දුහුනන්ට පහන් වැට දෙල්තොට

ඒ 1976 හෝ ඊට ආසන්න වර්ෂයක් විය යුතු ය. මට හරියට ම මතක නැත. තාත්තා මා කැටුව බසයකට නැඟුණේ කෑගල්ලේ පාසල් යාම සඳහා මා නැවතී සිටින නිවසට මා ගෙන ගොස් හැරලීමට ය. ආරෝහ පරිණාහ දේහ සම්පත්තියෙන් යුතු ක්‍රීම් පැහැය හා රෝස පැහැය අතර වර්ණයක කමිසයකින් හා කලිසමකින් සැරසුණු මහත්මයෙක් බසයේ ඉදිරිපස අසුනේ වාඩි වී සිටියේ ය. ඔහු මගේ පියාට කතා කළේ ය.

”මෙයාව බෝඩිමට ඇරළවන්න යනව ද?” තාත්තා ඔහු හා සුහද කතාබහක ය. ඒ මහත්මයා කවුදැයි මම දැන සිටියෙමි. අපේ ගමට අල්ලපු ගමේ පදිංචි වී සිටි ඔහු නමින් ‘දෙල්තොට චන්ද්‍රපාල’ය. ඔහු ලේක්හවුස් ආයතනයේ සේවය කළේ ය. සිළුමිණ පුවත්පතට හා මා නිතිපතා කියවන නවයුගය පුවත්පතට ඔහු ලියන ලිපි මට නිතර කියවන්නට ලැබිණි. සරසවියට ද ‘අයියලා නංගිලා’ නමින් ඔහු නවකතාවක් ලීවේ ය.

ඒ නවකතාවේ ඡායාරූප සඳහා පෙනී සිටියේ විජය කුමාරතුංග වැනි ජනප්‍රිය නළුනිළියන් ය. අප මිල දී ගත් වෙසක් කාඩ් පත්වල බොහෝ විට කවිය ලියා තිබුණේ ඔහු ය. එවිතරෙක් නො වේ. දෙල්තොට චන්ද්‍රපාල මහතා ලියූ ජනප්‍රිය ගායකයකු වූ සනත් නන්දසිරි විසින් ගයන ලද ගීයක් නිරන්තරයෙන් ගුවන් විදුලියෙන් ප්‍රචාරය විය.
 

”රත්ති අරන් උදනැක්කේ කොයිබ යන්නෙ නගෝ
රත්තීගෙන් පාන්දර ම කිරි දෙව්වද නගෝ
කෙකටිය ගොන්නේ කෙකටිය දලූ මැද ඉන්නේ
තෙලටිය ගොන්නේ තෙලටිය දලූ මැද ඉන්නේ”

කොහොමටත් ලේඛකයන්, කවියන්, ගීත රචකයන් මහා පුරුෂයන් සේ සලකන්නට පුරුදු වී සිටි මට චන්ද්‍රපාල මහතා තාත්තාගේ හිතවතෙක් වීම ද ලොකුවට දැනිණ. ඔහු හා විවාහ වී සිටි ‘නන්දා ටීචර්’ අපේ අම්මා සමඟ එක ම ගුරු මණ්ඩලයේ ඉගැන්වූවා ය. අම්මා පත්වීම් ගත් අලූත ඇයට උගන්වා තිබිණි. පසුකලෙක දෙල්තොට චන්ද්‍රපාල මහතා වරකාපොල නගරය ආසන්නයේ පදිංචි විය. දෙල්තොට ප්‍රදේශයේ උපන් චන්ද්‍රපාල මහතා අපේ ගම්පළාතට පැමිණ ඇත්තේ ඉංග්‍රීසි ගුරු පත්වීමක් ලබමිනි. විවාහය ඔහු අපේ පළාතේ පදිංචි කරවී ය. නවසිය හැට ගණන්වල රජයේ සේවකයන්ට ප්‍රසිද්ධ දේශපාලනය තහනම් කොට තිබිණි. සමසමාජ දේශපාලනයේ නිරත වූ බැවින් 1965 ආණ්ඩුව දෙල්තොට මහතාගේ වැඩ තහනම් කළේ ය. ඔහු පුවත්පත් කලාවේදියෙකු සේ තමනට වඩාත් ගැළපෙන වෘත්තිය තෝරා ගැනීමේ හැරවුම් ලක්ෂය එළඹෙන්නේ එතැනිනි.

මා තාරුණ්‍යයේ මුල් ම භාගය ගතකළ නවසිය අසූ ගණන් වල ඉඳහිට හෝ දෙල්තොට මහතා හමු වී කතා බස් කිරීමේ අවස්ථා ලදිමි. ඔහු මගේ සිතුම් පැතුම් තේරුම් ගත් බැවින්දෝ ඔහුට වඩා බොහෝ ළාබාල අත්දැකීම් නැති මා වැන්නෙකු සමඟ කලාව ගැන බොහෝ දේ කතා කළේ ය. දුහුනකු වූ මා කියන දෙයට ද ඇහුම්කන් දුන්නේ ය. දෙල්තොට නම් වැඩිහිටි ප්‍රවීණයා හා තරුණ මා අතර බැඳීමක් ගොඩනැඟී තිබිණි.

දිනක් ‘රූකාන්ත ගුණතිලකත්’ මමත් කෑගල්ලේ හෝටලයක තේ පානය කරමින් දුම්වැටි උරමින් සිටියෙමු. (රූකාන්ත උසස් පෙළ හදාරන්නට කෑගලූ විදුහලට පැමිණි විට ඔහුත් මමත් මිතුරු වීමු. ඔහු ඊට පෙර කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ හා කෑගල්ල ශාන්ත මරියා විදුහලේ උගත්තෙකි. එවකට භද්‍ර යෞවනයේ පසු වූ රූකාන්ත සංගීත කණ්ඩායම්වල ඕගන් වාදකයෙකු හා තරුණ සංගීතඥයකු ලෙස ප්‍රසිද්ධ වෙමින් සිටියේ ය. ඔහු විසින් සංගීතය සපයන ලද නීලා වික‍්‍රමසිංහ ගැයූ ‘දරුවෝ ඇති අම්මාලා’ හා ‘යාළුවේ සිතින් හඬන්නෙපා’ යන ගී ජනප්‍රිය ව තිබිණි. ඊට අමතරව මිල්ටන් මල්ලවආරච්චි හා ක්ලැරන්ස් විජේවර්ධන වැනි ගායකයන් ද රූකාන්තගේ සංගීතයට ගී ගයා තිබූ බව මට මතක ය. රුකාන්ත සංගීතවත් කොට ඔහු හා නීලා වික්‍රමසිංහ ගී ගැයූ කැසට් පටයක් ද නිකුත් ව තිබිණි. ඉතිං මම දෙල්තොට චන්ද්‍රපාල හඳුනන බව රූකාන්තට කීමි. රූකාන්ත ගී පදයක් මිමිණුවේ ය.
 

”කීකිරිඳිය ඇට නූලක අමුණා නැති බැරි කමටයි ගෙල බැන්දේ
බෝවිටියා දම් හවුලෙ කඩන් කෑ බාල අවදියෙයි කල් බැන්දේ”

”දන්නවද? ඒ සින්දුව ලියල තියෙන්නෙ දෙල්තොට චන්ද්‍රපාල. එයා ගැමි ගීත ලියන්න දක්ෂයෙක්. ඔයා අඳුනනව නම් මට සිංදුවක් ඉල්ලල දෙන්න.” රූකාන්ත කීවේ ය.

මම රූකාන්ත වෙනුවෙන් දෙල්තොට හමුවීමට ඔහුගේ නිවසට ගියෙමි. එවකට ඔහු රූකාන්ත හෝ ඔහුගේ නිර්මාණ පිළිබඳ දැන සිටියේ නැත. එහෙත් විස්තර කියූ සැණින් ගීත දෙකක් ම ලැබිණි. ඉන් එක් ගීයකට රූකාන්ත බෙහෙවින් ඇලූම් කළේ ය.
 

”ඉර හැරමිටියෙන් කන්ද බහිනවා
සඳ හෙමි හෙමිහිට කන්ද නඟිනවා”

”මේ සින්දුව මම ම කියනවා.” ඔහු කීවේ ය. එහෙත් බටහිර ආරේ ගායකයකු වූ ‘රාජ් සෙනෙවිරත්න’ වෙනුවෙන් සංගීතය නිර්මාණය කරන්නට ලැබුණු විට රූකාන්ත තනු නිර්මාණය කොට රාජ් ලවා මේ ගීය ගායනා කරවූයේ ය.

පසුකලෙක දෙල්තොට මහතාට ජාතික තරුණ සේවා සභාවට බොදු බැති ගී ලියන්නට ආරාධනා ලැබිණි. එම ගී සඳහා සංගීතය නිර්මාණය කරන්නට සුදුසු සංගීතඥයා ලෙස දෙල්තොට චන්ද්‍රපාල නම් කළේ රූකාන්ත ගුණතිලක නම් තරුණ සංගීතඥයා ය. දෙල්තොට ලියා රූකාන්ත සංගීතය නිර්මාණය කළ ගී තුනෙන් එකක් යොවුන් ගී අංක 17 සඳහා ගායනා කළේ අප සමඟ කෑගලූ විදුහලේ එකට ඉගෙන ගත් අශෝක සේනාධීර ය. (අශෝක සේනාධීර අශෝක හඳගමගේ ‘හෙණ’, ‘මාඝාත’, ‘ප්‍රභාතය’ වැනි නිර්මාණ රැසක රඟ පෑ රංගන ශිල්පියෙකි. අශෝක ගැයූ ගීය මෙසේ ය.
 

”එක ම එක මලයි මා ගෙන ආවේ
හිමියනි සිරි පා අසල පුදන්නට
එක ම එක හදයි මා හට ඇත්තේ
ඒ තුළ ඉඩ ඇති මහිමිට ඉන්නට”

දෙල්තොට චන්ද්‍රපාල කොහොමටත් නවපරපුර ඇසුරු කරන්නට ඔවුනට අතහිත දෙන්නට කැමති ඒ වෙනුවෙන් වරප්‍රසාද හා තුතිපුද අපේක්ෂා නොකළ වැඩි සද්දබද්ද නැති නිහතමානි පුවත්පත් කලාවේදියෙකි. ‘දිනමිණ’ කතු පදවිය ලබා සේවයෙන් ඉසිඹු ලැබ මඳක් අසනීපව සිටි කලෙක මම ඔහු දකින්නට ඔහුගේ නිවසට ගියෙමි. එදා මා තිළිණ කොට පැමිණි මගේ නවකතාව කියවා ඔහු මට ලිපියක් එවා තිබිණි. මගේ තරුණ වියේ දී මා තුළින් දකින්නට අපේක්ෂා කළ ලේඛකයා දැන් තමා දකිමින් සිටින බව එහි සඳහන් විය.

ඉන් පසු මට චන්ද්‍රපාල මහතා දකින්නට ලැබුණේ මිතුරෙකු දුන් දුරකථන ඇමතුමක් මත ඔහු දකින්නට නිවෙසට ගිය විට ය. ඔහු වෙනදා මෙන් සාමීචි කතාවෙන් තොරව නිවී සැනසුණු ඉරියව්වෙන් දෙන මත සැතපී සිටියේ ය.