වීරයෝ හිනා වෙන්නේ නෑ

නායක හාමුදුරුවොයි දම්පහළ හාමුදුරුවොයි ඇරුණහම පොඩිහාමුදුරුවන්ට වඩා වයසින් ද පැවිදිකමින් ද වැඩිමහල් හාමුදුරුවො කීප නමක් පන්සලේ වෙති. ඉන් එක නමක් කිරිළිපනේ හාමුදුරුවෝ ය. අනික් හාමුදුරුවෝ ඉස්කෝලේ හාමුදුරුවෝ ය. එහා පන්සලේ ඉන්නේ කදුරුපොකුණේ හාමුදුරුවෝ ය. ඒ ඔක්කොම හාමුදුරුවන් වහන්සේලා නායක හාමුදුරුවන්ගේ සිවුරු පරපුරේ ඇත්තෝ ය. කිරිළිපනේ හාමුදුරුවෝ නම් පන්සලට එන්නේ හාවා හඳ දකින්නා වාගේ ය.

කල්ප කාලාන්තරයකට පසුව පන්සලට ආවත් උන් වහන්සේ පන්සලේ ඉන්න කොයි කවුරුවත් සමඟ වැඩි කතා බහක් ඇත්තේ ම නැත. පොඩිහාමුදුරුවන් මෙන් උදෑසන ම අවදි වී වෙහෙර මලූව අමදින්නේ ද නැත. හැමදාමත් උන්වහන්සේ හීල වළදන්නේ නායක හාමුදුරුවන් දන් සාලාවෙන් ඉවත්ව ගියාටත් පසුව ය. ඒත් නායක හාමුදුරුවන් ඒ වරද පිළිබඳ ව උපදෙසක්වත් උන්වහන්සේට දෙනු පොඩිහාමුදුරුවන් කොයි කවර දාකවත් දැක නැත.

මුළු දවස පුරා ම කාමරය ඇතුළට වී ඉඳියි. ඉන්න දවස්වලටත් බුදුන් වඳින්නවත් අතුපතු ගෑමකටවත් සහසම්බන්ධ වෙන්නේ නැත . හරියට ගෑනු ළමයකු ගෙට වුණා වැනි ය. දවසක් දෙකක් පන්සලේ ඉඳ ආයිත් ඇඳපැළඳ ගෙන යන්න යයි. උන්වහන්සේ පන්සලෙන් යන කවරදාකවත් නායක හාමුදුරුවන්ටවත් දම්පහල හාමුදුරුවන්ටවත් වඳින්නේ නැත. යන්නේ කොහිදැයි ඇසුව හොත් විතරක් ‘පිරිවෙනට’යයි කියයි.

කතාවක් බහක් නැති ආගම දහමක් නැති කිරිළිපනේ හාමුදුරුවෝ පන්සලේ බීරා සමඟ නම් මහ හයියෙන් කාමරේ ඇතුළට වී බොහෝ වේලා මොන මොනවාදෝ දොඩ දොඩා ඉඳියි.‍ බීරාත් ගංකරේ ඔක්කෝම ඕපාදූප ඇද බායි. උන් වහන්සේත් නිසොල්මනේ සියල්ල අසා සිටිනවා විය හැකි ය. බීරා කිරිළිපනේ හාමුදුරුවන්ටත් කඬේ යයි. කිරිළිපනේ හාමුදුරුවන් පන්සලේ වැඩ ඉන්න දවස්වලට බීරා පොඩිහාමුදුරුවන් වුණත් එතරම් මායිම් කරන්නේ නැත.

දම්පහල හාමුදුරුවන් කියන දෙයක දී වුණත් ගස්සා බස්සා දමා යයි. ආරෝහ පරිනාහ දේහදාරී කිරිළිපනේ හාමුදුරුවන්ගේ රස්නේ බීරාටත් වදින්නේ සමහර විට ඌටත් උන්වහන්සේ වෙනුවෙන් කඬේ යාමෙන් යම් යම් ලාබ ප්‍රයෝජන ලැබෙන නිසා වි ය හැකි ය. බීරාට හැමදාම පන්සලේ දුකට සැපට ඉන්න පොඩිහාමුදුරුවන් පවා කලාතුරකින් පන්සලට එන කිරිළිපනේ හාමුදුරුවන් ආ දවස්වලට අමතක වී යාමේ රහස මොකක්දැයි පොඩිහාමුදුරුවන්ට හිතෙයි. ‘කිරිළිපනේ හාමුදුරුවන් වීරයෙක්.

මාත් එහෙම කෙනෙක් තමයි වෙන්න ඕන’ කියා දවසක් පොඩිහාමුදුරුවන්ට කල්පනා විය. එබඳු සිතිවිල්ලක් ජනිත වීමට මූලික වශයෙන් ම බලපානු ලැබුවේ උන්වහන්සේ පන්සලට ආ දවස්වලට බීරා තුළ පවතින වීර හැඟීම් ය. අනෙක කිරිළිපනේ හාමුදුරුවන් යන්නේ ඉන්නේ කොහේදැයි නායක හාමුදුරුවන්වත් හොයන්නේ බලන්නේ නැති නිසා ය. වඳින්නේත් පුදන්නේත් නැතිව හිතුණු හිතුණු වෙලාවට එළියට බසින නිසා ය.

ආරෝහ පරිනාහ දේහදාරී කිරිළිපනේ හාමුදුරුවන්ගේ මූණේ කොයි කවරදාකවත් හසරැල්ලක් තිබෙනු පොඩිහාමුදුරුවන් දැක නැත. ඇත්තට ම වීරයන්ගේ හැටි එහෙම ද? වීරයෝ හිනා වෙන්නේ නැද්ද? ‘වීරයෝ හිනාවෙන්නේ නෑ’යයි සිත්තර පත්තරයේ කොටස් වශයෙන් පළවන‘’කතාවකත් තිබෙනු දවසක් දානේ ඔතාගෙන ආ පත්තර කොළයක් කියවන විට දුටු බව පොඩිහාමුදුරුවන්ට මතක් වෙයි. කිරිළපනේ හාමුදුරුවන් මූණේ කිසි ම තෙතමනයක් නැතිව බුම්මාගෙන ම වාගේ හැම වෙලාවෙම ඉන්නේ ඒ වීරකම නිසා වෙන්න ඇති යයි පොඩිහාමුදුරුවන්ට හිතෙයි. වීරමද්දුම බණ්ඩාර, මොනරවිල වීරකැප්පිටිපොල, කුඩාපොල හාමුදුරුවො, වාරියපොල හාමුදුරුවො වගේ වීරයො කවදාකවත් හිනාවෙලා නැතුව ඇති.

එබඳු වීර චරිත කතා කියවන විටත් අපිටත් සිනාමුසු සිතිවිල්ලක් නොයෙන හැටි. ඇත්තට ම වීරයෝ මනුස්සයෝ නොවේ ද? යන සිතුවිල්ල හට ගැනීමත් සමඟ පොඩිහාමුදුරුවන් තුළ වූ වීරත්වයේ හැඟීම් වෙනස් අතකට පෙරලෙන්නට විය.

උපන් බිමට පිටුපා කෞතුක මන්දිරයක් අබියස මහමුහුද වෙත දෑස යොමාගෙන සිටිනා වීරයන් පිළිබඳ ව හා අද අපි මේ'දින විඳින ගැහැටට වගඋත්තරකරුවන් ඔවුන් බවත් කියවෙන ගීතයක් අසා ඇති බව පොඩිහාමුදුරුවන්ට සිහි වෙයි. වාරියපොළ හාමුදුරුවන් සතුව තිබූ වීරත්වය නිසා සිංහල ජාතියේ අභීත ස්වරූපය ලෝ කුස තුළ පතළ විය. එදා අහසට එසවූ සුද්දාගේ කොඩිය බිම දැමීමට තරම් උන්වහන්සේ තුළ පැවති අභීත වීරත්වය පොඩිහාමුදුරුවන්ගේ සිත තුළ නිරන්තරයෙන් හොල්මන් කරනු ලබයි.

එදා වීර කැප්පිටිපොළ පර සුද්දා වෙනුවෙන් කළ අභීත ප්‍රකාශය පොඩිහාමුදුරුවන්ගේ කනට මේ දැනුත් ඇහෙනවා ඇහෙනවා වාගේ ය. ඒ වීරයන්ගේ වීර ක්‍රියා ‘ජාතික වීරයෝ’ පොතින් කියවන විටත් පොඩිහාමුදුරුවන්ගේ සිතත් ඒ අතීතයට ම යයි. ශරීරයත් ඇතැමිවිට එහෙ මෙහෙ වෙයි. යාපනයේ හිර ගෙදර අපවත් වුණත් වාරියපොළ හාමුදුරුවෝ අපේ ජාතික වීරයෙක්. ඒත් බුදුහාමුදුරුවන් එහෙම නොවෙයි. ලෝකයේ ම පහළ වූ විශිෂ්ටතම වීරයෙක්.