නෑසුණේ ද බේවිස් ගහේ ගීතය

“බේවිස්ගෙ ගහ නගර සභාවෙන් කපල දාලා”

මා කොළඹ සිටි දිනෙක, අනුරාධ ජයසේන මහනුවර සිට මට ඒ දුක්මුසු පුවත සැල කළේ ය. ළබැඳි මිතුරකුගේ වියෝවක් ඇසූ කලෙක මෙන් මසිත ඉන් සසල විය.

අප ගත කරන්නේ තුත්තිරි ගසක්වත් කපා දැමිය යුතු යුගයක නොවේ. වනාන්තරයක් මැද ඇති ගසක් වුව බිම හෙළීම සාහසික බව මගේ අදහසයි. නගරයක ඇති ගහ කොළ නිවසකට මල් බඳුන් වැනි ය. එහෙයින් නගර මධ්‍යයේ, වීදි දෙපස ඇති වියපත් වෘක්ෂයක් පවා දැඩි සත්කාර කරමින් රැක ගත යුතු ය.

ඛලීල් ජිබ්රාන් පවසා ඇති අන්දමට සෑම ගසක් ම කවියකි (Trees are Poems) ගසක සැඟැවුණු කවිය කියවා ගත නොහැක්කෝ එය වනසති.

බේවිස්ගේ ගස පිහිටා තිබුණේ මහනුවර දළදා වීදියේ එක් පසෙක ය. එය ඉදිරියෙන් KCC නමින් හැඳින්වෙන දැවැන්ත වෙළෙඳ සංකීර්ණය ය. අත්වාරු උදව්වෙන් ඇවිදින බේවිස්, සෑම උදෑසනක ම එම ගස් සෙවණේ පිහිටි සිමෙන්ති පිල් කඩ වෙත පැමිණ එහි හිඳ ගනී. එතැන් සිට ඔහුගේ ප්‍රධාන රාජකාරිය වන්නේ මඟ යනෙන දන්නා හඳුනන සෑම කෙනකු ම සමඟ අල්ලාප සල්ලාපයෙහි යෙදීමයි.

නමින් බේවිස් මනතුංග වන ඔහු කිංස්වුඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ගායකයකු මෙන් ම දක්ෂ ගිටාර් වාදකයකු ද වන බේවිස් ශ්‍රී ලාංකික කලා – සංස්කෘතික ක්ෂේත්‍රය පිළිබඳ අවදියෙන් පසුවන්නෙකි. මහනුවර සිට ක්‍රියාත්මක වන ‘වික්ටර් හාරා’ සංගීත කණ්ඩායම ද බේවිස් ගේ පුරෝගාමිත්වයෙන් බිහිවූවකි.

‘යු ටියුබය’ තුළින් බේවිස්ගේ ප්‍රසංග හා ගීත දැකගත හැකි ය . ඒ අතුරින් වඩාත් ජනප්‍රිය “ළඳුනේ” ගීතයේ මුල් වදන් මෙසේ ය.

දහදිය මුතු බිඳු - කාසි කරන ළඳුනේ

ඒ රන් කාසියේ අයිතිය නැති ළඳුනේ

විවිධ වැඩරාජකාරි සඳහා මහනුවර නගරයට එන බොහෝ දෙනා, බේවිස්ගේ මිතුරෝ ය. ඔවුහු, බේවිස්ගේ ගස පාමුළ සෙවණේ මොහොතකට ඉසිඹු ලති. මිතුරා හා සතුටු සාමීචියක යෙදෙති. ඔවුනතර කම්කරුවෝ, ලිපිකරුවෝ, කලාකරුවෝ, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ, විශ්‍රාමිකයෝ, විදේශිකයෝ පමණක් නොව, නන්නත්තාරේ යන ආගන්තුකයෝද වෙති.

අප බොහෝ විට පණිවිඩ තබා යන්නේ බේවිස් ළඟ ය. ඔහු ඒවා නිවැරදිව සංනිවේදනය කරයි. අනෙක් අතට බේවිස්ගෙන් ද අපට කෙටි පණිවිඩ ලැබෙයි.

“ඊයේ පතිරාජව දැක්කා..” බඩෝ දැන් ටවුමට ඇවිත් ඉන්නෙ.” කිංස්ලි ළඟ දී ඉන්දියාවට යනවා එක්සිබිෂන් එකක් කරන්ඩ.” යනාදි වශයෙන් ඔහු අපව යාවත්කාලීන (update) කරයි. ඒ අතින් බලන කල, බේවිස්ගෙන් ගස් සෙවණ නගරය මැද ඉබේ පිහිටි කුඩා අම්බලමකි. ජනතා කමිටුවකි. තොරතුරු මධ්‍යස්ථානයකි.

***

බේවිස්, මහනුවර නගරයේ විශේෂාංගයකි.

ඔහු පසුකර යන ඔහු නොදත් අය පවා, නිතරම මිතුරු මිතුරියන් වට කරගෙන සංවාදයෙහි යෙදෙන මේ අමුතු පුද්ගලයා දෙස වරක් දෙවරක් හැරී බලති. මුලදී දුගී මගී යාචකයකු ලෙස දුටුවෝ ද, පසුව එය එසේ නොවන බව වටහාගත් කල, වඩාත් කුහුලින් යුතුව බලා සිටිති. බේවිස් නමැති විශේෂාංගයට සෙවණ දුන්නේ ඉහත කී ගස ය.

එය ඔහුට පමණක් නොව මඟ යනෙන අයට ද, දුර තියා වීදිය දකින අයට ද ගතට සෙවණක් ඇසට සිසිලක් විය. එබඳු ගසක් කපා දැමීමට පෙර (කුමන හේතු තිබුණත්) දෙවරක් නොව තෙවරක්ම සිතා බැලිය යුතුව තිබුණේ නොවේ ද?

එදා බේවිස් ගහේ සෙවණින් නැහැවුණ
දළ වීදිය

අද දළ වීදිය හිරු රැසින් දවාලයි

ගස නැති බැවින්, දැන් එක එල්ලේම දැඩි හිරු රැස් පදික වේදිකාවට පතිත වෙයි. තද වර්ණයත් වෙළෙඳ නාම පුවරු කීපයක් වෙනදාට වඩා උජාරුවෙන් මඟ යෙනෙනවුන් දෙස බලා සිටිති.

පසුගිය වසරේ දී, බේවිස් කැන්ඩි සිටි සෙන්ටර් හි ගීත ප්‍රසංගයක් පැවැත්වී ය. එහි දී ගැයීම සඳහා ගීතයක් ලියා දෙන්නැයි ඔහු මගෙන් ඉල්ලී ය. එදා මා ඔහුට ලියූ ගීතයට තනුව යෙදුවත් මෙතෙක් හඬ කවා නැත. ඒ කෙසේ වෙතත්, එම ගීය තුළ ද, බේවිස් වෘක්ෂය අතුපතර විහිදා බලා සිටී.

දුරක සිට එන මගිය

නවතිනු මැනවි එක මොහොතක්

අමතන්න එක වදනක්

පවසන්න එක වදනක්

නොපෙනේද මා නැවතිලා

දෙනෝදාහක් යනෙන මේ පදිකයේ

නොපෙනේද මා නැවතිලා

ඔබ දුටුව දෙය

මා දුටුව දෙය

හුවමාරු කර ගනිමු

නැවතිලා එක මොහොත

මේ මහලු තුර යට

හුවමාරු කර ගනිමු

ගෙවූ කල ගැන

නුදුටු හෙට ගැන

දකින දේ

සිතෙන දේ

හුවමාරු කර ගනිමු

මේ සෙවණ යට

ගිම් නිවා එක මොහොතක්

රැය තවම තරුණයි

අතිකාල නැති දිවියේ

නවතින්න එක මොහොතක්

පවසන්න එක වදනක්

නොපෙනේද මා නැවතිලා

මහලු තුර යට පදිකයේ

කපා දැමූ ගස වෙනුවට පදික වේදිකාව දිගට පැළ කීපයක් සිටවා ඇත. එය හොඳ වැඩකි. එහෙත් ඒවා සෙවණ දෙන ගස් බවට පත්වන්නට තව කොතෙක් කල් ගතවනු ඇද්ද?

තද හිරු රැස් පතිත වුව ද බේවිස් යළිත් පදික වේදිකාවට පැමිණ සුපුරුදු තැනම හිඳ සිටී.

“ගහ ගැන මට කොළඹට ආරංචි වුණා.” මම ඔහුට කීවෙමි

“ගහට මුකුත් වෙලා නෑ. ඒක තාම තියෙනවා.”

බේවිස් මඳ සිනාවකින් යුතුව කීවේ ය. මම පුදුමයෙන් යුතුව ඔහු දෙස බැලුවෙමි.

“මම ඒ ගහ මෙතන තියෙනවා කියල ඉමැජින් කර ගන්නවා. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ"

බේවිස් සිනාසුණ ද, සියුම් වේදනාවක සිහින් අඳුරක් ඔහු උවනත පැතිර තිබුණි.

බේවිස්ගේ මතකය තුළ – ඔහුගේ පරිකල්පනය තුළ එම ගස පවතින තාක් කල්, නගර සභාවකට නොව රාජ්‍ය සභාවකට වුව එය කපා හෙළිය නොහැකි වනු ඇත.

එසේ හෙයින්, බේවිස්ගේ වෘක්ෂය, බේවිස් තුළ ම දලු ලමින් මල් පලගන්වමින් තවත් බොහෝ කලක් ඔහුට සෙවණ සාදනු ඇත.

සැම ගසක් ම කවියකි.