පරස්තාව

තව ටිකක් ඈතට වෙන්න තවත් සෙබඩක් ඉන්නවා. ප්‍රධාන නළුවා තාම නෑ. මගේ ඇස් මඟ බලනවා. ටික වෙලාවක් ගියාම ආඩම්බරකාර ගමනින් මොනර මහත්තයා එනවා පේනවා. එයා ඇවිල්ලා මොනර ගෑනු ළමයි තුන්දෙනා දිහාම මාරුවෙන් මාරුවට බලනවා.

ලස්සන ම ගෑනු ළමයව ඇස්වලින් තෝරනවා. ඊට පස්සෙ හෙමින් හෙමින් පිල් විහිදවලා නටන්න පටන් ගන්නවා. ගෑනු ළමයි තුන්දෙනා ම ගණන් ගන්නෙ නැතුව වගේ ඉන්නවා.

ඒ වුණාට එයාලගෙ හිත ඇතුළෙ කැමැත්තකුත් තියෙනවා ඇතියි කියලා මට හිතෙනවා. මේ මොනර මහත්තයට දිනා ගන්න ලැබෙන මොනර ගෑනු ළමයව බලාගන්න මගේ හිත නොඉවසිලිමත් වෙනවා.

ඒත් එක්කම ඇහෙන නැන්දගේ කටහඬින් මගේ දැහැන බි‍ඳෙනවා.

“දූ මල්ලිට කෝල් එකක් ගන්න ෆැබ් එකෙන් කේක් එකක් අරන් එන්න කියන්න”

“හා නැන්දෙ. මම කියන්නම්..” මම නැන්දාට ඇහෙන්න කෑ ගහලා කියනවා.

නැන්දා කාමරේ ඉදගෙන හරි හැඩට සාරියක් අදිනවා. ඇ‍ෙඟ් ගාන ක්‍රීම්වල සුවඳ මම ඉන්න තැනටත් දැනෙනවා. අම්මෝ පුසුඹ...”,මගේ හිත කියනවා.

නැන්දට පුතාලම දෙන්නයි. ලොකු අයියා නම් දැන් කසාද බැඳලා ටිකක් කල්. මල්ලිව බන්දලා දෙනකල් හිතට නිදහසක් නැහැයි කියලා තමයි නැන්දා කියන්නේ. මේ ගොල්ලො එකලාසයක් වෙනවා දැකලා ඇස් දෙක පියාගත්තම හිතටත් නිවනයි. වැඩිය කතානොකරන මාමා කියපු හැටි මට මතක් වෙනවා. අනේ මේ කසාදෙවත් හරි ගියොත්...කියලා මගේ හිත කියනවා.

මල්ලිට පත්තරෙන් ආපු යෝජනාවක් බලන්න යන්න කට්ටිය ලෑස්ති වෙනවා. මල්ලි කොළඹ ඉදන් මාතර එනවා. “කොහොම වුණත් මාතරින් ම වෙන එක හොඳයි. එතකොට දන්න කියන මිනිස්සුනේ. කොච්චර වුණත් කොළඹ මිනිස්සුන්ව විශ්වාස කරන්න බෑ...කියලා අපේ සීයා කියනවා.

මිදුලේ නවත්තන වාහනේක සද්දේ ඇහෙනවා. මල්ලි ගෙදර ඇවිල්ලා. මේ කරදර නැතුවට කරදර එයා ගෙට එන ගමන් කියනවා.

“අපේ ඔෆිස් එකේනේ වැඩ කරන්නේ. ඉතින් මම හොඳටම දන්නවා. දාහකින් හොයාගන්න බැරි ගෑනු ළමයා...ලොකු අයියා කියන්නේ නැන්දා දිහාත් මල්ලි දිහාත් මාරුවෙන් මාරුවට බලමිනුයි.

“මල්ලි කියන දෙයක් අහගෙන කරබාගෙන ඉදියි” කතාවට එයාම අටුවා ටීකා එකතු කරනවා. මල්ලි අයියා දිහා බලනවා. අම්මේ මෙයාගෙ මාකටින්...මල්ලි ඇස්වලින් අයියට කියනවා.

කොහොමින් කොහොමින් හරි හැමෝම එක්ක ගෑනු ළමයා බලන්න පිටත් වෙනවා.

ඒ ගෙදරින් ආපු ලියමන නැන්දා ආයෙමත් අතට ගන්නවා. ලිපිනය හරියට බලාගන්න...කියලා මාමා කියනවා. ලිපිනය බලාගත්තට පස්සේ නැන්දා මගේ අතට ලියමන දෙනවා. දුවේ මෙන්න මේ ටික කියවන්න කියලා නැන්දා කියනවා.

මම ලියුමෙ නැන්දා කියවපු හරිය කියවනවා.

“ඉහත ලිපිනයේ කඹුරුපිටිය නගරය ආසන්නයේ පදිංචි අප අපගේ ම නිවසක නිවස්නෙමු. දියණියට කඹුරුපිටිය නගරය ආසන්නයේම දෙමහල් නිවසක් හිමිය කියලා ලියුමෙ තියෙනවා.

“ඔය කියන්නේ එකම ගේ ගැන ද? කියලා නැන්දා මගෙන් අහනවා. අනේ මන්දා එකම ගේ වෙන්නත් පුළුවන්. ගෙවල් දෙකක් වෙන්නත් පුළුවන් නැන්දෙ කියලා මම දෙපැත්තටම නැති උත්තරයක් දෙනවා.

“කොහොමටත් විද්‍යා උපාධියක් තියෙන කෙනෙක් එක්ක ඉන්න එක ලේසියි. කලා උපාධි තියෙන අය හිතන්නෙ හරි වෙනස් විදිහට කියලා ලොකු අයියා කියනවා. විද්‍යා උපාධියක් තියෙන මගේ කලාහිත ඒ කතාවට විරුද්ධව නැඟී සිටිනවා. කලාකාරයෝ කියන්නේ කොච්චර සුන්දර මිනිස්සුද මගේ හිත කියන දේ අහන්නේ නැතුව මම කරබාගෙන ඉන්නවා.

“කොහොමටත් ගේකුත් තියෙනවා නම්, කොළඹ හොඳ රස්සාවකුත් කරනවා නම්, විද්‍යා උපාධියකුත් තියෙනවා නම්, ලොකු පුතා කියන තරමට හොඳයි නම් ඉතින් තව මොනවද” කියලා මාමා කියනවා. ඒ කටහ‍ඬේ ආඩම්බරේකුත් තියෙනවා. අපේ පොඩි පුතාගේ ඉතින් මොන අඩුවක් ද ඉංජිනේරුවකුට ඉතින් කොහොම තැනකින් බදින්න බැරිද කියලා අපේ සීයා කියනවා.

කඹුරුපිටියෙනුත් ඇතුළට කිලෝමීටර පහ හයක්ම ඇවිත්. ලොකු අයියා ඇතුළෙ පාරක වාහනේ එලවනවා. වාහනේ තාර පාරකින් බොරලු පාරකට හැරෙනවා. ආසන්නයේ කිව්වට දැන් කොච්චර දුර ආවද? කියලා මාමා කියනවා. සෑහෙන දුරක් ඇවිත් නිසා මටත් මහන්සි දැනෙනවා. දුර යන්න යන්න කට්ටියගේ මූණු නරක් වෙනවා.

හදිස්සියේ ම එක ගෙදරක් ළඟ වාහනේ නැවැත්වෙනවා. ගෑනු ළමයගේ තාත්තා ගෙයි දොරකඩ ඉන්නවා. ඒ ඇස්වල අවංක කමක් පේනවා.

කට්ටිය මූණෙන් මූණ බලාගන්නවා. වාහනෙන් බහින්නත් අමතක වෙලා වගේ. මටත් මේ මොකද වුණේ කියලා හිතා ගන්න බැරිවෙනවා. කෝකටත් කියලා ඉස්සෙල්ලම මම වාහනෙන් බහිනවා. “මගේ අම්මෝ මේකද ගෙදර කියලා මාමා රහසින් වගේ අහනවා. බාගෙට හදපු ගෙදර බිත්ති මාත් එක්කලා හිනා වෙනවා. "දැන් මොකක් කරන්නද? ගිහින් කතාකරලා එමු" කියලා මම කියනවා.

මල්ලි එයාගේ වාහනෙන් එනවා. බලාපොරොත්තු බිදුණු මූණු පහක් එක්ක තවමත් බලාපොරොත්තු නොබිඳුණු මල්ලිගේ මූණ ගෙට ගොඩවෙනවා. අලුත් නෑදෑයො දිහා නැතුව හැමෝම හුණු නොමැදපු බිත්ති දිහා බලනවා.

ගෑනු ළමයා ඇවිත් “ආයුබෝවන් කියනවා. එයාට ලස්සන හිනාවක් තියෙනවා. හිනාවෙනකොට පේන නලදත එයාගේ අනාගතේ වාසනාවන්ත වෙන බව කියනවා. ගෑනු ළමයාගේ මූණ දිහා හොඳට බලපු මල්ලිගේ මූණත් බලාපොරොත්තු බිදුණු තත්ත්වෙට පත්වෙනවා.

කට්ටිය අතරෙ වැඩි කතාබහක් කෙරෙන්නේ නෑ.

කට්ලට්, රෝලස් එක්ක පුවාලු කෙහෙල් ගෙඩිත් කාලා හැමෝම ආපහු එන්න පිටත් වෙනවා.

“හැමදෙයක් ම ලියලා තියෙද්දිත් ඒ මිනිස්සු මෙහෙම යෝජනාවකට ලියපු එක වැරදියි කියලා මාමා කියනවා. ගේ හොඳට තිබුණා නම් ඔය ප්‍රශ්න නෑ. කට්ටිය වදකරලා හරි මඟුල කරලා දෙයි කියලා ලොකු අයියා කියනවා.

කට්ටිය සද්ද නැතුව ටික දුරක් යනවා.

“පවු අනේ ඒ මිනිස්සු" හිතන්නෙ නැතුවම මට කියවෙනවා.

“දසුනිට අපි පවු කියලා හිතෙන්නේ නැද්ද? නැන්දා මගේ දිහා බලලා අහනවා. වැරදිලා කියවුණු වචන ගැන දුකෙන් ඉන්න මගේ හිතට, පරස්තාවල් හොයන හැමෝම පව් කියලා හිතෙනවා.

ගෙදර එනකොට මොනරා පේන්න නෑ. ඒ කසාදෙටත් මොනවා වුණාද දන්නේ නෑ..කියලා මගේ හිත කියනවා.