වේදිකාවේ අභීත සෙන්පති

පසුගිය සුමානෙ තීරුවට ධම්ම ජාගොඩ සමඟ මහැදුරු සුචරිත ගම්ලත්ට සම්බන්ධ මතක දිග හැරුනේ ධම්මගේ අනුස්මරණය පෙබරවාරි හතරවෙනිදාට යෙදුණු වග මතක් වෙලා නෙවි. ඒ වුණත්, අකාලෙ අප අතරින් වියෝවුණු ධම්ම ජාගොඩගෙ විසිපස්වන (1988 - 2013) අනුස්මරණ මොහොතෙ, සිංහල වේදිකා නාට්‍ය ක්‍ෂේත්‍රයේ, රූපවාහිනී නාට්‍ය කලාවෙ, රංගනයේ ධම්ම ජාගොඩ සලකුණ සටහන් කොට මියගිය ඔහු පිළිබඳ තීරුවකින් නොවෙයි, පොතකින් වුණත් කතා කරන්න පුළුවන් කියලයි මට හිතෙන්නෙ.

වයස අවුරුදු හතළිස් හතේ දී (1941 - 1988) ධම්ම මිය යන කොට ඔහුගෙ ජීවිත කාලෙන් අඩකටත් වඩා වැඩි කාලයක්, අවුරුදු විසිහතක පමණ කාලයක් ඔහු කැප කොට තිබුණේ වේදිකා නාට්‍යයට, රඟපෑමට, නිෂ්පාදනයට, නාට්‍ය කලාවට අවශ්‍ය විෂය දැනුමෙන්, ප්‍රතිභාවෙන් පිරුණු පිරිසක් බිහිකිරීමට, අවසාන කාලෙදී රූපවාහිනිය සමඟ කළ බැඳි යහපත් ටෙලිනාට්‍ය කලාවක් බිහිකිරිම වගේ අර්ථසම්පන්න කටයුතුවලට. වේදිකාවේ සොඳුරු ආඥාදායකයා යනුවෙන් ධම්මව හඳුන්වන්න මම කැමැතිවුණත්, ඒ යෙදුමේ අයිතිකාරයා සුගත්, සුගතපාල ද සිල්වා නිසා මම ඒක පාවිච්චි කරන්නෙ නෑ.

ඔහුට සාන්තුවර සෙබළාණෝ වගේ නමක් ගැළපෙන්නෙත් නෑ මොකද ඔහු සාන්තුවරයෙකුට ළං නොවෙන නිසා. අභීත සෙන්පති වගේ අන්වර්ථ නාමයකට ධම්ම ජාගොඩ සුදුසු වෙන්න තරම්, කාරණය ඔහුගේ කලා ජීවිතය පුරා තිබෙන වග ඔහු ළඟින් ඇසුරු කළ හිත මිත්‍රයන් දන්නවා. ධම්මගේ වේදිකා නාට්‍ය රංගනය හඳුනාගත් අපේ ප්‍රවීණ නාට්‍යකරුවන් අතර, හෙන්රි ජයසේන (කුවේණි) මහාචාර්ය සරච්චන්ද්‍ර (මන‍ෙම, කදාවළලු, එලොව ගිහින් මෙලොව ආවා) ප්‍රේමරංජිත් තිලකරත්න (කෝන්තරේ) ගුණසේන ගලප්පත්ති (සඳකිඳුරු) මෙන්ම ජී. ඩී.එල්. පෙරේරා, සුගතපාලද සිල්වා වැනි අය සිටිනවා. ධම්මගේ නාට්‍ය නිෂ්පාදන අතර කැපීපෙනෙන නිෂ්පාදන ලෙස මා දකින්නේ, වෙස්මුහුණු, පරස්තාව, පෝරිසාදයා, කොරා සහ අන්ධයා, මළවුන් නැගිටියි (කුරිරු රංගනය) , මූදු පුත්තු (නව නිෂ්පාදනය) හා මනමේ, සිංහබාහු, මහාසාර (නව නිෂ්පාදන). ඔහුගේ නව නිෂ්පාදන අතර, කැපී පෙනෙන්නේත්, විශිෂ්ට නිෂ්පාදනය ලෙස මට හැඟෙන්නේත්, සරච්චන්ද්‍රයන්ගේ මහාසාර නාටකයේ නව නිෂ්පාදනයයි. ‍ෙව්දිකා රංගනයේදී ඔහු අබිසෙස් ලබන්නේ, සරච්චන්ද්‍රගේ මනමෙ නාටකයේ වැදි රජුගේ භූමිකාවට ප්‍රාණය දෙමින්. එඩ්මන්ඩ් විජේසිංහ, ප්‍රථම වැදි රජුට පසු මා දුටු හොඳම වැදිරජු රංගනය ධම්මගේ යි.

කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලා කේන්ද්‍රය ආශ්‍රිත, කලා කේන්ද්‍ර රංග ශිල්ප ශාලිකාවේ සමාරම්භක අධ්‍යක්ෂවරයා වෙමින් එමගින් නාට්‍ය කලාවට ඉටු කළ සේවාව, පුහුණු කළ නළු නිළි කැළ, සොයාගත් විශිෂ්ට රංගධරයන්, රංග ධාරිනියන් පසු කලෙක ජනරංග සභාවේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් මහැදුරු සරච්චන්ද්‍රගේ මනමෙ සිංහබාහු මහාසාර නව නිෂ්පාදන භාරව කටයුතු කරමින් නළු නිළියන්ට හිමිවිය යුතු ගෞරවය, පිළිගැනීම, සැලකීම වැනි කරුණු පිළිබඳ මෙන්ම නාට්‍ය කණ්ඩායම තුළ රංගන කාලය තුළ පැවතිය යුතු විනය රැකගැනීම පිළිබඳවත් ධම්ම කළ සේවයත් හඳුන්වා දුන් වැඩ පිළිවෙළත්, ඔහු තුළ කණ්ඩාමේ නායකයෙකු ලෙස වූ පෞරුෂත්වය මනාව පෙන්නුම් කළ බව මා දන්නවා.

එදවස් නාට්‍ය සංවිධායකයන් විසින් නාට්‍ය කණ්ඩායම් පිළිබඳ වූ අඩු සැලකිල්ල, පිළිගැනීම, මුදල් ඉපයීමේ පරමාර්ථයෙන්ම නාට්‍ය සංවිධානයට ‘නැඹුරුව‘ සිටීම වැනි තත්ත්වය වටහා ගත් ධම්ම විසින් , නාට්‍ය කණ්ඩායමක ගෞරවය රැකෙන පරිදි සංවිධායකයන් විසින් ඉටු කළ යුතු මූලික වගකීම් පිළිබඳ ලිඛිත ගිවිසුමක් හඳුන්වාදීමෙන් නාට්‍ය කණ්ඩායමකට යම් තරමක හෝ වෘත්තීය සැලකීමක් ලැබුණු බවත්, එම සැලකීම වර්තමාන නාට්‍යකරුවන් ද අත්විඳින බවත් රහසක් නොවෙයි. මේ හා සම්බන්ධ පළමුවන සිදුවීම මෙසේයි. බදුල්ල නගර ශාලාවේ රඟ දැක්වීමට නියමිතව තිබූ මනමෙ දර්ශන දෙකක් සඳහා කණ්ඩායම බදුල්ල නගර ශාලාවට පැමිණියේ පාන්දර සීතලත් සමඟ හතරට හතර හමාරට පමණ ය. එදින දහවල තෙක් විවේකීව සිටීමට හෝ නිදා ගැනීමට, සංවිධායකයන් විසින් පහසුකම් සපයා තිබුණේ නගර ශාලාවේ කොටසක කොට්ටා පැදුරු කිහිපයක් සපයමිනි.

මේ දුටු ධම්ම කොටියෙකු සේ කිපුණේය. ඔහු ප්‍රීති පේරුකන්ද අමතා අණ කළේ, විදුලි ආලෝක උපකරණ බස් රියෙන් බාගත් පසු වහාම බස් රිය බදුල්ල තානායමට රැගෙන යන ලෙසයි. නාට්‍ය දර්ශනය පැවැත්වීමට අවශ්‍ය නම් සංවිධායකවරුන් විසින් නාට්‍ය කණ්ඩායමේ ආහාර හා ලැගුම් ගාස්තු ගෙවා කණ්ඩායම රඟහලට කැඳවාගෙන ආයුතු බව සංවිධායකයන්ට දැනුම් දෙනු ලැබුවා. දිගු ගමනක වෙහෙස මහන්සිය, තෙහෙට්ටුව මකා ගත් නාට්‍ය කණ්ඩායම ප්‍රබෝධමත්ව රැඟුමට සූදානම්වයි සිටියේ. සංවිධායකවරු මුවින් නො බැණ තම යුතුකම් ඉටුකොට ඉතා සාර්ථක රැගුම් වාර දෙකක් ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කළා. ධම්ම තම කණ්ඩායම වෙනුවෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් එදා ඒ ලෙස ‍ෙපනී නොසිටියා නම්, මනමෙ කුමරු ට, බිසවටමෙන් පරිවාර කණ්ඩායමට සිදුවන්නේ සීතලේ ගැහි ගැහී සීතල පොළොවක පැදුරක නිදාගන්නටයි.

නාට්‍ය කණ්ඩායම තුළ විනය රැක ගත යුත්තේ කෙසේද යන්න ධම්ම විසින් ප්‍රායෝගිකව පෙන් වූ සිද්ධියකි මේ. සිංහබාහු රැඟුම් පැවතුනේ කෑගල්ල මහා විද්‍යාලයේයි. කෑගල්ල රැඟුම් අවසන්වී කණ්ඩායමට පසුදා රැගුම් සදහා යා යතුව තිබුණේ මාතර රාහුල විදුහල් ශාලාවට. ධම්ම සිංහබාහු නාට්‍යයේ රඟපෑවේ නැහැ. එහෙත් ඔහු අප සමඟ නාට්‍ය චාරිකාවට එක්ව සිටියා. සිංහයා භූමිකාව රඟපෑවේ සමන් බොකලවෙලයි. රැඟුම් අවසන සුපුරුදු පරිදි රාත්‍රී ආහාරයට පෙර මද පමණින් විනෝදවීම අවශ්‍යවූයේ පසුදා දීර්ඝ ගමනකින් පසු තවත් රැඟුම් වාර තිබුණු නිසායි. නාට්‍යය අවසානයේ සමන්ගේ සමීප මිත්‍රයෙක් පැමිණ ඔහු තමාගේ නිවෙසෙහි රාත්‍රි භෝජනයට කැඳවාගෙන ගියේ ධම්මගේ අවසරය ඇතුව. නාට්‍ය බස්රිය පැමිණෙන කොට සමන් අප සමඟ එක්විය යුතු බව තවත් කොන්දේසියක්. රාත්‍රී ආහාරයට පස්සේ නාට්‍ය බස් රිය කෑගල්ල කොළඹ පාරේ සමන්ගේ මිතුරාගේ නිවස ළඟ. වෙලාව දැන් රාත්‍රී දොළහට විතර ළඟයි. බස් රියේ නළාව කීප වතාවක් හැඬවුනා. සමන් ආවෙ නෑ.

ධම්මගේ අණින් ප්‍රීති සමන්ගේ මිතුරාගේ නිවසට ගිහින් හිස් අතින් ආපහු ආවා. “සමන් තාම යාළුවත් එක්ක බොනවා.” දැන් මොකද කරන්නේ සිංහයා නැතුව සිංහබාහු රඟදක්වන්න.” අපි යමු යන්න” ධම්මගේ තීරණය. පන්දර යාමයේ ගාලු පාර දිගේ බස් රිය ඉදිරියට ඇදෙනවා. සමන් නැතුව ෂෝස් කරන්නෙ කොහොමද? හැමෝටම ඒක ප්‍රශ්නයක් වෙලා. ධම්ම පිටිපස්සෙ ආසනේ ඉඳගෙන සිංහබාහු පිටපත කියවනවා. අපේ හිතේ තිබුණු බය සැක ඩිංගක් අඩුවුණා. ධම්ම අද දවල් ෂෝ එකේ සිංහයා රඟපානව බලන්න අපටත් කැමැත්තක් තිබුණා. ඒත් සමන් මෙච්චර කාලයක් රඟපාපු සිංහයා කරන්න ධම්මට පුළුවන් වෙයිද? තව ටිකක් වෙලා බලාගෙන ඉඳල හරි බොකලවෙලව අරගෙන එන්න තිබුණා. සමහරෙකුගෙ මතය ඒක. දහය එකොළෙහ වෙනකොට පොල්හේනෙ මූදෙ නාන්න යමු කිව්වෙ ධම්ම. අපි මූදෙ නාලා රාහුලේට ඇවිත් පැය භාගයක් ගියේ නෑ. මෙන්න හතිදාගෙන සිංහයා ඇවිත් මාතරට පාරෙ බස් එකේ. ධම්ම තරාතිරමක් නොබලා නළුවන්ට විනය පිළිබඳ පාඩම කියාදුන්නෙ එහෙමයි. ධම්මලා වගේ අභීත සෙන්පතියන් නැති නාට්‍ය ලෝකෙ යුද්දෙකට පස්සෙ පාළුවුණු යුද පිටියක් වාගේ.