වයරින් කරපු ගැහැනු පිරිමි

ටොම්සන් මහත්තයා එදා පෙරේරා මහත්තයා එක්ක එළියට බැස්සේ ගෝල්ෆේස් එක පැත්තේ ඇවිදලා එන්න හිතාගෙන ය. හැම දා ම පෙත්සම් ලිය ලියා ඉඳලා ටොම්සන් මහත්තයාට ඇති වෙලා වාගේ ය. පෙරේරා මහත්තයාත් ටොම්සන් මහත්තයාත් එක්ක එදා හැන්දෑවේ එළියට බැස්සේ හරි සන්තෝසෙකිනි.

බාගයක් පයින් ගිහින්, ආයෙත් බාගයක් බස් එකේ ගිහින්, තවත් බාගයක් ආයෙත් පයින් ගිහින් ගෝල්ෆේස් එකට යන කොට සෑහෙන්ඩ වෙලා ය. ඒ හින්දා හතර වටින් කණුවල ලයිට් දාලා තිබුණේ හරියට හඳවල් දාහක් පෑවුවා වාගේ ය. ටොම්සන් මහත්තයාට එක් වර ම මතක් වුණේ තමන් කන්තෝරු මහත්තයාගේ ගෙදර ඉඳලා නගරෙට දුව ගෙන ආපු දවසේ සිද්ද වෙච්චි සංගෙදිය ය. කොහොම වුණත් ඒක පෙරේරා මහත්තයාට කියන්ඩ බැරි දෙයක් නේ.

” මොකද මේ සෙනඟ පිරිලා ගෝල්ෆේස් එකේ මේ තරම්...මොකක් හරි සංගීතයක්වත් තියෙනවද?’ කියලා ටොම්සන් මහත්තයා ඇසුවේ නොදන්නාකමට ය. පෙරේරා මහත්තයා සිනහසුණේ ඔලොක්කුවට ය.

” ඇයි ටොම්සන් මහත්තයා දැන් යුද්දෙ නෑනේ.. ඒකයි.... ඉස්සර ගෙවල්වලින් ගෑනූ මිනිස්සු එළියට බහින්නේ වෙන වෙන ම. මොකද කොයි වෙලාවේ කොහේ බෝම්බයක් පුපුරයිද දන්නේ නෑ නේ.. දැන් කාටවත් ඒ බය නෑ... ඒ නිසා හැම කෙනෙක් ම සන්තෝසෙන් එළියට බහිනවා... අවුරුදු තිහක් බයෙන් ජීවත් වුණු සමාජයට අඩු ගානේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හැදිච්චි එක කොයි තරම් දෙයක් ද? ඒකනේ ආයෙත් ගෝල්ෆේස් පිට්ටනිය පිරිලා තියෙන්නේ... ”

පෙරේරා මහත්තයයි, ටොම්සන් මහත්තයයි ගෝල්ෆේස් පිට්ටනියේ බංකුවක් උඩ වාඩි වී මුහුද දෙස බලා ගෙන සිටියේ මහත් සතුටකිනි. නානාප්‍රකාර මෝස්තර ඇඳුම් ඇඳ ගත්තු මහා පිරිසක් ගෝල්ෆේස් පිට්ටනියේ ඒ අත මේ අත දුවති.

” පෙරේරා මහත්තයා කියන එක නම් හරි... ඒ වුණාට රටේ සෞඛ්‍ය පහසුකම් නම් මදි වගේ කියලා මට හිතෙන්නේ.. ” කියලා ටොම්සන් මහත්තයා කිව්වේ හරි ම දුකකිනි.

” ඒ මොකද ටොම්සන් මහත්තයා, මට නම් එහෙම දෙයක් පේන්නේ නෑ..”

” ඒකත් එහෙම තමයි පේන්නේ නැති එකත් දෘශ්‍යාබාධයක් නේ...සෞඛ්‍ය පහසුකම් හොඳ නම් පෙනීමේ අඩුවක් වෙන්ඩ බෑනේ... මං අහන්නේ මේ ගෝල්ෆේස් එකේ ඉන්න අයගෙන් වැඩි දෙනෙක්ගේ කන් ඇහෙන්නේ නෑනේ... ශ්‍රවණාබාධ හැදිලානේ..”

” ටොම්සන් මහත්තයා කොහොමද එහෙම කියන්නේ...? මට නම් එහෙම පේන්නේ නෑ... ”

” හොඳට ඇස් ඇරලා බලන්ඩකෝ... එහෙම නැතිනම් ළඟට ගිහිල්ලා බලන්නකෝ... අර හුඟ දෙනෙක් කන්වල වයර් හයිකර ගෙන ඉන්නේ... කන් ඇහෙන්නේ නැති නිසානේ.. ඉස්සර මට මතකයි එක ක්ලාක් මහත්තයෙක් හිටියා.. එයාගේ කන් ඇහෙන්නේ අඩුවෙන්... ඉතින් එයා පොඩි උපකරණයක් කනේ ගහ ගෙන හිටියා.. ඒත් මේක අනිත් අය දකිනවාට ලැජ්ජයි.

ඉතින් ඒ නිසා ඉස්සෙල්ලම කොණ්ඩෙ වැවුවා.. ඒ උපකරණය කනේ තියෙනවා කියලා පේන්නේ නැති වෙන්න වහන්න.. ඒ උපකරණයේ වයර් එක කොණ්ඩෙ අස්සෙන් අරන්, කමිසෙ කොලර් එක අස්සෙන් අරන් කමිසෙ යටින් හංගලා තමයි තියාගෙන හිටියේ... මට පුදුමේ දැන් ඉන්න සමාජයට කිසිම ගානක්වත් නැහැ... .තමන්ගේ කන්ට ශ්‍රවණාබාධයක් තියෙනවා කියලා අනික් අය දැන ගන්නවාට... වයර් එක පේන්න එල්ලා ගෙන අර සද්දෙ එන උපකරණය කනේ ගහගෙන ඉන්නේ.. රටක් වෙනස් වෙච්චි හැටි...”

පෙරේරා මහත්තයා හොක් හොක් ගා මහ හඬින් සිනහසුණේ ය.

” ඒ කන් ඇහෙන්නේ නැති හින්දා නෙවෙයි ටොම්සන් මහත්තයා.. ඒ සින්දු අහනවා.. දැන් කාලේ ඉන්න උන්ට නින්ද යන්නෙත් නෑ සින්දු ඇහුවෙ නැතිනම්. ඒ තරම් පුදුම රසවිඳීමේ හැකියාවක් තමයි දැන් කාලේ උන්ට තියෙන්නේ...කන්ඩ නැතත් කමක් නෑ සින්දු අහන්න තියෙනවා නම්... ”

” මොකක් කිව්වා පෙරේරා මහත්තයා, සින්දු අහනවා.. අර කන්වල වයර් එල්ලා ගෙන සින්දු අහනවා..”

” ඔව්, සින්දු අහනවා තමයි.. දැන් හැදෙන උන් ඒ තරම් කැමතියි සින්දුවලට... ඇයි ටොම්සන් මහත්තයා දැකලා නැද්ද සංගීතෙ... නිවේදකයා ඇවිල්ලා කෑ ගහලා කියනවා... දෙන්ඩ හොඳ හූවක්.. කෝ නෑනේ... දෙන්ඩ හොඳ හූවක්... ආන් එහෙම තමයි සංගීතේ පටන් ගන්නේ.. ඊට පස්සේ කියනවා මෙහෙම.

ඔන්න දැන් අපි විසේකාර මල්ලිලාට, විසේකාර නංගිලාට නැඟලා යන්ඩ, නටන්ඩ පුලූවන් සින්දුවක් දෙන්ඩයි යන්නේ... ආයෙත් හොඳ හූවක් දාලා පටන් ගම්මු හොඳ ඩාන්ස් පාරක්... අන්න හරි. කියලා.. ඉතින් ඒ සින්දු තමයි ඔය කන්වල වයර් හයි කර ගෙන අහ අහ ඉන්නේ... දැන් ඉන්න උන්ට හිතන්ඩ වෙලාවක් නෑ.. හිතන්ඩ දේකුත් නෑ... ඇයි සින්දු අහන එකනේ හැම වෙලේම කරන්නේ.. රටේ සංවර්ධනේට උර දෙන්ඩ ඕනෑ තරුණ පරපුර නන්නත්තාර වෙච්චි ගොන් රැළක් වාගේ..”

ටොම්සන් මහත්තයා කට ඇර ගෙන බලා හිටියේ පෙරේරා මහත්තයා මේ කියන්නේ ඇත්තක්දැයි කියලා තේරුම් ගන්ඩ බැරුව ය.

” ටොම්සන් මහත්තයා දන්නේ නෑ.. දැන් තියෙන්නේ ප්‍රචණ්ඩකාරී සංගීතෙයක් නේ.. දැන් ඔය සංගීත සංදර්ශනයකට හරි, මගුල් ගෙදරක හරි කකුල් දෙකට කියන සින්දු අහ අහ නටන තරුණයෝ ගනිමු. ඔන්න නටන්ඩ පටන් ගන්නවා.. හුඟක් වෙලාවට මොනවා හරි මත් වෙන දෙයක් බීලා.. ඔන්න නටන කොට ළඟ ඉන්න එකෙක්ගේ කකුල පෑගෙනවා.. එහෙම නැතිනම් ඇඟේ හැපෙනවා.. ඉතින් ඔක්කොම ඉවරයි.. හැම සංගීතයක් ම ඉවර වෙන්නේ අඩු ගානේ එකෙක් මරලා දාලා.. මං හිතන්නේ මෙහෙම ප්‍රචණ්ඩකාරී සංගීතයක් මේ ලෝකේ කොහේවත් නැතුව ඇති... ”

” ඉතින් ඔය කනේ වයර් ගහගෙන ඉන්න කොට කරන්ට් වදින්නෙ නැද්ද..?”

” මොන කරන්ට් ද ටොම්සන් මහත්තයා, එක කොටසක් එක එක විච්චූරණ ජාති නිෂ්පාදනය කරලා සමාජයට දෙනවා.. ඒක ඒ ගොල්ලන්ගේ වැඩක්.. සමාජයේ ඉන්න උන් දැන ගන්ඩ එපැයි මොනවා වුණත් පාවිච්චි කරන්නේ කොහොමද කියලා.. සමාජය නන්නත්තාර වෙලා... මේ කනේ වයර් ගහගෙන යනකොට අඩු ගානේ අර මහ දැවැන්ත කෝච්චියක් එනවද කියලා වත් දන්නේ නෑ.. අර මොබයිල් පෝන් කනේ කහගෙන ගිහිල්ලා කී දෙනෙක් නම් මේ වෙන කොට මැරිලා තියෙනවා? ”

” එහෙම නම් මට හිතෙන්නේ පෙරේරා මහත්තයා, මුළු සමාජයටම කරන්ට් වැදිලා තියෙන්නේ.. අනේ මන්දා... එහෙම බැලූවම මේක වයරින් කරපු සමාජයක්....” කියලා ටොම්සන් මහත්තයා බංකුවෙන් නැඟිට්ටේ ආයෙත් පෙත්සම් කන්තෝරුවට එන්ඩ ය.