අපි කුමක් කරමු?

වැලන්ටයින් දිනය උදාවුණා. මේ දිනෙත් එක්ක අඹ ගහ යට පුංචලා පැංචිලා ටිකක් අන්දුන්කුන්දුන් වුණා. සමහරක් පුංචලා කීවේ වැලන්ටයින් සමරලා හැමෝම එකිනෙකාට මලක්වත් දිය යුතුයි කියලා. තවත් අය කීවේ වැලන්ටයින් සාමිවරයා ආදරවන්තයන්ට උදවු කරන්න ගිහින් මැරෙන්න වුණු දිනයක් හින්දා බෝධි පූජාවක් තියලා පිං අනුමෝදන් කරමු කියලයි. කොහොම වුණත් වැලන්ටයින් දවස අපේ දේශීය සංස්කෘතිය විනාශ කරන්නට බටහිර අධිරාජ්‍යවාදීන් විසින් අටවපු කුමන්ත්‍රණයක් කියලා කියපු දෙතුන් දෙනකුත් හිටියා. ඔය අස්සෙ තවත් අපූරු අපූරු දේවල් ටිකකුත් වුණා.

ලොකු පුංචා කාගෙවත් පැත්තක් ගන්නේ නැතුව මේ තුන්ගොල්ලන්ට ම වෙන වෙනම නිවේදන 3 ක් නිකුත් කළා.

නිවේදන අංක 01 - දහසකුත් එකක් බාධක ‍නොතකා අපේ තරුණ තරුණියන් අවංකවම ආදරයත් එක්ක කැප කිරීම් කරමින් ආදරය වෙනුවෙන් ජීවත් වීම සතුටක්. ඒ ආදරයට උපහාර පිණිස ඒ ආදරය සංකේතවත් කරනු පිණිස තමාගේ ආදරවන්තයාට හෝ ආදරවන්තියට රෝස මලක් දීම හැමෝගෙම යුතුකමක්. අඹ ගහ යට අපි හැමෝම තාමත් පුංචලා පැංචිලා මිසක් තරුණ අය නොවීම නිසාත් අපි එකිනෙකා හැමෝටම ආදරය කරන නිසාත් මලක් හුවමාරු කර ගැනීම අප කාටත් සොඳුරු අත්දැකීමක් වේවි! ආදරය දිනේවා!

(සැ.යු - කහ පුංචා ඇතුළු ලොකු පුංචාගේ හෙංචයියන් විසින් රෝස මල් විකිණීමේ ව්‍යාපාරයක් අඹ ගහට දකුණු පසින් සැදූ තාවකාලික කුටියක ආරම්භ කර තිබිණි.)

නිවේදන අංක 02 - දිළිදු ආදරවන්තයන්ගේ ආදරය වෙනුවෙන් ඔවුන් විවාහපත් කරලීම සඳහා දිවි පරදුවට තබා කටයුතු කළ වැලන්ටයින් සාමිවරයාට කෲර පාලකයන්ගේ දඬුවමට ලක්වී අකාලයේ ජීවිතය පූජා කරන්නට සිදුවීම ඉතාම ශෝචනීය සිදුවීමක්. ඒ නිසා මෙවැනි දිනයක සාද පැවැත් වීම, ප්‍රීතී වීම, විනෝද වීම නොකටයුත්තක්. කළගුණ දත් දැහැමි සිංහල බෞද්ධ ජනයා කවදත් අප තිලෝගුරු බුදු රජාණන් අනු දත් ධර්ම මාර්ගය ඔස්සේ නිවන් සැප සාක්ෂාත් කරගනු පිණිස යන මේ ගමනේ යුක්තිය වෙනුවෙන් ජීවිතය දන් දුන් අය අමතක නොකළ යුතු යි. ඒ නිසාම පෙබරවාරි 14 වන දින සෑම නිවසක් ඉදිරිපිටම පොල් තෙල් පහනක් දල්වා සාමිවරයා සිහිපත් කළ යුතු යි. එසේම එදින රාත්‍රීයේ බෝධි පූජාවක් පවත්වා එතුමා උපදින මතු ආත්ම භවයක් භවයක් පාසා යළි මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා “යි යන්න ප්‍රාර්ථනා කරමින් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව පැතිය යුතුයි. වැලන්ටයින් සාමිවරයාට නිවන් සුව අත්වේවා!

(සැ.යු- පහන් තැටි, පහන් තිර , පොල් තෙල්, සුවඳ දුම් ආදී බෝධි පූජාවට අවැසි සියලු ම දේ එකම වහලක් යටින් මිල දී ගත යුතු බවත්, ඒ සඳහා ලොකු පුංචාගේ නිවසේ මිදුලේ තාවකාලික ලෑලි කඩයක් ස්ථාපිත කර තිබුණු බවත් කරුණාවෙන් සලකන්න.)

නිවේදන අංක 03 - තිස් වසරක ශාප ලත් කුරිරු බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමෙන් පසුව අද අප සංවර්ධනයේ ආශ්චර්යය කරා වේගයෙන් ගමන් කරමින් සිටිමු. මෙවන් අවස්ථාවක රටේ සාමය හා සහජීවනය නොඉවසන බටහිර අධිරාජ්‍යවාදීන් අපගේ දේශීය සංස්කෘතිය, සභ්‍යත්වය විනාශ කරමින් යළි මේ රට විනාශ මුඛය දක්වා ගෙනයාමට මානබලමින් සිටිති. ඔවුහු නොයෙකුත් උප්පරවැට්ටි යොදා අනාගත පරපුරේ හිස් තුළ විෂබීජ වපුරමින් සිටිති. වැලන්ටයින් යනු යුදෙව් ක්‍රිස්තියානි පූජකවරයෙකි. වසර දෙදහස් පන්සියයක සිංහල බෞද්ධ සංස්කෘතියකින් ශික්ෂණය වූ අප මෙම බලවේග හඳුනා පරාජය කළ යුතු ය. ඒ නිසා ම සකල දේශවාසී ජනතාවනි. අවදිවනු! වැලන්ටයින් හෙලාදකිනු!

(සැ.යු- “වැලන්ටයින් ‍හෙලාදකිනු”, අනාගත පරපුර වැලන්ටයින්ගෙන් බේරා ගනිමු” ආදී වශයෙන් රතු පැහැති ලොකු අකුරින් සටන් පාඨ ලියූ බෝඩ් ලෑලි අඹ ගහට වම්පසින් තාවකාලිකව තැනූ ලී බංකුවක තබා අලෙවි කරනු ලැබිණි. එහි මුදලාලි ලොකු පුංචාම ය. බෝඩ් ලෑල්ල බැලීමටත් රු. 5 ක ටිකට් පතක් මිල දී ගත යුතු විය. එදින සවස් කාලය වෙද්දී දෑවැදි, කුල-මල, උස්-පහත්, දුප්පත් - පොහොසත් බේද නොසලකන ආදරයක් වෙනුවෙන් අප කැපවිය යුතු බවත්, ආදරවන්තයන්ගේ දිනය මුදලාලිලාගෙන් හා එෆ්.එම් නාලිකාවලින් බේරාගත යුතු බවත් යෝජනා කරමින් රතු පුංචා විසින් අත්පත්‍රිකාවක් බෙදාහැරියා. ටික වේලාවක් යද්දී ලොකු පුංචාගේ උසිගැන්වීම මත කිසියම් පිරිසක් විසින් රතු පුංචාට මැර ප්‍රහාරයක් එල්ල වුණා. රතු පුංචා රෝහලට ගෙනියෑමෙන් පසු ලොකු පුංචා විසින් අඹ ගහ යටදී ම ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා.

” මෙම ප්‍රහාරය ඉතාමත් පිළිකුල් සහගත ක්‍රියාවක්. මම ඒක දැඩි සේ හෙළා දකිනවා. මෙම සිදුවීමට සම්බන්ධ පිරිස් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අප පොලීසියට බලකර සිටිනවා”

ලොකු පුංචා මහ හයියෙන් කියපු දේට තවත් ‍බොහෝ පිරිසකගේ ඇඟේ මවිල් කෙළින් වුණා.