දි ඔවුන්ගේ කුටි තැනීමේ දී බිත්තියට තබා මඩ ගැසීමට පාවිච්චි කළ බව කියැවේ. අප උමතුවූවන් සේ පාරිභෝගිකරණ රැල්ලට වැටී නොයෙක් දේ මිලදී ගනිමු. ලෝකයට දරා ගත නොහැකි තරමට දේවල් ඉවත ලන්නෙමු. අපේ දූ දරුවන්ට අප සිටවූ ගස්වල ඵල වෙනුවට අපි විසින් ඉවත ලූ කුණු ඉතිරි කර යන්නේ ඇයි?

ඔබේ කුණු නගර සභා නිලධාරින්ගේ කාර්යාලය ඉදිරිපිටට ගෙන ගොස් තැබීමට ඔබ බයයි. එසේ නම් ඒවා අනුන්ගේ වතුවලට, අනුන්ගේ තාප්ප කොන්වලට, පාර අයිනට, ක්‍රීඩා භූමි, පාසල්වල නොදා ඔබේ කුණු ඔබ කෑ යුතු ය.